Powered by Blogger.



පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී 23 හැවිරිදි ෂමිල සඳරුවන් මහතා නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනකු විසින් කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේදී ඊයේ (12 වැනිදා) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර ඇත.

මන්ත්‍රීවරයා සමඟ මෝටර් රථයේ ගමන් කරමින් සිටි ඔහුගේ මිත්‍රයකු වන විසිහැවිරිදි සංඛ නමැත්තා ද වෙඩි ප්‍රහාරයන්ට ලක්‌ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඝාතනයට ලක්‌වූ ෂමිල සඳරුවන් ඇමැති මර්වින් සිල්වා මහතා සමඟ ඉතාම සමීපව කටයුතු කළ දේශපාලනඥයෙකි.

නාගරික මන්ත්‍රීවරයා සිය මිතුරා ද සමඟ මෝටර් රථයෙන් යමින් සිටියදී ඒ පසුපස යතුරුපැදියකින් පන්නාගෙන ආ නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදුකර ඇත.

වෙඩි ප්‍රහාර එල්ල වීමත් සමඟම මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය පාලනය කරගත නොහැකිව ගොස්‌ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටී නතර වී තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ මන්ත්‍රීවරයා සිද්ධිය වූ ස්‌ථානයේම මියගොස්‌ ඇත. උදරයට සහ පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාර තුනකින් බරපතළ තුවාල ලැබූ සංඛ නමැත්තා ඒ මොහොතේම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මන්ත්‍රීවරයා මහර අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට ඉදිරිපත්වීම සඳහා ඊයේ පෙරවරුවේ එහි ගොස්‌ තිබිණි. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ ගැටුමක්‌ සම්බන්ධයෙන් මහර අධිකරණයේ නඩුවක්‌ විභාග වෙමින් තිබූ බව පොලිසිය පවසයි.

මන්ත්‍රීවරයා එම නඩුවට ඉදිරිපත් වී තම මිතුරාද සමඟ පෑලියගොඩ මීගමුව පාරේ පිහිටි නිවස වෙත යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්‌වී ඇත.

මන්ත්‍රීවරයාගේ පියා ද රථවාහන නඩුවක්‌ සම්බන්ධයෙන් මහර අධිකරණයේ පෙනී සිටි අතර ඔහු යතුරුපැදියක නැගී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථයට පසුපසින් ගොස්‌ තිබේ.

එහෙත් මෙම වෙඩි තැබීම සිදුවන අවස්‌ථාවේ පියා ඒ ආසන්නයේ සිට නැත.

ඝාතකයන් මිලිමීටර් නවය වර්ගයේ පිස්‌තෝලයක්‌ යොදාගෙන වෙඩි තැබීම සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ. මන්ත්‍රීවරයාගේ හිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කීපයක්‌ම එල්ල වී තිබිණි.

මෙම ඝාතනය කවුරුන් විසින් සිදුකළේ ද යන්න ඊයේ සවස්‌ වනතුරුත් හෙළි වී නොතිබිණි. කොළඹ පාතාලයේ ප්‍රබලයකුව සිටි ප්‍රින්ස්‌ කොලම්ස්‌ නමැත්තාගේ මස්‌සිනා බව කියන පුද්ගලයකු සමඟ ෂමිල සඳරුවන් මන්ත්‍රීවරයාගේ ආරවුලක්‌ පැවති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

ප්‍රින්ස්‌ කොලම්ස්‌ගේ මස්‌සිනා බව කියන පාතාල ප්‍රබලයා මීට දින කීපයකට උඩදී පෑලියගොඩ ප්‍රදේශයට පැමිණ ෂමිල සඳරුවන් මන්ත්‍රීවරයා පිළිබඳව තොරතුරු සොයා ඇති බව ද හෙළි වී තිබේ. එහෙත් මෙම ඝාතනය එම පාතාල සාමාජිකයන් විසින් සිදුකළේ ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක්‌ ඊයේ හවස්‌ වනතුරුත් ලැබී නොතිබිණි.

ඝාතනයට ලක්‌ වූ ෂමිල සඳරුවන් මන්ත්‍රීවරයා පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස පත්වූයේ මුල් වතාවටය. ඔහු විවාහ වී ඇත්තේ ද මීට ටික කලකට උඩදීය.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සැලවීමෙන් පසු බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, සහකාර පොලිස්‌ අධිකාරි උදය හේමන්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්‌ සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නවදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක්‌ව තුවාල ලබා රෝහල්ගතකර සිටින සංඛ නමැත්තා පවසා ඇත්තේ මෙම වෙඩි තැබීම සඳහා පැමිණි පුද්ගලයන් හඳුනාගත නොහැකි බවයි.

පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය