Powered by Blogger.



ඔහු ප්‍රියංකරය, ප්‍රියමනාපය, ප්‍රසන්නය. නාට්‍ය රංග කලාව ඔහුගේ මුළු ශරීරයම වැළඳගෙන ඇත. රංග කලාව ඔහුගේ ජීවයයි. ඔහු ප්‍රියංකර රත්නායකයි.

නමුත්, එම මතුපිටින් පෙනෙන දෙයයි. එයට වඩා ගැඹුරින් පිහිටා ඇති පුද්ගලයා සුවිශේෂ වූ මෙහෙය, ඔහුගේ දායකත්වයෙන් මෙරට තරුණ නාට්‍යකරණයේ හෙබි තරුණ පිරිස්‌ පෝෂණය කරන අනේකවිධි ආකාරය වසන් කර ඇත.



ඔහුගේ දායකත්වය, අප්‍රසිද්ධය. නමුත් දශකයකටත් අධික කාලයක්‌ පුරා මෙරට නාට්‍යකරණය පෝෂණය කර ඇත. නාට්‍යකරණය ජීවමාන කර ඇත. ඔහුගේ රංගන දායකත්වයෙන් නාට්‍ය කලාවට ජීවයක්‌ ලබාදී ඇත. ඔහුගේ නාට්‍ය අධ්‍යක්‍ෂණයන් පුදුමාකාර ලෙස චමත්කාර ලෙස රසවිඳිය හැකි නාට්‍ය ගණනාවක්‌ වේදිකාගත වී ඇත. එයින් ජන හදවත් සුවපත්භාවයට පත් කොට ඇත.

ඔහු තරුණ නාට්‍ය ශිල්පී පුරපරක්‌ බිහිකර ඇත. එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් රට පුරා විහිදී ගොස්‌ ඔවුන්ගේ ශිෂ්‍යයන් බිහි කර ඇත. එය නොකඩවා සිදුවෙමින් පවතියි.

එම සියල්ලටම වඩා ඔහු වැදගත්වන්නේ නිහඬවම නාට්‍යකලාවට පමණක්‌ නොව, රඟපෑම හා නාට්‍ය කලාවට නෑකම් කියන ක්‍ෂේත්‍ර ගණනාවක්‌ පුරාම ඔහු දක්‌වා ඇති ප්‍රබල, වැදගත් වටිනා දායකත්වයයි.

එක අතකින් ඔහු නාට්‍ය ගණනාවක රගපා ඇත. සුවිශේෂ වූ අමතක නොවන චරිත ජීවමානව කර ඇත. අනිත් අතින් නාට්‍ය රචනය, සිනමා රංගනය, රූපවාහිනි රංගනය, සිනමා තිර රචනය, ශාස්‌ත්‍රීය ලිපි සම්පාදනය, ටෙලිනාට්‍ය රංගනය, වෙස්‌ මෝසතර නිර්මාණය, අංග රචනය, පසුතල නිර්මානය, ඡායාරූප ශිල්පය යනාදී මෙවන් පුළුල් ක්‍ෂේත්‍ර ගණනාවක්‌ හරහා විශ්ව කර්මයෙකු සේ ඔහුගේ දායකත්වය හා කුසලතාව විහිදී ගොස්‌ ඇත.

ඔහුගේ මෙම ගමන තනිව ආ ගමනක්‌ නොව, ඔහු සමග කටයුතු කළ පිරිස්‌ ගණනාවක්‌ ඔහු විසින් තම දැනුම බෙදා හදාගෙන ඇත.

මේ සියල්ලටම ඔහු දායක වි ඇත්තේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පරපුරක්‌ බිහිකිරීමට බලවත් ලෙස දායක වෙමිනි. ආරම්භයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ කථිකාචාර්ය වරයෙක්‌ වශයෙන් හා පසුව ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්‌ වශයෙන් දැයට ශිෂ්‍ය පරපුරක්‌ බිහිකරමින් ඒ අය පෝෂණය කරමින් ඒ අය සමග ජීවත්වෙමින් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් බලවත් ලෙස එයට යොමු කරමින් ඒ පිළිබඳ පුදුමාකාර උදෙසාගයක්‌ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සිත් සතන්වලට කාවද්දමින් කරන නිහඬ සේවය පිළිබඳ දැනුමක්‌ ඇත්තේ එම සිසු දරු දැරියන්ටය. එසේ බිහි කරන ලද පරපුර මෙරට අස්‌සක්‌ මුල්ලක්‌ නෑර විසිරී මෙරට නාට්‍ය හා රංගකලාව හැදෑරීම නොනවත්වා පවත්වාගෙන යැමට සමත්ව ඇත. එසේ තරුණ පරපුර බිහිකිරීමට හා පෝෂණය කිරීමට දශක ගණනාවක්‌ පුරා විවිධ මට්‌ටම්වලින් නාට්‍ය හා රංගකලාවේ දිසාපාමොක්‌වරයෙක්‌ ලෙස කටයුතු කිරීමෙනි.

ඔහු වැනි බලවත් අධිෂ්ඨානයකින් හෙබි ආචාර්යවරුන් තවත් සිටින්නේ කීදෙනෙකුද? ඔහුගේ ගුරු හරුකම් පන්තිකාමර දේශනවලට පමණක්‌ සීමා නොවී ශිෂ්‍යයන් සමග කිට්‌ටු සබඳතාවයක්‌ ගොඩනඟා ගනිමින් ඔවුන් ප්‍රබෝධවත් කරමින් නාට්‍ය කරණයට බලවත් ලෙස බැඳී සිටීමට හැකිවන සේ අනුබල දෙමින් ඔහු ගොඩනැඟූ ක්‍රියාවලිය මගින් විශ්වවිද්‍යාලවල ඇති සීමිත පහසුකම් හුවා දැක්‌වීම වෙනුවට ඇති අවම පහසුකම් මධ්‍යයේ දහඩිය මන්සියෙන් වගා කළ අස්‌වැන්න ප්‍රබලය. කැලණිය ධර්මාශෝක ශාලාව පිටුපස පෙදෙසේ පිහිටා ඇති "වල" නැමති හුලං පොදක්‌වත් නොමැති ශාලාවක දහඩිය වගුරවමින් දශක ගණනාවක්‌ වෙහෙසුන ප්‍රතිඵලයි.

කැලණිය විශ්වවිද්‍යාලය හා එයට අනුබද්ධිත ඔහුගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නාට්‍ය සංගමයක්‌ වන "ඇකඩමි ප්ලේයර්ස්‌" මගින් විශේෂිත වූ වැදගත් නාට්‍ය ගණනක්‌ බිහි වී ඇත. එසේ පෝෂණය වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කොට ඇති විශිෂ්ට රංගන දායකත්වය සුවිශේෂ ස්‌ථානයක්‌ ගනී.

මෙරට නාට්‍ය කලාවේ විශිෂ්ට රංගන දායකත්වය දැක්‌ වූ කලාකරුවන් ගණනාවකි. නමුත් එක ගුරුවරයෙක්‌ වසර ගණනාවක්‌ පුරා ගෝල පරපුරක්‌ බිහිකරමින් එම ගෝල පරපුර දේශයට මුදා හැරීමෙන් හා එම ශිෂ්‍ය පරපුර රංග කලාවේ නිරතවීමෙන් හා රංග කලාව තවත් පරපුරකට දායද කිරීමෙන් මෙරට නාට්‍ය කලාවට දක්‌වා ඇති සේවය අනභිබවනීය වේ. මෙම ක්‍රියාවලිය ඉඳහිට වසින වැස්‌සක්‌ සේ නාට්‍ය ඉදිරිපත් වෙන තත්ත්වයකට පත් වී තිබූ ලාංකීය නාට්‍ය කලාව 2002 සිට මේ වන තෙක්‌ නිෂ්පාදනය කර ඇති නාට්‍ය ගණන 11 කි. ඒවායින් සමහරක්‌ අග්‍රගණයේ නාට්‍ය කලා කෘති විය. තවත් සමහරක්‌ ඉහළ මට්‌ටමේ නාට්‍ය බවට පත් විය. මෙම නාට්‍යය සියල්ලම නාට්‍යකරණයේ රැකිය යුතු, පිළිපැදිය යුතු රීතීන් තුළ නිෂ්පාදනය වූ ඒවාය.

2004 දී "ඊඩිපස්‌" සහ "මගේම මුහුණ" නාට්‍ය දෙක පළමු වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිෂ්පාදනයට හා අධ්‍යක්‍ෂණයට නිර්දේශ වු අතර, 2006 දී " තටු ඇවිත්" නාට්‍යයත් එසේම ඇගයීමට පාත්‍ර විය. 2006 දී යළිත් එවැනි ඇගයීමට " ඇන්ටිගනි" නාට්‍ය ලක්‌ වූ අතර, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම පරිවර්තනය සහ හොඳම සංගීතය වෙනුවෙන් සම්මාන හිමි කර ගැනීමෙන් ශිෂ්‍යයින් කුමන මට්‌ටමේ මෙහෙයවීමකට ලක්‌ වී තිබුණද යන්න මැනැවින් දැකීමට හැකි විය.

මෙසේ ශිෂ්‍ය ශිෂ්‍යාවනට ගුරු හරු කම් දක්‌වමින්, පෝෂණය කරන අතරතුර ප්‍රියංකර, උගතමනා ශිල්පය වෙත පමණක්‌ එවුනගේ දෑස්‌ එළිය කිරීමට සීමා නොකොට ඔහුද මෙම ක්‍ෂේත්‍රයේ පැතිකඩ ගණනාවකට අනර්ඝ ලෙස දායක වී ඇත. එයින් ලැබුණු අත්දැකීම තම හැකියාවන් තියුණු කිරීමට පමණක්‌ සීමා නොකොට ඔහුගේ ශිෂ්‍යයනට දායාද කරන ලද්දේ සහතිකයකට හෝ පොතකට පමණක්‌ සීමා වූ දැනුම නොවේ. අත්දැකීමෙන්, අත් විදීමෙන්, බලවත් කැපවීමෙන් ලැබුණු දුර්ලභ නිපුනත්වය එම දරුවනට දායාද කරමින්ය.

ඔහුගේ මෙම සහභාගීත්වය විහිදී යන මංමාවත් ඇදහීමට තරම් පුළුල්ය. ඔහු විසින් රංගන දායකත්වය දැක්‌ වූ නාට්‍ය ගණන 30 කි. රඟපෑ ටෙලිනාට්‍ය ගණන 23 කි. තිස්‌ස අබේසේකර සමග තිර රචනය කළ " දොරකඩ මාරාව" ඇතුළු සිනමා කෘතීන් ගණන 3 කි. අබේසේකරයන් සමග රචනා කළ " මායා" වසන්ත ඔබේසේකර සමග " සළෙළු වරම" ඇතුළු කෘතීන් 13 කි.

එදා මෙදා තුර " දොරකඩ මාරාව" සඳහා හොඳම රචනයට වසන්ත ඔබේසේකර සමග ලැබූ ජනාධිපති සම්මානයද, නාට්‍ය සඳහා සම්මාන 8 කුත්, ටෙලි නාට්‍ය සඳහා සම්මාන 7 ක්‌ ද විය. මෙම සම්මානවලට අමතරව අධ්‍යක්‍ෂණය හා නිෂ්පාදනය සඳහා නිර්දේශීත වූ වාරයන් ගණන තුනකි. ටෙලි නාට්‍ය සඳහා විශිෂ්ට රංගනය සඳහා නිර්දේශිත වූ වාර ගණන හතරකි.

මෙවැනි ගුරුවරයෙකුගෙන් ශිල්පය හැදෑරිමට තරම් වාසනාවන්ත ශිෂ්‍යයන් මෙරට සිටින්නේ කොපමණද? එසේ නාට්‍යකරණ සහභාගිත්වය මෙසේ ගුරු හරුකමක්‌ දක්‌වමින් කරන මහඟු සේවය කම්කටොළු රාශියක්‌ මැද අගනේය.

විශ්වවිද්‍යාලවල ඇති අනේක විධි අඩු පහසුකම් ඔහුට බාධාවක්‌ නොවීය. එම අඩු පහසුකම්වලට සාධාරණ හේතු දක්‌වමින් අලස කමින් කාලය ගත කරමින් ඔහු නොසිටියේය. එයයි ඔහුගේ ප්‍රධානතම වටිනාකම, එම නිසායි ඔහු විශේෂයෙන් අනභිබවනීය වන්නේ.

මේ සියල්ල මෙනෙහි කළ විට මෙම නිහතමානී මිනිසා, දුර්ලභ ගුරුවරයෙකු පමණක්‌ නොව අනර්ඝ කලාකරුවෙකු වීම මුළු මහත් විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයට මහඟු ආදර්ශයකි.


ආචාර්ය ඩී.බී.  නිහාල්සිංහ
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය