Powered by Blogger.

අප කතා කරන්නේ, වචන පිට කරන්නේ මුවෙනි. එය අරුමයක් නොවේ. එහෙත් ඔවුන් කතා කරන්නේ දෑතිනි. ඇඟිලි තුඩු වලිනි. අපගේ දෑසට හසු නොවන බොහෝ දේ ඔවුන්ගේ ඇඟිලිතුඩුවලින් කියවිය හැකිය. දෑස් අඳ වුවත් ඔවුන් ද අප විඳින ලෝකයේ ම ජීවත් වේ. එහෙත් එය අපට ඇතැම් විට අමතකව ගොස් ඇතැයි සිතේ.

එසේ නමුත් ඇඟිලි තුඩු අගින් ලෝකය දකින ඔවුනට දෙපයින් නැගී සිටීමට අවැසි ශක්තිය සැපයීමට ඉතාමත් සංවේදී හිතැත්තකු ඉදිරිපත් වී ඇත. අපට අමතක වූ අපේම සහෝදරයන්ට ඔහු සැබෑම සොයුරෙක්. නමින් ඉෂිකාවෝ වූ ඔහු ජපන් ජාතික තරුණයෙකි. තුසාරේ ටෝකින් හෑන්ස් වෙත පිය නැගීමට අප සිතුවේ මොවුනගේ මේ සුවිශේෂත්වය නිසාමය.

කොළඹ 07 කලබලකාරී පරිසරයේ පිහිටි මේ ආයතනයට පය තබත්ම ඇසුණේ සිහින් සංගීත රාවයකි. එය සිත සනසාලන සුළුය. ඇස ගැටෙන හැම දෙයකම ඇත්තේ චාම් බව හා පිරිසුදු බවයි.
“ආ... එන්න ඇවිත් වාඩිවෙන්න...” ජපන් පෙනුමැති තරුණයකු ඉතා සුහද ආකාරයෙන් අප පිළිගත්තේය.
“අපේ ආයතනය නිල පිරිමැදීම මඟින් සම්බාහනය සිදු කරන ආයතනයක්. මසාජ් සෙන්ටර් කිව්වම ගොඩක් අය හිතන්නේ වෙනස් විදියකටනේ. ඒ වුණාට අපේ ආයතනයෙන් යම් කිසි රෝගයක් තියෙන කෙනකුට වුණත් නිල සම්බාහනය මඟින් සහනයක් ලබා ගන්න පුළුවන්.”
* මේ ආයතනය අනෙකුත් සම්බාහන ආයතනවලට වඩා වෙනස් වෙන්නේ මොන හේතු නිසාද?
හේතු කිහිපයක් ම තියෙනවා. එකක් මේ සම්බාහනය සිදු කරන්නේ ඇස් නොපෙනෙන තරුණයන් පිරිසක්. ඇස් පෙනෙන පුද්ගලයන්ට වඩා හොඳින් ඇස් නොපෙනෙන පුද්ගලයන්ට නිල සම්බාහනය සිදු කරන්න පුළුවන්. මොකද ඔවුන්ගේ ඇඟිලි තුඩු ඇස් පෙනෙන අයගේ ඇඟිලිතුඩුවලට වඩා සංවේදීයි. ඔයත් දන්නව ඇතිනේ එයාල පොත්පත් කියවන්නෙත් ඇඟිලි තුඩුවලින් බව. අනිත් එක මසාජ් එක කරන අතරතුර ඔවුන්ගේ අවධානය වෙනතකට යන්නෙ නැහැ. ඒත් අපි එහෙම දෙයක් කරනකොට කවුරු හරි ඒ ළඟින් යනව දැක්කත් ඔළුව හරවලා ඒ දිහා බලනවා. එතකොට මනස එහෙ මෙහෙ දුවනවා. තමා කරන කාර්යය ගැන අවධානය අඩු වෙනවා....
දෙවැනි කාරණය මෙහිදී තෙල් හෝ වෙනත් කිසිවක් ආලේප කරන්නේ නෑ. සමහර අය ඒවගේ දේවල්වලට කැමැති නෑ. ඒ වගේම නිල සම්බාහනය කරගන්නා පුද්ගලයා ඇඳුම් ඉවත් කිරිමක් හෝ මාරු කිරීමක් කළ යුතු වෙන්නෙත් නෑ. මේ හේතු සියල්ලම නිසා තුසාරේ සම්බාහන ආයතනය අනෙකුත් සම්බාහන ආයතනවලට වඩා වෙනස්. ඒ වෙනස ඕනම කෙනකුට අත්විඳින්න පුළුවන්... ඔහු බොහොම චතුර ලෙසින් නිවැරැදි උච්චාරණයෙන් සිංහල හසුරුවන ආකාරයත් හරිම ආකර්ශනීයයි.
* මේ වගේ ආයතනයක් ආරම්භ කරල ඒකට ඇස් නොපෙනෙන අය සේවයට ගන්න හිතුවේ ඇයි?
ඇස් නො පෙනුණත් ඔවනුන් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෝ. අපි වගේම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න මේ අයටත් අයිතියක් තියෙනවා. ඒත් සමාජය ඒ අය පැත්තකට කරල ඉස්සරහට යනවා. ලෝකෙ අනිත් රටවල ඇස් නො පෙනෙන සහ ආබාධිත අයට මීට වඩා සලකනවා. ලංකාවේ ඔවුන්ට පවු කියලා අනුකම්පාවෙන් කීයක් හරි දෙන්න හැමෝම වගේ කැමැතියි. ඒත් වෙන්න ඕනෙ ඒක නෙවෙයි. එයාලව සමාජයට බරක් නොවෙන්න ස්වාධීන කරන්න ඕන. එයාලටත් ජිවනෝපායක් හදල දෙන්න ඕන...
මේ අය සීදූවෙ තියෙන ආබාධිත වෘත්තීය පුහුණු ආයතනයේ සංජීව කියන මහත්මයා යටතේ හොඳින් නිල සම්බාහනය පුරුදු පුහුණු වූ පුද්ගලයන්. සංජීවත් ජපානයට ගිහින් මේ නිල සම්බාහනය පිළිබඳ හොඳින් ඉගෙනගත් පළපුරුදු කෙනෙක්. එම ආයතනයෙන් පුහුණු වුණත් මේ අයට වෘත්තිකයන් විදියට යොමු වෙන්න තැනක් තිබුණෙ නෑ. මම ලංකාවේ ප්‍රසිද්ධ ආයතන කීපයකටම ගිහින් පෞද්ගලිකවම මේ අය ගැන කතා කළත් ඒ කිසිම කෙනෙක් මේ අය වෘත්තිකයො කරගන්න කැමැති වුණේ නෑ.
අන්තිමේදී මම තීරණය කළා අපිට පුළුවන් විදියට මේ අය රැකියාවක යොදවන්න. මේ ආයතනය පටන් ගත්තේ ඒ අරමුණෙන්. මෙයින් උපයන මුදල්වලින් තමයි මේ අයගෙ පඩි නඩිත් ආයතනය පවත්වාගෙන යන ගොඩනැල්ලේ මාසික කුලියත් අනෙක් වියදමුත් පියව ගන්නෙ. මුළින් මවුපියන් එක්කම ගමන් බිමන් ගිය මේ අය දැන් තනිවම ගෙදර යන්න එන්න පවා පුරුදු වෙලා. කටුගස්තොට වගේ දුර බැහැර තරුණයොත් මේකෙ සේවය කරනවා.
* මේ දේවල්වලට අමතර දෙයක් වුණත් මේක නම් මට අහන්නෙ නැතිවම බැරි ප්‍රශ්නයක්. කොහොමද ජපන් ජාතිකයෙක් වෙලත් මේ තරම් හොඳට සිංහල කතා කරන්නෙ...
මම ලංකාවට ආවෙ 2002 අවුරුද්දේ. ඒ දවස්වල අනුරාධපුර, පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල වැඩ කළා. ගම්වල මිනිස්සු එක්ක කතා බහ කරනකොට මට සිංහල පුරුදු වුණා. 2004 සුනාමියෙන් පස්සෙ මම ගාල්ලට ගියා. රට හැම තැනම වැඩ කළ නිසා හොඳින් සිංහල කතා කරන්න පුළුවන් වුණා.
ඔහුගේ හඬ බොහොම මිත්‍රශීලීයි.
සිංහල ජාතිකයන් ලෙසින් ඉපදිලත් හරියට සිංහල කතා කරන්න බැරි අයට ඉෂිකාවෝ සමඟ කතා බහේ යෙදුණොත් කොතරම් ලැජ්ජාවක් ඇතිවේදැයි මට සිතුණා...
* මේ ආයතනයේ නිල ප්‍රතිකාර කරන්න කාන්තාවන් කීප දෙනෙක් නැතිවීම අඩුවක් කියල හිතෙන්නෙ නැද්ද?
ඇත්තටම ඔව්. දැනට මේකෙ ඉන්නෙ තරුණයො පස් දෙනෙක්. මේකට තරුණියො කීප දෙනෙකුත් හිටිය නම් අපේ ආයතනය සම්පූර්ණයි. ඒත් සමහර මවුපියන් ඇස් නොපෙනෙන දුව සම්බාහන ආයතනයක වැඩට එවන්න බයයි. ඒත් අපි වැඩ කරන්නෙ වගකීමක් ඇතිව. නෙත් අඳ ගෑනු ළමයකුට මැහුම් ගෙතුම් උගන්වන්න උනන්දුවෙන මවුවරුන් ඔවුන්ට නිල සම්බාහනය පුහුණුකර අපේ ආයතනයට යොමු කළොත් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිතයි. අපේ ආයතනයට ඇවිත් ඕනම කෙනකුට විශ්වාසය තහවුරු කරගන්න පුළුවන්. ධර්මපාල මාවත, 103/12, කොළඹ 07.


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය