Powered by Blogger.



මට නවක ක්‌ලැසික්‌ බේදයක්‌ නැහැ

නවරත්න ගමගේ, සිය නාමය සිංහල කලා ක්‌ෂේත්‍රයේ රඳවා ඇත්තේ සංගීත අධ්‍යක්‌ෂවරයකු ලෙසය. ගීතය, වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍යය යන අංශයන්හි ඔහු රැඳවූ ලකුණ, පරපුරවල් ගණනාවක්‌ සමඟ වැඩකරමින් ලද පන්නරය එක්‌කර මහා කලා වෑයමකට ඔහු මේ වන විට සැරසෙමින් සිටියි. ඒ අතරේම, ඔහුගේ නිර්මාණ පිළිබඳ විස්‌තර ඇතුළත් වෙබ් අඩවියක්‌ විවෘත කිරීමේ සූදානමක්‌ වෙයි. මේ ඒ ගැන ඔහු සමග කරන ලද කතිකාවකි.

 * මොකක්‌ද මේ අලුත් වැඩේ...

අලුත් වැඩ දෙකක්‌ සඳහා මේ දිනවල සූදානම් වෙනවා. එකක්‌ තමයි, මගේ ගැන වෙබ් අඩවියක්‌ පටන් ගන්න. මට ලංකාවේ කලා ක්‌ෂේත්‍රයේ පුළුල් ඉඩකඩක වැඩ කරන්න ලැබුණා. ඒකෙන් මම ලොකු සතුටක්‌ ලැබුවා. විවිධ පරම්පරාවල් නොසිතූ අත්දැකීම් සමග මම වැඩ කළා. ඒ වැඩ කටයුතු ටික, විදේශගතව ඉන්න අපේ රසිකයන් හා ලෝකයා සමග බෙදාගන්න මම වෙබ් අඩවියක්‌ ආරම්භ කරනවා.

 * නවරත්න ගමගේ සංගීත චරිතයක්‌ වෙන්න පටන් ගත්තේ කොහොමද?

ඒක පටන් ගන්නේ නාට්‍ය කලාවෙන්. නිර්මාණ සංවාද කුලකය කියලා සංවිධානයක්‌ පිහිටුවා ගෙන කොළඹ මහජන පුස්‌තකාලයේදී සහෘදයන් පිරිසක්‌ රැස්‌වුණා. අධ්‍යාපනයෙන් පස්‌සෙ රැකියාව කියන එක සම්බන්ධ බරපතළ ගැටලුකාරී තත්ත්වයක්‌ ඒ කාලේ යෞවනයන් වූ අපට තිබ්බා. මමත් ඒකට මුහුණ දුන්නා. සංගීතය හා සාහිත්‍ය පිළිබඳ විශාල ඇම්මකින් හිටියත්, ජීවන අරමුණුවලට මුහුණ දෙන්න වෙනත් වෘත්තීමය පරිසරයකට මට යොමු වෙන්න සිද්ධ වුණා. එතැනදි මම කොළඹ කොමර්ෂල් ඉංජිනේරු ආයතනයේ පුහුණු කාර්මික ක්‌ෂේත්‍රයේ රැකියාවක්‌ කළා. පිටරටකට යා යුතුයි කියන අදහස අනුව තමයි ඒ පුහුණුව හා රැකියාව තෝරා ගත්තේ. රැකියාව ඉවර වෙලාබස්‌ එකට නඟින්න එන්නේ, කොළඹ මහජන පුස්‌තකාලය ඉස්‌සරහට. එතකොට මම මහජන පුස්‌තකාලයට ඇදිලා යනවා. එතැනදි විවිධ මතධාරීන් සමග කතිකාවක්‌ ඉදිවෙනවා. ඒක මගේ ජීවිතයට ලොකු බලපෑමක්‌ කළා.

 * කලාව ගැන ඔබ එසේ උනන්දු වෙන අතරේ, නිර්මාණ කරුවෙක්‌ ලෙස මතු වෙන්නේ කොහොමද?

ඒ අතරේ, මේ වටපිටාව අපි ඇසුරු කරනවා. චිත්‍රපට බලනවා. වේදිකා නාට්‍ය බලනවා. කලා සංවාදවලට යොමු වෙනවා. අසූව දශකයේ මුල් කාලයේ එවැනි උනන්දුවක්‌ තරුණ පරපුර අතර තිබ්බා. මමත් එහි කොටස්‌ කරුවෙක්‌ වුණා.

 * මේ වන කොට, ඔබගේ ක්‌ෂේත්‍රය සංගීතය කියලා, ඔබ තෝරාගෙන ඉවරද...?

නැහැ... එහෙම තෝරා ගැනීමක්‌ මම කරලා තිබ්බේ නැහැ. මට තිබ්බේ සමාජ සංස්‌කෘතික කුතුහලය. ඒක ගමෙන් ඇතිවෙන්නේ. කොමර්ෂල් ඉංජිනේරු ආයතනයේ ඉන්න කොට විවිධ තලවල පැතිවල මිනිස්‌සු හම්බ වෙනවා. ඒ අතරේ මම නාඩගම් ගී, මූර්ති, ජන ගී ගැන හදාරමින් ඉන්නවා. ඒ අතරේ බී. වික්‌ටර් පෙරේරා මහතාගෙන් සංගීතය හදාරනවා. ඒ කාලයේදි තරුණ නාට්‍යවේදීන්ගේ නිර්මාණවලට සංගීතය සපයන්න මාව තෝරාගන්නවා. එහෙම තෝරා ගන්නේ මගේ ප්‍රැක්‌ටිකල් දැනුමක්‌ නිසා නෙමෙයි. සංගීතය පිළිබඳව අලුතෙන් හිතන්න පතන්න, සංවාද කරන්න තියෙන ආශාව නිසා තමයි, මට මේ සඳහා ආරාධනා ලැබෙන්නේ. මුලින්ම දීප්ති කුමාර ගුණරත්නගේ නිරුවත් නාට්‍යයේ හා ප්‍රසන්තජිත් අබේසූරියගේ දුක්‌ගන්නාරාළ යන නාට්‍යවල සංගීතය සපයනවා. ඒත් මට තද අරමුණක්‌ නැහැ. මේ සඳහා පිවිසෙනවා කියලා. ඊට වඩා මම රැකියාව කරන තැන හරි ප්‍රබලයි. ඒක ලෝකයේ ප්‍රසිද්ධම අති දැවැන්ත තාක්‌ෂණික කාර්මික ආයතනයක්‌. ඒක නිසා ඒ ගැන විශ්වාසයක්‌ තිබ්බා. කොම්පඤ්ඤවීදියේ පැල්පතේ මනුස්‌සයාගේ ඉඳලා, ඇමරිකාවේ, එංගලන්තේ ඉහළම තාක්‌ෂණික අත්දැකීම් ලබපු අය දක්‌වා පරාසයක්‌ එතැන හිටියා. ඒ අතරේම "රසයෙන්" පිරිච්ච මිනිස්‌සු ටිකක්‌ එතැන හිටියා. ඒ මිනිස්‌සු රටට ආදරය කරපු පරාර්ථකාමී චරිත. සමහරු රැකියාව සඳහා රට යන්න උත්සාහ කරනවා. එහෙම කරන්නෙත්, තමන්ගේ පවුල ගොඩනගන්න. අම්මට තාත්තට සලකන්න. සහෝදරියන් කසාද බන්දලා දීම වගේ පරාර්ථකාමී අරමුණු තමයි, එතැනදීත් තිබුණේ.

ඒ අතරේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ, සිංහබාහු, ලෝම හංස, භව කඩතුරාව යන නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්‌ථාව ලැබුණා. ඒක පුදුම අත්දැකීමක්‌ වුණා. ඊළඟට, කීර්ති පැස්‌කුවල්ට යන්නබැරි තැනකදී, ඔහු විසින් නන්දා මාලනී මහත්මියට ලියුමක්‌ දීලා මාව එතැනට යවනවා. එහිදී ඇය මාව සත්‍යයේ ගීතයට තෝරා ගන්නවා. ඒ එක්‌කම සෝමලතා සුබසිංහ වගේ අය මට අවස්‌ථාව දෙනවා. මේ, මම සංගීතඥයෙක්‌ වෙන්න ඉලක්‌ක කරපු ගමනක්‌ නෙමෙයි. මම උසස්‌ පෙළ, සාමාන්‍ය පෙළට සංගීතය කළේ නැහැ. මට වුවමනාව තිබ්බේ කලාව ගැන. ඒ සඳහා එන සංවාද ගැනයි. ඒ මහා ආශාව මට ඇති වෙන්නේ ගංගොඩවිල කියන ගමෙන්. පැපිලියානේ හිටපු රොසයිරෝ සහෝදරයා අපිට කෘතියක්‌ කියවන්න දීලා ඒ ගැන සංවාද කරනවා. රස විඳින හැටි කියලා දෙනවා. මෙයින් ලැබුණු ඥනය මට ගොඩක්‌ බලපෑවා. හැදැරීමක්‌ සඳහා යන ගමනේදී තමයි, මට අවස්‌ථාව උදාවෙන්නේ.

 * සංගීතඥයෙක්‌ ලෙස ඔබව ස්‌ථිර වෙන්නේ කොහොමද...

යසනාත් ධම්මික බණ්‌ඩාරගේ පොත එළිදැක්‌වීමේ උත්සවයක්‌ තිබෙනවා. මේක සංවිධානය කරන්නේ, වසන්ත බණ්‌ඩාර දුක්‌ගන්නාරාළයි, තිsඹිරියාගම බණ්‌ඩාරයි. මේකෙදි කපුගේ මහත්තයාට සින්දු හදන්න මට කියනවා. ඒ වෙනකොට මම යසනාත් දැකලා තිබ්බේ නැහැ. මට පද රචනා ගෙනහල්ලා දෙන්නේ දුකා. ඒ සඳහා මම සංගීතය නිර්මාණය කරනවා. ඒ උත්සවයේ සංගීතයත් මම මෙහෙයවනවා. උණුසුම් වේදිකාවෙන්, ශීතල ශබ්දාගාරයකට මම යන්නේ මේ කාලයේ.

කෙටි චිත්‍රපට, කෙටි නාට්‍ය ආදිය මට හම්බු වෙනවා. සෙනේශ් බණ්‌ඩාර දිසානායකගේ යාත්‍රා වැඩසටහන සඳහා ඔහු මාව ගන්නවා. එතැනදි තමයි මාව සංගීතඥයෙක්‌ විදිහට ප්‍රසිද්ධ කරන්නේ. එතැනදී ගීතය නෙවෙයි, ආදරය ගැන සංගීතයක්‌ මම සපයනවා. සෙනේශ් කරපු ඒ වැඩේ හරි වැදගත් වුණා මට. සංගීත අධ්‍යක්‌ෂවරයෙක්‌ බවට මාව පත් කරන්න තමයි සෙනේශ්ට වුවමනා වුණේ.

 * කාර්මික ක්‌ෂේත්‍රයෙන් විදේශගත වෙන්න හිටපු නවරත්න ගමගේ සංගීතඥයෙක්‌ බවට පත්වෙනවා. එතැනින් පස්‌සේ...

මට ඔස්‌ටේ්‍රලියාවට එන්න කිව්වේ, මගේ අනාගතය ගැන ගොඩක්‌ හිතපු බණ්‌ඩාර කියන මගේ ගමේ හිටපු සහෘදයෙක්‌.

ඒ අරමුණ ඉවර වෙලා 1996 වෙන කොට මම සංගීත ක්‌ෂේත්‍රයට යොමුවෙනවා. ප්‍රවීනයාගේ සිට අද ක්‌ෂේත්‍රයට ආපු නවකයා දක්‌වාම මම වැඩ කරලා තියෙනවා. ජනප්‍රියද ක්‌ලැසිකල්ද ඒ සියලු දෙනා එක්‌කත් වැඩ කරලා තියෙනවා. සඳදිය දොaතක්‌ කියලා මගේ නිර්මාණාත්මක ප්‍රසංගයකුත් පැවැත්වුණා. ඒ අංශයෙන් පස්‌සේ මගේ අභියෝගය තියෙන්නේ තියටර් එකත් එක්‌ක. ඒ සඳහා මගේ තෝරාගැනීම තමයි "පනාමුරේ".

 * මොකක්‌ද මේ පනාමුරේ කතාව...

මගේ ජීවිත ගමනේ සංගීත ගමනේ වැදගත් තැනක්‌ තමයි පනාමුරේ. මේක පනාමුරේ ඇතාගේ සිද්ධිය අළලා කරපු සංගීත සංවනියක්‌. ඓතිහාසික පනාමුරේ හස්‌තිරාජ පදනමේ විධායක අධ්‍යක්‌ෂ සමන් රත්නායක මහත්මයා මේ සඳහා මට විශාල සහයෝගයක්‌ ලබාදෙනවා. ඒ වගේම මනරම් මීඩියා ආයතනයේ රාජිත හෙන්නායක උදව් කරනවා. පනාමුර කුංචනාද නිර්මාණ කණ්‌ඩායමත් හොඳ සහයෝගයක්‌ මට ලබාදෙනවා.

මැයි අටවෙනිදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 3.00 ට මගේ වෙබ් අඩවිය විවෘත වෙනවා, ආචාර්ය අමරදේවයන් අතින්. එදාට පනාමුරේ ඇතා ගැන වෙබ් අඩවියකුත් විවෘත වෙනවා. ඒ විවෘත කිරීම එදා හිටපු ඇත්ගොව්වා අතින් සිදු වෙනවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය