Powered by Blogger.

රංගන ශිල්පිනී - අනෝමා වික්‍රමාරච්චි

රංගන ශිල්පිනියන් පිළිබඳ විවිධ විවේචන එල්ල වන යුගයක එවැනි චෝදනාවලට හසු නොවී නිර්මාණ පසුපස හඹායැමේ පිපාසාවක්‌ නොමැතිව තම රංගන දිවිය ඉතා සාර්ථකව ගොඩනඟාගත් කලාකාරිනියක්‌ ලෙසින් අනෝමා වික්‍රමආරච්චි හඳුන්වා දිය හැකිය.

කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ අනෝමා පාසල් අවධියේ පටන් සප්තස්‌වරයට දැක්‌වූයේ ඉමහත් ආශාවකි. ඒ නිසාවෙන්ම විෂයක්‌ ලෙසට සංගීතය හැදැරූ ඇයට පාසල් වේදිකාව මතට නැගී සමස්‌ත ලංකා මට්‌ටමේ ජයග්‍රහණ ලැබීමට විටෙක එය ආභරණයක්‌ විය.

පසු කලෙක 2004 වසරේ විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වූ අනෝමා එහිදී අවසන් තරගකාරියන් අටදෙනා දක්‌වා පැමිණීමට වාසනාව උදා වූයේ හැකියාවෙන් මෙන්ම රූපයෙන් ද ඇය සර්ව සම්පූර්ණ ගැහැනියක්‌ වූ නිසාමය.

ඒ වාසනාව ඉන් අනතුරුව ඇයව කැඳවාගෙන ආවේ කුඩා කල සිටම බෙහෙවින් ආශා කළ සිනමා හා ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයටය. සරත් ධර්මසිරි මහතාගේ ගිනි කිරිල්ලී, සෝමරත්න දිසානායක මහතාගේ සමනල තටු, වසන්ත ඔබේසේකර මහතාගේ ආගන්තුකයා වැනි සිනමා පට අනෝමා සිනමා නිළියන් දක්‌වා රැගෙන යැමට හේතු පාදක විය.

කටු ඉඹුල, චක්‍රායුධය, මහතලාහටන, කදුරංගනා වැනි ටෙලිනාට්‍ය ඔස්‌සේ රූපවාහිනි ප්‍රේක්‍ෂක ආකර්ශනය දිනාගත් අනෝමා ගැන අද රසික හිතවතුන් කතාබහ කරන්නේ මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්‌සේ විකාශය වන "සිහින සක්‌මන" ටෙලිනාට්‍යයේ "බබානෝනා"ගේ චරිත හරහායි.

ක්‍ෂේත්‍රය තුළ අත්දැකීම් නැතැයි පවසමින් විවිධ නිර්මාණ අධ්‍යක්‍ෂවරු ඇය අභියෝගයට ලක්‌කරමින් කතාබහ කළ අවස්‌ථාවක මේ චරිතය භාරගනිමින් අද වන විට ප්‍රේක්‍ෂක ප්‍රතිචාර හමුවේ එම අභියෝගය ජයගන්නට සමත්ව සිටිනවා. එහෙයින් බබානෝaනා චරිතය අනෝමා රඟපෑ ප්‍රධාන චරිතයක්‌ වන අතර එය ඇය මේ ක්‍ෂේත්‍රයේ ජයග්‍රාහී ඉසව්වකට කැඳවාගෙන යනු ලබයි.

සිහින සක්‌මන ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ දිල්ශාන් එල්ලාවල හා නිෂ්පාදකවරුන් වන සනත් රෝහණ හා ලසන්ත ගමගේ යන නිර්මාණකරුවන්ගේ පැසසුම් හා ප්‍රේක්‍ෂක ජනතාවගේ නොමඳ ප්‍රතිචාර ලබමින් අනෝමා යන මේ ගමන සාර්ථක කරගැනීමට පොළොවේ පය ගසා සරළ ජීවිතයක්‌ ගතකරන ගැහැනියක්‌ වීම ඉවහල් වී තිබෙනවා.

විවිධ රූපවාහිනි දැන්වීම් හරහා ද ප්‍රේක්‍ෂකයාට සමීපව සිටින අනෝමා ඉදිරියේදී ටෙලිනාට්‍ය නිර්මාණ කිහිපයක්‌ තුළින් ද ප්‍රේක්‍ෂකයා ඉදිරියට පැමිණීමට නියමිතය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය