Powered by Blogger.

යුද ජයග්‍රහණයට පස් වසරක් පිරීම නිමිත්තෙනි
prabhakaran bodyහීනයක් හැබෑ වුණා යන වචන තුන අප අපේ ජීවිත කාලය තුළදී බොහෝ වතාවක් කියා ඇත්තෙමු.එසේ නැතිනම් බොහෝ වතාවක් අසා තිබෙන්නකි. එසේ අසා ඇති, කියා ඇති මේ වචන තුනේ සැබෑ තේරුම අපේ හිතට හොඳට දැනුණු දවස දෙදහස් නවයේ මැයි දහනව වැනිදාය. ඒ තිස් වසරක් පුරා රට්ටු බලා සිටි ලොකුම හීනය සැබෑ වූයේ එදින බැවිනි. මුළු රටක් බලා‍පොරොත්තු වූ ප්‍රභාකරන්ගේ අවසානය පිළිබඳ ආරංචිය ලැබුණේ එදිනය. ඒ සිහිනය සැබෑ වී වසර පහක් පිරෙන්නේ හෙට (19) ය.
ප්‍රභාකරන්ගේ මරණය වී පස් වසරක් ගත වුණද තවමත් රට්ටුන්ට ඔහුගේ මරණය වූ ආකාරය ගැන ඇත්තේ ප්‍රශ්න වැලකි. සමහරු කියන්නේ ප්‍රභාකරන් සිය දිවි නසා ගත් බවය. තවත් පිරිසකගේ මතය වන්නේ හමුදාව සමග මුහුණට මුහුණලා ඇති වූ ගැටුමකදී ඔහු මරණයට පත් වූ බවය. මේ කතා අතරේ එකල පැතිරි ගිය තවත් කතාවක් වන්නේ ජීවග්‍රහයෙන් අල්ලා ගත් ප්‍රභාකරන් එකල යුද හමුදාපතිවරයාව සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුවට පැමිණවීමෙන් ඉක්බිතිව වෙඩි තබා ඝාතනය කෙරුණු බවය. සැබැවින්ම මිය ගොස් ඇත්තේ ප්‍රභාකරන් නොව ඔහුගේ රුවට සමන පුද්ගලයකු (ඩමියක්) බවටද මීට පස් වසරකට ඉහත දී රටේ කතන්දර පැතිර ගියේය.
මේ සියලු කතාවලට මූල වූයේ ප්‍රභාකරන් පිළිබඳ අතිශයෝක්තියකින් ලියැවී තිබූ වීර කතාය. කිසිදු දිනක ප්‍රභාකරන් අල්ලා ගැනීමට නොහැකි වනු ඇති බව එම වීර කතාවල ලියැවී තිබුණි. සැබැවින්ම ප්‍රභාකරන් ගේ මරණය සිද්ධ වූයේ කෙසේද ඊට පිළිතුරු සෙවීමට නම් සිව් වැනි ඊළාම් යුද්ධයේ අන්තිම දවසට යා යුතුය. ප්‍රභාකරන්ගේ මරණය සිදු වූයේ මැයි දහනව වැනිදා වුවත් අවසන් සටනේ කූඨප්‍රාප්තිය ළඟා වන්නේ මැයි දහතුන් වැනිදාය. ඒ ප්‍රභාකරන් සැඟව සිටි වෙල්ලමුල්ලි වයික්කාල් බිම කොටු කිරීමත් සමගය. යුද මුක්ත කලාපයේ උතුරේ සිට පැමිණි 58 වැනි සේනාංකයත් දකුණේ සිට පැමිණි 59 වැනි සේනාංකයත් වෙල්ලමුල්ලිවයික්කාල් බිමේ දී එකිනෙකට යා වෙමින් නව ආරක්ෂක තීරයක් නිර්මාණය කෙරුණි. ඒ සමග දශක දෙකක් පුරා කොටි පාලනය යටතේ තිබූ  උතුරේ වෙරළ තීරය යළිදු ලක් රජය යටතට පත්විය. ඉක්බිතිව මැයි දහසය වැනිදා නන්දිකඩාල් කලපුව සීමාව කර ගනිමින් දකුණට ගමන් කළ 53 වැනි සේනාංකයත් වෙල්ලමුල්ලිවයික්කාල් බිමේ දී 59 වැනි සේනාංකය සමග එකතු වීමත් සමග ප්‍රභාකරන් ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ කොටි නායකයෝ වර්ග කිලෝ මීටරයක පටුබිම් තීරුවකට කොටු වූහ.
බුද්ධි අංශ තක්සේරුවට අනුව එම වර්ග කිලෝමීටරය තුළ කොටු වූ සෙසු එල්.ටී.ටී.ඊ. නායකයන් වූයේ කොටි බුද්ධි අංශ නායක ‍පොට්ටු අම්මාන්, මුහුදු කොටි බළකායේ නායක සුසෙයි, නැගෙනහිර  සන්නද්ධ නායක රමේෂ්, එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ ප්‍රධානී බි. නඩේසන් ඇතුළු පිරිසකි. පසු කලක ආණ්ඩුවට හීලෑ වූ එල්.ටී.ටී.ඊ. යේ ප්‍රබලයකු වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. පසුව හෙළි කළ ආකාරයට කොටු වී හුන් ප්‍රභාකරන් බේරා ගැනීමට ඔහු සැලසුම්  හැදුවේය.  ඒ සැලසුම අනුව කේ.පී. උත්සාහ  කළේ වන්නි කැලයට  හෙලිකොප්ටරයක් ගොඩබස්සා ප්‍රභාකරන්ගේ පවු‍ලේ සාමාජිකයන් මුදාගෙන මහ මුහුද මැද  තිබෙන එල්.ටී. ටී.ඊ.ය. ට අයත් නැවකට රැගෙන යාමය. රටවල් තුනක් ඔවුන් රැක බලා ගැනීමට කැමැති වූ බව කේ.පී. කීවේය. එනමුත්  මෙම සැලසුම  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් නොලැබි  යාම හේතුවෙන් තමා එය කනගාටුවෙන් වුවද  අතහැර දැමූ බව කුමරන් පද්මනාදන් සඳහන් කර තිබුණි. 
Armyකෙසේ නමුදු ප්‍රභාකරන් කල්පනා කළේ අවසාන  මොහොතේ හෝ හමුදාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තමාට පලා යාමට හැකිවනු ඇති බවය. ඒ එවැනි ප්‍රහාර ගැන එල්.ටී. ටී.ඊ.ය.ට පෙර අත්දැකීම් තිබුණු බැවිනි. අනුනවයේ දී ජය සිකුරු මෙහෙයුමෙන්  හමුදාව කිලිනොච්චිය ඇතුළු වන්නිය අල්ලා ගත්  මොහොතේ එල්.ටී. ටී.ඊ.ය. එල්ල කළේ එවැනි ප්‍රහාරයකි.  නැදුන්කර්නි, ඔඩ්ඩුසුඩාන්වලදී හමුදාවට පහර දී එක රැයකින් ජයසිකුරු මෙහෙයුම ආපසු හැරවීමට කොටි සමත් වූහ. ප්‍රභාකරන්ගේ  සැලසුම වී තිබුණේ එවැනි ප්‍රහාරයක් පුදුක්කුඩිඉරිප්පු නගරයේ දී එල්ල කර සිවු වැනි ඊළාම්  සටන ආපසු හැරවීමටය. එනමුත් එම සටනේදී එල්.ටී. ටී.ඊ.යේ සන්නද්ධ අංශ නායක තීපන් ඇතුළු ගරිල්ලන් හයසිය විසිතුන් දෙනෙකු මරණයට පත්වීම ප්‍රභාකරන්ගේ  අවසන් හීනය බොඳ කළේය.
පුදුක්කුඩිඉරිප්පු බිමේදී බොඳ වූ සිහිනය ප්‍රභාකරන් යළිදු වරක් ක්‍රියාත්මක කළේ මැයි දාහත් වැනිදාය. කොටි නායකයන් තීරණය කළේ  තුන් කොන් ප්‍රහාරයක්  එල්ල කිරීමටය. ඒ අනුව ප්‍රභාකරන් ඇතුළු කණ්ඩායමක් හමුදා වළලු බිඳගෙන නන්දිකඩාල් කලපුව හරහා ඒ 35 (මුලතිව් පරන්තන්) පාර හරහා වන්නි කැලයට පැන යන්නටත් ඉන් පිරිසත් නැගෙනහිරට යන්නටත් තීරණය විය. තවත් කණ්ඩායමක් හමුදාවට කතා කොට යටත් වීමේ කොන්දේසි සාකච්ඡා කිරීමට තීරණය විය.  එම සටන් බිමේ අරමුණ වී තිබුණේ තුවාල ලබා සිටින කොටි සාමාජිකයන්ට ප්‍රතිකාර  ගැනීමටත් ‍‍‍ජ්‍යෙෂ්ඨ කොටි නායකයන්ගේ පවුල් සඳහා ජීවිතාරක්ෂාව ලබා ගැනීමය.
තුන්වැනි කණ්ඩායමට භාර වූයේ ප්‍රභාකරන් සිටින  ඉසව්වට පසුපසින්  ප්‍රහාරයක් එල්ල වුවහොත් එය වළක්වා ගැනීමය. මේ සැලසුම යටතේ ඒ - 35 පාර ඔස්සේ සටන් කරන කොටි සාමාජිකයන්ට නායකත්ව දීම පැවරුණේ චාල්ස් ඇන්තනීටය. ඔහු වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ   ‍‍‍ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය.
යටත් වීමේ කොන්දේසි සාකච්ඡා කිරීම පැවරුණේ කොටි දේශපාලන අංශ නායක බි . නඩේසන්ටය. ඔහු සමග ඔහුගේ සිංහල ජාතික  බිරිය වූ මාතර , කඹුරුපිටියේ විනීතා ගුණසේකරද හුන්නාය.  විනිතා මෙන්ම නඩේසන්ද ශ්‍රී ලංකා ‍පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරුය. කොළඹදී ඇති වූ ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහ වූ  විනීතා, නඩේසන් එල්.ටී.ටී. ඊ.ය.ට  බැඳුණු විට ඔහු සමග උතුරට ගියාය.
කෙසේ නමුත් පසුව හෙළි වූ පරිදි බි. නඩේසන් අවසන් මොහොත වනතුරා සිය චන්ද්‍රිකා තාක්ෂණ දුරකථනයෙන් ඉහළ පෙළේ කීප දෙනෙකු සමග සබඳතා පවත්වමින් සිටියේය. ඒ අතර  යුද වාර්තාකරණය පිළිබඳ ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනියක වන මාරි කොල්වින්ද සිටියාය. ඇය පවසා තිබූ  පරිදි නඩේසන්ට අවශ්‍ය වී තිබුණේ ඔබාමා පාලනයෙන් හෝ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ ජීවිතාරක්ෂාව පිළිබඳ සහතිකයකි. එම සහතිකය ලබා ගැනීම සඳහා මාරි කොල්වින් උත්සහ කළාය. එනමුත් වෙල්ලමුල්ලිවයික්කාල් බිමේ තිබුණේ ගිනි කෙළි සංදර්ශනයකි. ඒ බිමට එල්ල වූ නිමක් නොවූ වෙඩි වරුසා මැද මරණය මිස වෙන දෙයක් නඩේසන්ට ඉතිරි නොවීය. ඔහු මෙන්ම ඔහුගේ බිරිය වූ විනීතා ගුණසේකරද කොටි සාම මහ‍ලේකම් කාර්යාලයේ ප්‍රධානී පුලිදේවන්ද තෝරා ගත්තේ මරණයේ මාවතය.
මේ අතර එල්.ටී.ටී.ඊ.යේ ප්‍රහාරාත්මක සැලසුම කරළියට ආවේය. දහහත්වැනිදා රාත්‍රි හතයි විස්සට පමණ නන්දිකඩාල් ඉදිරි ආරක්ෂක වළල්‍ලේ හුන් සෙබළුන්ට කොටින්ගේ ප්‍රහාරයක් ගැන ඉව වැටුණි. ඒ අතරේ බුද්ධි අංශ තක්සේරුව වූයේ එල්.ටී.ටී.ඊ.ය ඇන්කර් 1 නමින් මෙහෙයුමක් සැලසුම් කර ඇති බවය.
LTTEprabhakaranකළපුව හරහා පැමිණ මරාගෙන මැරෙන කොටින්ගේ ප්‍රහාරයට ලක්වූ බංකර් දෙකක් විනාශ විය. ඉන් සෑදුණු හිඩැසෙන් කොටි රට තුළට රිංගා ගත්හ. අවසාන සටනේදී සිය දිවි පිදීමට සෙබළුන් පැකිලුණේ නැත. මැදියම් රැයේ මරුවා සමග ඔට්ටු ඇල්ලු වීර වික්‍රමාන්විත සෙබළු ගරිල්ලන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළහ. කැලෑව තුළට රිංගා ගත් කොටි සෙවීම සඳහා එල්ල කළ පැරා ආලෝක ධාරාවෙන් කළපුවට ඉහළ අහසේ මල් වෙඩි සංදර්ශනයක් මැවුණි. අලුයම 5.20ට පමණ ගරිල්ලෝ සිය ප්‍රහාරය අතහැර යළි වෙල්ලමුල්ලිවයික්කාල් දෙසට පලා ගියහ. පසුදින හමුදාව කළපුවේ තිබූ කොටින්ගේ මළ සිරුරු එකසිය හතළිහක් පමණ සොයා ගත්හ. ඒ මළ සිරුරු සමග මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පනහක්ද තිබුණි. 17 වැනිදා රාත්‍රියේ හමුදාව ගරිල්ලන්ගේ තවත් මහා පරිමාණ ප්‍රහාරයක් බලා‍පොරොත්තු වූවේය. නමුත් විශාල දෙයක් නොවීය. පසුදින (18) අලුයම නන්දිකඩාල් කළපුව දෙසින් පැමිණි සිවිල් වැසියෝ පිරිසක් තමන් භාර ගන්නා ලෙස සෙබළුන්ට කීවෝය.
අලුයම 1.00ට පමණ ආරක්ෂක වළල්‍ලේ හුන් කපිතාන්වරයෙක් සිය අණ දෙන නිලධාරියා ඇමැතුවේය. කිසිදු වැසියෙකු රාත්‍රියේ භාර නොගන්නා ලෙස අණ දෙන නිලධාරියා උපදෙස් දුන්නේය. යළිත් වරක් සිවිල් වැසියන් හමුදා පාලන ප්‍රදේශයට ඒමට කළ උත්සාහය කපිතාන්වරයා වැළැක්වූවේය. පාන්දර 3.00ට පමණ තෙවැනි වරටත් සිවිල් වැසියෝ ආරක්ෂක වළල්ල බිඳ දමා රජයේ පාලන ප්‍රදේශයට ඇතුළු වීමට කලබල කළහ. අපේ ළමයි තුවාල වෙලා බෙහෙත් ගන්න ඇතුළට ගන්නයි ඔවුහු කෑ ගැසූහ.
උද්ගත වූ තත්ත්වය පාලනය කිරීමට කපිතාන්වරයා අහසට වෙඩි තුනක් තැබුවා පමණකි. වැසියන්ට පිටුපසින් එකවර තුවක්කු පන්සීයක් පමණ සෙබළුන් සිටින දෙසට පත්තු වූවේය. සිවිල් වැසියන් ඉදිරියට දමා පිටුපසින් පැමිණ ඇත්තේ කොටින් බව හමුදාවට තේරුම් ගියේ එවිටය.
කපිතාන්වරයාගේ වෙඩි තැබිම නිසා කොටින් සිතුවේ හමුදාව තමන් හඳුනාගෙන ප්‍රහාර එල්ල කරන බවයි. ඉන් කලබලයට පත් වූ ගරිල්ලෝ තම සැලසුම අතහැර ආරක්ෂක      වළල්‍ලේ තිබූ බංකර් දෙකකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ. එම ප්‍රහාරය හමුදාවට දරා ගැනීමට අපහසු වූවේය.
ඒ -35 පාරේ හමුදා ආරක්ෂක වළල්ල බිඳ වැටුණි. කුමරන් පද්මනාදන් පසුකලක මාධ්‍යයට හෙළිකළ තොරතුරු අනුව එල්.ටී.ටී.ඊ.ය යුද හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩන විටත් සුසෙයි ඔහු සමග චන්ද්‍රිකා දුරකථනය ඔස්සේ සබඳතා පවත්වමින් සිටියේය. අපි කඩාගෙන ගියා එල්.ටී.ටී.ඊ. යෙන් ඔහුට ලැබුණු අවසාන පණිවුඩයයි. මේ නිසා කේ.පී. යුරෝපයේ සිටින කොටි හිතැති ප්‍රජාවට දැනුම් දුන්නේ ප්‍රභාකරන් ආරක්ෂක වළලු බිඳ දමා පලා යාමට සමත් වූ බවය.
එනමුත් කේ .පී ගේ උපකල්පනය වැරදී ගියේය. සිය ආරක්ෂක වළල්ල බිඳ  වැටෙනවාත් සමග ඒ - 35 පාරේ පිටු පසින් ප්‍රතිසංවිධානය වීමට පාබළ භටයෝ සමත් වූහ. ඒ කොමාන්ඩෝ හා විශේෂ බළකාවල අතිරේක ආරක්ෂාව සමගය. එල්.ටී.ටී.ඊ.යට එම ආරක්ෂක රැකවල් බිඳීමට නොහැකි විය. ප්‍රභාකරන් ඇතුළු  කොටි නායකයෝ  නැවත හැරුණහ. ඒ චාල්ස් ඇන්තනි නොමැතිවය.  හමුදා ප්‍රහාරයෙන් ඔහු මිය ගොස් තිබුණි.

මේ අතර වෙල්ලමුල්ලි වයික්කාල් දෙසට ඒ - 35 පාර ඔස්සේ  තුවාලකරුවන්  තිදෙනෙකු රැගෙන ගුවන් සංග්‍රාමික බළසේනාවට  අයත් ගිලන් රථය ගමන්කරමින්  තිබුණේය. හමුදා පාලන ප්‍රදේශයට පැන ගත් ගරිල්ලෝ ගිලන් රථය පැහැර ගත්හ. එහි උන් තුවාල ලැබූ සෙබළු තිදෙනාද රියැදුරාද  රථයෙන් පැන දිවි බේරා ගත්හ. ගරිල්ලෝ  රථයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල  කළහ. ඉන් ගිලන් රිය  ගිනි ගෙන පිච්චුණේය.
වෙඩි ප්‍රහාර  මැද ගිලන් රථය දැවෙන විට ඒ අවට වැටී තිබූ  ගරිල්ලන්ගේ සිරුරු කීපයක්ද දැවී විකෘති වී තිබුණි. යුද හමුදා බුද්ධි අංශ  නිලධාරීහු කොටින්ගේ  පණිවුඩ හුවමාරු  යන්ත්‍රවලට සවන් දුන්හ. ලොකු එක්කෙනාට අර දේ වුණා යනුවෙන් හුවමාරු  වූ පණිවුඩයක් බුද්ධි නිලධාරීහු  ග්‍රහණය කර ගත්හ. ගිලන් රථය ළඟ පිළිස්සුණු මළ සිරුරු තිබූ බැවින් මාධ්‍ය අතරට ගිය මුල්ම පණිවුඩයෙන් කියැවුයේ ප්‍රභාකරන්  ගිලන් රථයකින් පැන යමින් සිටියදී වෙඩි වැදී  මරුදුටු  බවයි. එනමුත් යුද හමුදා මූලස්ථානය ඒ කතාව බැහැර කළේය.
මේ අතර කොමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළු  ඇතුළු පාබළ රෙජිමේන්තු රැසක් ඒකාබද්ධව කොටියාට පැන යාමට ඉඩ නොදී  කොටුකර පහර දුන්හ. උදෑසන ප්‍රහාරය අඩ පණ වන විට ගරිල්ලන්ගේ මළ සිරුරු සෑම තැනම වැටී තිබුණි. බුද්ධි නිලධාරීහු  සිය ගෝනි බිල්ලන් රැගෙන මළ සිරුරක් මළ සිරුරක්  පාසා ගොස්  ඔවුන්ගේ  අනන්‍යතාව හෙළි කර ගත්හ. මුලින්ම හඳුනාගත්තේ ප්‍රභාකරන්ගේ  පුත් චාල්ස් ඇන්තනිගේ මළ සිරුරුය. ඔහු ළඟ තිබුණු  රුපියල් එක් කෝටි විසි තුන් ලක්ෂ තිස් නව දහසක් 53 වැනි සේනාංකය  සොයා ගත්තේය.
දහ අට වැනිදා කොටි නායකයන්ගේ මළ සිරුරු දුසිම් ගණන් හමු වන විට රජය ප්‍රකාශ කළේ  එල්.ටී.ටී.ඊ. ය සහමුලින්ම විනාශ කළ බවය. කෙසේ නමුදු මැයි දහ අට වැනිදා ප්‍රභාකරන් ගැන නිශ්චිත තොරතුරක් වාර්තා නොවීය.  හමුදා ප්‍රහාර  මැද ඔහු නන්දිකඩාල් කළපුවේ කඩොලාන අතරේ සැඟව සිටියේය.  සිය ගණනක් කායාරක්ෂකයන්ගේ දැඩි රැකවල් මැද දශක ගණනාවක් දිවිගෙවූ ප්‍රභාකරන්  වටා අවසාන මොහොතේ හුන්නේ ආරක්ෂකයන්    දහ අට දෙනෙකු පමණකි. එල්.ටී.ටී.ඊ. නායකයා සොයමින් අඛණ්ඩව මෙහෙයුම් කළ යුද හමුදාව නන්දිකඩාල්    කළපුවේ කඩොලාන එකින් එක පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ඇරඹීය. ඒ කාලතුවක්කු, මල්ටි බැරැල් මෙන්ම යුද ටැංකිවලින් ඒදෙසට එල්ල වූ වෙඩි  වරුසාවකින් ඉක්බිතිවය. මැයි දහ අට වැනිදා රාත්‍රියෙන් පටන්ගත් එම මෙහෙයුම පසුදින  එළිවනතුරා ක්‍රියාත්මක විය. පසුදින (19) උදෑසන 8 වැනි කාර්ය සාධක බළකාය  නන්දිකඩාල්  කළපුවේ මෙහෙයුම් ඇරඹීය.
මැයි දහ නව වැනිදා උදෑසන දහයයි පහට පමණ සෝදිසි මෙහෙයුමේ යෙදී සිටි 8 වැනි කාර්ය සාධක බළකායේ සෙබළුන්ට මළ සිරුරක් හමුවිය. ඒ තිස් වසරක් පුරා මේ රටේ ඉරණම තීන්දු කළ පුද්ගලයා වූ ප්‍රභාකරන්ගේ මළ සිරුරය. හිස පසාරු කරගෙන යන වෙඩි  උණ්ඩයක් ඔහුට වැදී තිබුණි. ප්‍රභාකරන්ගේ ඊළාම් හැඳුනුම් පත, චන්ද්‍රිකා තාක්ෂණ දුරකථනයත් හා පිස්තෝලයත් ඒ අසල විය. එනමුත්  ඔහුගෙ ගෙ‍ලේ සයිනයිඩ් කරලක් නොවීය. සයනයිඩ් කරල වූ කලී  සෑම එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයකුටම ප්‍රභාකරන් උරුම කළ වස්තුව විය. ඒ නිසාදෝ ප්‍රභාකරන් අසූ හතේදී ඉන්දීය අගමැති රජිව් ගාන්ධි හමු වීමට ගිය අවස්ථාවේ දී පවා එය තමන්ගේ  ගෙලෙන් ගැලවූයේ නැත. මේ නිසා අගමැති  ආරක්ෂකයන්ට සිද්ධ වූයේ රජිව් ගාන්ධිගේ ආරක්ෂාව පතා කොමාන්ඩෝ සෙබළුන්  යෙදවීමටය. එදා රජීව් ගාන්ධි ඉදිරියේ පවා  නොගැලවූ සයනයිඩ් කරල ප්‍රභාකරන්ගෙන් ගිලිහී තිබුණි.
ඔහු පිළිබඳ තිබූ වීර කාව්‍යවල තිබුණේ යම් හෙයකින් ඔහු මරා දැමුණහොත් හෝ සයනයිඩ් කෑවහොත් ඒ මොහොතේම ඔහුගේ සිරුර පුළුස්සා දැමීමට කායාරක්ෂකයන් ඉන්ධන බඳුනක් රැගෙන ගිය බවය. ඒ නායකයාගේ සිරුර සතුරා අතට පත්වීම වැළැක්වීමටය. එනමුත් ඒ කිසිවක් නන්දිකඩාල් කළපුවේ වූයේ නැත.  
ප්‍රභාකරන්ගේ මළ සිරුර සමග ඔහුගේ එකළොස් වියැති බාල පුතු වූ බාල චන්ද්‍රන්ගේ වෙඩි වැදුණු සිරුරද හමුදාවට හමුවිය. ප්‍රභාකරන්ගේ බිරිය වන මදිවදනී හා දියණිය ද්වරකාගේ ද ‍පොට්ටු අම්මාන්ගේ මළ සිරුර හඳුනා නොගත්තද හමුදාවේ තක්සේරුව වූයේ ඔවුන්ටද ප්‍රභාකරන්ට අත්වූ ඉරණම අත්වූ බවය.
මේ අතර ප්‍රභාකරන්ගේ මළ සිරුර හමුවීමත් සමග කලක් ඔහුගේ සුවච කීකරු සගයන් වූ කරුණා අම්මාන් හා දයා මාස්ටර් ගුවනින් වෙල්ලමුල්ලිවයික්කාල් බලා ගියහ. ඔවුහු සිය පැරණි නායකයාගේ මළසිරුර හඳුනා ගත්හ. ඉක්බිතිව ‍‍‍ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර දුරකථන සංවාද කීපයක් පැවැත්විණි. ඔවුහු ඉහළ තැන්වලින් උපදෙස් පැතූහ. වෙල්ලමුල්ලිවයික්කාල් බිමේ ප්‍රසිද්ධ නොකරන තැනකදී ප්‍රභාකරන්ගේ මළ සිරුර දවා අළු කරනු ලැබිය. ඉක්බිතිව අළු මුහුදට මුසු කෙරුණි. ප්‍රභාකරන්ගේ අළු සදාකාලිකව මුහුදු පත්‍ලේ සැඟව ගියේය.
තිස් වසරක් පුරා මේ ‍පොළොව මත රුහිරු ගංගා නිර්මාණය කළ තිරුවෙන්ගඩම් වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ කතාවද එතැනින් නිමාවට පත් විය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය