Powered by Blogger.



පසුගිය කාලේ තිරගතවුණු ඩබල් ට්‍රබල් චිත්‍රපටය මේ වන විට ඇත්තටම නමේ හැටියට ලොකු ට්‍රබල් එකකට මුල පුරලා. ඒ ඩබල් ට්‍රබල් චිත්‍රපටයේ සම නිෂ්පාදකයෙක්‌ වූ ක්‌ලයිව් මාර්ටිනස්‌ගේ හදිසි අභාවයත් සමගයි. ක්‌ලයිව්ගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ වන ඩෙරින් මාර්ටිනස්‌ මෙම චිත්‍රපටයට හිමි තම සැමියාගේ අයිතිය විමසූ විට ඇති වූ මත ගැටුමක්‌ අවසානයේ නීතිය ඉදිරියට පැමිණියා. අද අවනඩුවෙන් කියෑවෙන්නේ සැමියාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින මාර්ටිනස්‌ගේ අවනඩුවයි.

මගේ ස්‌වාමිපුරුෂයා මිය යන්නට පෙර 2011 වසරේදී ඩබල් ට්‍රබල් චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයෙක්‌.ඔහු දිනේෂ් ප්‍රියසාද් සහ රාඡ් රණසිංහ සමග සාකච්ඡා කරලා මේ චිත්‍රපටය ආරම්භ කළේ. ඊට පස්‌සේ දිනේෂ් ප්‍රියසාද් ඔහුගේ දුව යොමුකළා මේ චිත්‍රපටයේ සම නිෂ්පාදිකාව විදිහට. රාඡ් රණසිංහ පුතාව යොමුකළා. 2013 අගෝස්‌තු 02 වැනිදා මගේ ස්‌වාමිපුරුෂයා මියගියා. ඊට පසුව මාස දෙකකට පසුව චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න පටන්ගත්තා. ස්‌වාමිපුරුෂයා මිය ගිහින් මාසයක්‌ යනකොට මොවුන් හොර අත්සන් යොදලා ලියකියවිලි සකස්‌ කරලා.ඒ වගේම සැමියාගේ අයිතිය නැතිකළා. මොවුන් ඒවා අතේ තබාගෙන මට කිසිම ලියකියවිල්ලක්‌ ලබාදෙන්නේ නැහැ. ඊට අමතරව ගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා ඩීවීඩී පට ලෙසද ඔවුන් මෙම චිත්‍රපටය වෙළෙඳපොළට නිකුත් කරන්න සූදානම් කරලත් තිබුණා. මම ඔය සිද්ධියට වංචා විමර්ශන අංශයට නොවැම්බර් 28 වැනිදා පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළා. මොවුන් එතැනදී එහෙම කිsසිම දෙයක්‌ කළේ නැහැ කියලා තමයි කිව්වේ.

යළිත් මේ අවුරුද්දේ මාර්තු මාසයේ. මම මුලින් කියපු ඩීවීඩී පට වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. පසුව මාර්තු 18 වැනිදා මම දිනක්‍ෂි ප්‍රියසාද්, රාඡ් රණසිංහ හා ඔහුගේ පුත් අම්රිත් රණසිංහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරලා විභාගකරන්න සැලැස්‌වූවා. එතැනදී මම බලාපොරොත්තු සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. පැමිණිල්ල භාරගත්තු නිලධාරීහු දිනක්‍ෂි ප්‍රියදාස්‌ වෙනුවෙන් සාධාරණයක්‌ ඉටුකරන්න උත්සාහ ගන්නවා වගෙයි දැනුණේ. ඊට පසුව මම ඒ එස්‌ පී මහතාගේ උපදෙස්‌ පැතුවා. පසුව ඔහු ඉදිරියේ සියලුම දේවල් මම පැවසුවා. මම එතැනදීත් පැවසුවා අවශ්‍ය ලියකියවිලි ලබාදෙන්න කියලා.

පසුගිය කාලයේදී මම දුටුවා, දිනක්‍ෂි ප්‍රියසාද් පුවත්පත්වලට පවසා තිබුණා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගියේ නැහැ කියලා. ඒක සම්පූර්ණ බොරු කතාවක්‌ කියලා. මෙවැනි ප්‍රකාශයක්‌ පුවත්පතකට දිනක්‍ෂි පවසන්නේ රටේ නීතිගරුක ආයතනයක්‌ පවා මෙයා පාවාදීලයි. 18 වැනිදා දිනක්‍ෂි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගිය එක කීදෙනෙක්‌ දුටුවාද. මේක සත්‍ය සිදුවීමක්‌. මෙයාට මඩගහන්න නෙමෙයි ඒක කළේ. දිනක්‍ෂිව සහ අම්රිත් රණසිංහව තමයි එදා කැඳවලා තිබුණේ. ඒ කැඳවලා තිබුණේ මගේ පැමිණීල්ල විභාග කරන්න. පසුව දැන් මෙයා මාධ්‍ය හරහා දොස්‌ පවසනවා. එහෙම කරලා හරියන්නේ නැහැනේ. ඒවගේ ආයතනවලට යන්න අකැමැති නම් හොරවැඩ නොකර ඉන්න තිබුණා. මෙවැනි හොරවැඩ කරහම මට සැමියාගේ අයිතීන් වෙනුවෙන් නීතියේ පිහිට පතන්න වෙනවානේ. මම බලාපොරොත්තුවෙනවා, මේ සිද්ධියට නීතියෙන් සාධාරණයක්‌ ඉටුවේවි කියලා.

මේ කතා කරන මොහොත වෙනකං මට ඔවුන් ලියකියවිලි කිසිවක්‌ ලබාදුන්නේ නැහැ. මම මේ සිද්ධියට අධිකරණයට පවා යන්න සූදානම්. අධිකරණයේදී ඒවා ඔප්පු කරන්න පුළුවන්. මේ ඩීවීඩීපටවලට අත්සන් තබලා තියෙන්නේ හිමිකම් ඇති පුද්ගලයන් නෙමෙයි.

මේ චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර මොවුන් හිතුවා, ලක්‍ෂ පන්සියයක්‌ හයසියයක්‌ ආදායම උපයයි කියලා. පසුව මොවුන්ට කෑදරකමක්‌ ඇතිවුණා. ඒක හින්දා මොවුන් සල්ලි බෙදාගන්න තමයි මේ වංචාව කළේ.

මම තමයි, මෙහි සැබෑ හිමිකරුවා. මම අධිකරණයට සැමියාගේ මගෙයි විවාහ සහතිකය පවා ඉදිරිපත් කරන්න සූදානම් කරලයි තියෙන්නේ. ඒ වගේම මරණ සහතිකය, අන්තිම කැමැති පත්‍රය පවා තියෙනවා. ඔය හතරදෙනාම මාව හොඳට දැකලා තියෙනවා. නමුත් ඔවුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ මාව දැකලා නැහැ කියලා තමයි පැවසුවේ. චිත්‍රපටයේ රූගත කිරීම් කළ රාඡ් රණසිංහගේ නිවසට ගියවෙලාවේ ඔවුන් සියලු දෙනාම මම හඳුනාගෙන කතාබහ කළා. ඒ විතරක්‌ නෙමෙයි, මම චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයට පවා ආවා. ඔවුන්ට ඒකත් අමතක වෙලා. ඊට පසුව මංගල දර්ශනයට පවා මම සහභාගි වුණා. එතැනදී මම පොල්තෙල් පහන පවා දැල්වූවා. අද වෙනකොට ඒකත් ඔවුන්ට අමතක වෙලා. මාව ජීවිතයට දැකලත් නැහැ කියලා කිව්වා කියන්නේ. ඒවායේ පින්තූර සහ වීඩියෝ පට පත්තරවල වගේම රූපවාහිනියේ විකාශනය වුණා. එතකොට එතැනට ආවේ කවුද?. ක්‌ලයිව්මාටිනස්‌ගේ බිරිඳ නෙමෙයිද? හොල්මනද?

ඇත්තටම මම ඉල්ලන්නේ මගේ සැමියාගේ අයිතිය හා ඔහුට ලැබිය යුතු මුදල පමණයි. නමුත් ඒ අය ඒ හැමදෙයක්‌ම මගෙන් උදුර ගන්න හදනවා. මෙහෙම කරන එක ඉතා පහත් වැඩක්‌. තමන් එක්‌ක ලොකු විශ්වාසයකින් එකට වැඩකළ කෙනෙක්‌ මියගියහම ඔහුගේ පවුල්වලට සලක විදිහද මේ.

දැන් මම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් අධිකරණයට යන්න තමයි, හිතාගෙන ඉන්නේ. මම බලාපොරොත්තු වෙනවා අධිකරණයෙන් මට සාධාරණයක්‌ ඉටුවේවි කියලා. මොකද මියගිය මනුස්‌සයාගේ මුදල් වලට තමයි, මොවුන් මේ වංචාව කළේ. මම හිතනවා අධිකරණයෙන් මට සාධාරණයක්‌ ඉටුවේවි කියලා.

මගේ සැමියා නැතිවෙලා මාසයක්‌ යනකොට මොවුන් මේ හොරවැඩේ කරන්න පටන්ගත්තා. ආදායම කීයද ඇහැව්වාම කියන්නේ නැහැ. කටින් කියනවා මෙච්චර ලැබුණා. මෙච්චර වියදම් වුණා කියලා. ඒවා ඔප්පු කරන්න ලියකියවිලි එපායෑ. ඒවා ඉල්ලුවහම දෙන්නේ නැහැ. අනික මේක ව්‍යාපාරයක්‌ හා සමානයි. මම මේ වැඩේ කළා නම් ඔවුන් නිකන් ඉඳීවිද?. නිෂ්පාදනය කරන්න ගිය වියදමින් සතපහක්‌වත් මට ලැබුණේ නැහැ. ඉදිරියටත් පරණ චිත්‍රපට රූපවාහිනි නාලිකාවන් මගින් විකාශනය කරනවානේ. තනියෙන් ආදායම උපයාගෙන සාක්‌කුවේ දාගන්නයි මේ හදන්නේ. අඩුම තරමේ මගේ නැතිවුණ සැමියා වෙනුවෙන් දානයක්‌ දෙන්නවත් කීයක්‌ හරි දුන්නා නම් කමක්‌ නැහැ. එහෙමවත් නැහැනේ. ලබන අගෝස්‌තු මාසයේ සැමියා වෙනුවෙන් මම පිළිකා රෝහලට දානයක්‌ දෙන්නයි, හිතාගෙන ඉන්නේ.

හොර වැඩ නොකර හිටියා නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට එන්න වෙන්නේ නැහැනේ. මටත් එවැනි ආයතනවලට යන්න වෙන්නේ මේ හොර වැඩ නිසයි. මේ වැඩ් වැරදි ගොඩක්‌ ඒ අය කරලා මාධ්‍යයටත් බොරු කියනවා. (මම මේ වගේ තැනකට ගියේ නැහැ කියලා.) මොකක්‌ද මෙයාට තියෙන බලය ඒ වගේ ප්‍රකාශයන් මාධ්‍ය ඉදිරියට ඇවිත් කියන්න. මේ හදන්නේ චිත්‍රපටයේ තනි අයිතිය හිමිකරගන්න. පසුගිය කාලයේ පුවත්පත් දෙකකට හා චිත්‍රපට සංස්‌ථාවට තිරපිටපත ලියා තිබෙන අය ගැන කිව්වෙත් බොරු. ආයතන තුනකට තුන්දෙනෙකුගේ නම් තමයි ලබාදීලා තියෙන්නේ.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මම ගොඩක්‌ දුක්‌වෙනවා මගේ සැමියා මේ වගේ අය විශ්වාස කරලා චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන්න දායක වීම ගැන. කාටත් හිරිහැරයක්‌ වංචාවක්‌ මගේ සැමියා කරලා නැහැ. ඒ නිසා මට ගොඩක්‌ අය උදව්කළා, මේ චිත්‍රපටයේ මොවුන් කළ හොරවැඩ හොයාගන්න. මට කියන්න තියෙන්නේ මේ වගේ වංචාකාරයන්ට අසුවෙන්න එපා කියලයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය