Powered by Blogger.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂහෑගොඩ විපස්සි හිමි

Hagaoda-Vipassi-himiඋතුම් වෙසක් පුන් ‍පොහොය උදාවට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. බෞද්ධයන් වශයෙන් අපට  එදින තිබෙන අතිශය වැදගත්කම සිහිපත් කරමින්ම අද දම් සංවාදය අරඹමු අපේ හාමුදුරුවනේ.වෙසක් පුන් ‍පොහොය දිනය කියන්නේ ලෝකවාසී බෞද්ධයන් වශයෙන් අපට ඉතාම වැදගත් දිනයක්. මෙදින තිබෙන වැදගත්කම අමුතුවෙන් හඳුන්වා දිය යුතු වන්නේත් නැහැ. අප ලොවුතුරු සම්බුදුරජාණන් වහන්සේගේ   උපත, බුද්ධත්වයට පත් වීම සහ පරිනිර්වාණය කියන සිදුවීම් සිදු වුණේ වෙසක් පුන් ‍පොහොය දිනදීයි. මෙම උතුම්දිනය බෞද්ධයන් වශයෙන් අප සමරන්නේ අද ඊයේ සිට නොවෙයි. මෙම දුරාතීත රජ දවස දක්වා දිවෙනවා. දුටුගැමුණූ මහා රජතුමන් වෙසක් ‍පොහොය  නිමිත්තෙන් එදිනට පූජා විසිහතරක් පැවැත්වූ බව සඳහන් වෙනවා. එය සිරිතක් ලෙස පවත්වා ගෙන විත් තිබෙනවා. රජතුමා මුල් වී රාජ්‍ය උත්සවයක් ලෙස මෙම උතුම් පිංකම පවත්වා තිබෙනවා.
 රාජ්‍යත්වයෙන් ස්මරණය කරන මොහොතක් නිසාම මෙදින වැදගත්කම  තව තවත් තීව්‍ර වනවා නේද අපේ හාමුදුරුවනේ.
ඔව්. රජවරුන්ම මූලික වී මෙය රාජ්‍ය උත්සවයක් ලෙස කළේ මන්ද පිළිබඳව තමයි විමසා බැලිය යුතු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අවසාන ඉලක්කය  නිවනයි. එය එක විට ලබන්න බැහැ.  ක්‍රමානුකූලව පුහුණු කළ යුත්තක්. ලංකේය  රජවරු ජනතාව යහ මගට  ගන්නට වෙසක් උත්සවය තෝතැන්නක් කර ගත්තා.රටම අවදි කෙරෙන සුචරිතවාදී කරන යහපත් සමාජයක් කරන්න කටයුතු කළා. ශීලය රැකීමක් තමයි රාජ්‍ය අනුග්‍රහයෙන් කළේ. අපිට පේනවා ඉතිහාසයේ නෂ්ටාවශේෂ තුළින් අනුරාධපුර, ‍පොළොන්නරු ආදී යුග වල  අපේ සමාජය  මොන තරම් සමෘද්ධිමත්වෙලා තිබුණද කියලා. බොහෝ විට අපරාධ  වලට හේතු වන්නේ දිළිඳු කම කියලා ධර්මයේ සඳහන්. බුදු දහම ඇසුරෙන් රාජ්‍ය පාලනය කල නිසා පුද්ගල  සහ රටේ සංවර්ධනය කියන දෙකම සිදු වුණා. ඊට රුකුල් වන්නට වෙසක් උත්සවය  වැනි මහත හරසරින්  සිදු කළේ.
 එදා පැවැත්වූ වෙසක් උත්සවය අද මෙන් හුදු උත්සවයක් පමණක්ම නොවෙයි නේද අපේ හාමුදුරුවනේ.අද බොහෝ උත්සව පවත්වනවානේ. ඒ සමහර විට බටහිර සංකල්පත් එක්ක වෙන්න ඇති. අද උත්සවයකදී කරන්නේ මත්පැන් පානය කරමින් මස් කමින්, අසංවරශීලීව  හැසිරෙමින් නැටුම් නටන එකනේ. වෙසක් උත්සවය කියන්නේ පින්කමක්, මෙම පිංකම   පින් සිදු වන විදියට කළ යුතුයි. තමන්ගේ සහ රටේ සංවර්ධනයට  ගැළපෙන අයුරින් කළ යුතුයි. අපේ අදහස් සන්නිවේදනයේදී සැබෑ සන්නිවේදනයක් අවශ්‍ය වෙනවා. වෙසන් උත්සවය සැමරීම සඳහා එය හුදෙක් සැණකෙළියක් නොකළ යුතුයි. අද දන්සල් දෙනවා. එය ඉතාම හොඳ දෙයක්.  පාරමිතා සම්පූර්ණ කිරීම පිළිබඳව  ජනතාව දැනුවත් කරන්න එය හොඳ අවස්ථාවක්. ඒත් ඉතා ලාභදායිව්‍යාපාර වන මත්කුඩු, මස් වගේ  වෙළෙඳාම්  කරලා එයින් කොටසක් දන්සල් වලට පින්කම් වලට යොමු කරනවා නම් එය සැබෑ පින්කමක් වන්නේ නැහැ. සැබෑ පිංකම වන්නේ එම වෙළෙඳාම් වලින් වැළකීමයි. තමන්ගේ පව්  සමා කර ගන්න අද සමහරුන් මෙවැනි දේ කරනවා. ඇතැම් අය අද දන්සල මහා ජාවාරමක් කර ගෙන. බොහෝ දන්සල් රෑ දොළහෙන් පස්සේ අපායක් වගෙයි. අවසන් වන්නේ  මිනී මරා ගෙන. වෙසක් උත්සවය කියන්නේ මම සඳහන් කළාක් මෙන්ම පින්කමක්. එය කළ යුතු වන්නේ කයෙන් හා වචනයෙන් සංවරවයි.
 මේ කාලයේ ආමිස පූජා මෙන්ම ප්‍රතිපත්ති පූජාත් දැකිය හැකියි නේද අපේ හාමුදුරුවනේ.
සිවු පසය පූජා කිරීම ආමිස පූජාවයි. දැහැමෙන් සමෛන් උපයා ගත් කරුනාව දයාව පෙරදැරි කර ගෙන පරිත්‍යාග කරන්නේ. ආමිස පූජාව නියම අර්ථය නොදන්නා නිසා  බොහෝ දෙන නිවැරදිව පින්කම් කරන්නට දන්නේ නැහැ. ප්‍රතිපත්ති පූජාව  කියල දෙයක් සඳහන් වන්නේ නැහැ.  ධම්ම  පූජා  කියල අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. ප්‍රතිපත්තිය   පූජාවක් එය කළ යුතු දෙයක්. උදාහරණයක් වශයෙන් ගතහොත් මත්පැන් බොන්න එපා කියලා   තියෙනවානේ. එය සමාදන් වුණාට මදි. තොල් මැතිරුවාට මදි. ඉන් වැළකිලා ජීවත් විය යුතුයි. අන්න ඒ  වැළකීම තමයි ප්‍රතිපත්තිය වන්නේ. ප්‍රතිපත්තිය යහපත්  නම් කුමන හෝ තැනකදී එය අනුගමනය කරනවා. වර්තමානයේ වෙසක් ‍පොහොය   එනවත් එක්කම ෙචෙත්‍ය වටේ කොඩි බඳිනවා. නෙලුම් මල්, රෝස මල් ලක්ෂ ගණනේ පූජා, සත් බුදු පූජා වගේ  දේවල්  පවත්වනවා. මේවා දැවැන්ත ව්‍යාපාර, පූජා ගොඩවල් වලින් අපි වැහිලා  ඉන්නේ. යථාර්ථවාදී අවබෝධ කර ගෙන නැහැ. අද  බොහෝ බෞද්ධයන්ව නොමගට යොමු කිරීමේ වැඩසටහන්  ක්‍රියාත්මකයි. ඇතැමුන් රහත් වෙනවා. රහත් කරවනවා. බුදු වෙනවා, බුදු කරවනවා. මෙය ඉතාමත් අවිචාරවත් කාලයක්. හෙට අනිද්දා නිවන් දකින්න  පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ කී දෙනෙක්  නිවන් දකින්නට තිබුණාද. ජේතවනාරාමය අසල කොතරම්  දෙනෙක් සිටියාද. ඔක්කොම නිවන් දැක්කේ නැහැනේ.
ඒ වාගෙමයි අපේ හාමුදුරුවනේ අද බොහොම සීග්‍රයෙන් මිථ්‍යා මත සමාජගත වීමත්, බෞද්ධයන්ට මහත් පීඩාවක් බව පැහැදිලියි.
ඔව්. මම කලින් සඳහන් කළාක් මෙන්ම  රහතුන් වහන්සේලා, බුදුවරුන් කොයි තරම් නම් පහල වන යුගයක්ද මේ. එවැනි දේ පිටුපස කොයි තරම් නම් දෙනෙක් හඹායන යුගයක්ද මේ. ඒ වාගෙමයි අද බොහෝ තරුණයන්ගේ අම්මල තාත්තල හඬා වැළපෙමින් කතා කරනවා. ඔවුන් විවිධ මත වල එල්බ ගැනීම  නිසා. නාට්‍ය බලන්න එපා. රෑට කන්න එපා,  මහන වෙන්න ඉඩ දෙන්න නැතන්ම මවුපියන් මරා ගෙන හරි මහන  වෙන තැනට ඔළු හෝද ගෙන කටයුතු කරන පිරිස් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ දහමේ  ගැටුම්  නැහැ. බුදුදහම වගේ දෙයක් තමයි සමහරුන් සමාජගත කරන්න හදන්නේ.  මේ දේවල් නැති කරගන්න හොඳ  කාලයක් මේ.  ඇතැම් කෙනෙක්  භාවනා කරනවා හිත් විනාශ කර ගෙන. සිල්වත් කම කියන දේ එක මොහොතක එක තැනක නමෛයි ජීවිතයේ හැම මොහොතේම සීලය තිබිය යුතුයි.
 අපේ හාමුදුරුවනේ සමස්ත ලෝවැසි බෞද්ධ  ජනතාවම උතුම් වෙසක් පුන් ‍පොහොයට පෙළගැසෙමින් සිටින මොහොතේ ඔවුනට ඔබ වහන්සේ  ලබා දෙන උපදේශයක් බෙහෙවින්ම වැදගත් වේවි.
වෙසක් ‍පොහෝ දිනයේ සැබෑ අරුත  කුමක්ද කියා අපි සැවොම නිවැරදිව අවබෝධ කර ගත යුතුයි. පුද්ගලයන් ධර්ම ඥානයෙන් අඩුවන කොට ධර්මය  නොදන්නා කම නිසා එය පිළිපැදීමේ අසහනයක් ඇති වෙනවා. එම නිසා මිත්‍යා මත වලම ඇලී ගැලී නොසිට මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වී සම්‍යා  දුෂ්ටියට එළඹිය  යුතුයි. හොඳ දේ දැන පිළිපැදීමත් නරක දේ දැන අත්හැරීමත් කළ යුතුයි.  මිනිසුන්ගේ   මානසික පරිසරය ගොඩ නගා ගන්නට සැබෑ දහම සමාජගත කළ යුතු අතරම ලජ්ජා  භය ඇතිව ජීවත් වන සමාජයක් ඇති කිරීම සඳහා අප  සියලු දෙනාම අද අදම කටයුතු කළ යුතුවම තිබෙනවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය