Powered by Blogger.

දළඳා නගරයේ නයිට් රේස් සූදානම්.. තිබ්බොත් ජීවිත පූජාවක් ඓතිහාසික මහනුවර නගරයේ රාත‍්‍රී කාර් රේස් සැණකෙළිය යළිත් පැවැත්වීමට සූදානමක් ඇති බවත් ඊට එරෙහිව ජීවිත පූජාවෙන් කටයුතු කරන බවත් මහනුවර උරුමය සුරැුකීමේ පදනමේ සභාපති නිමල් පේ‍්‍රමවංශ මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෝටර් රථ තරඟ නැවත වරක් පැවැත්වීමට එම සංවිධායකයන් ඉතාමත් සූක්ෂම ආකාරයෙන් සැලසුම් කරමින් සිටින බවයි.
මහනුවරදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේද කීය.
‘මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් ගිහි පැවිදි පාර්ශ්ව දැඩි විරෝධය එල්ල කරමින් තිබෙනවා. මේ විරෝධය නොතකා රාත‍්‍රී කාර් රේස් සැණකෙළිය පැවැත්වීමට කිසිවෙකු හෝ කටයුතු කරන්නේ නම් මහා සංඝරත්නය එක්ව දිවි පුදා හෝ එය නතර කරනවා.Nimal-Premawansa
මහනුවර දළදා නගරයේ රාත‍්‍රී මෝටර් කාර් රේස් සැණකෙළි පැවැත්වීම සදහා මේ වනවිටද හොර රහසේ සාකච්ඡුා දෙකක් පවත්වා එළැඹෙන පොසොන් මාසයේ රාත‍්‍රී කාර් රේස් පැවැත්වීමට තීරණයකට එළඹ තිබෙන බව අපට දැන ගැනීමට ලැබී තිබෙනවා. මේ සාකච්ඡ සදහා දේශපාලන හා රාජ්‍ය පරිපාලන බලධාරීන්ද සහභාගී වූ බවට තොරතුරු අපට ලැබුණා. පූජනීය දළදා නගරයේ පෙරහර කරඩුව වඩම්මවන වීදි කේන්ද්‍ර කොට මෙම රාත‍්‍රී මෝටර් කාර් රේස් පැවැත්වීමට මෙහිදී තීරණය කොට තිබෙනවා. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බදු වූ දළදා සමිදුන් වැඩ සිටින මේ පූජනීය නගරයේ රාත‍්‍රී කාර් රේස් තරග පැවැත්වීමට අප කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ’
 
 
 
සත්තු වත්ත බලන්න යන සියල්ලන්ට ‘අලි’ ක්‍ෂය රෝගය වැළඳීමේ අවදානමක්…
සත්තු වත්ත බලන්න යන සියල්ලන්ට ‘අලි’ ක්‍ෂය රෝගය වැළඳීමේ අවදානමක්… අලි නැටුම් සංදර්ශනය දෙහිවල සත්වෝද්‍යානය නරඹන ලොකු ‍පොඩි කොයිකාටත් විනෝදාස්වාදය සපයන අංගයකි. එහෙත් පසුගිය 21 වැනි සඳුදා සිට දෙහිවල සත්තුවත්තේ පැවැත්වූ අලි නැටුම් සංදර්ශනය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඊට හේතුව අලි නැටුමට සහභාගි වන නැට්ටුක්කාර අලින් පස්දෙනෙකු ක්ෂය රෝගයට ගොදුරු වීමය.
දෙහිවල සත්වෝද්‍යානයේ සිටින අලින් 8 දෙනාගෙන් ක්ෂය රෝගය වැළඳී තිබෙන්නේ ඉන්දි, දේවි, ඛිෙමා, නාමලි සහ මාධවී යන කෙණෙරන් (අලි ගැහැනු සතුන්) පස්දෙනාටය. මේ හැර නැට්ටුක්කාර කෙණෙරක් වන ගංගාටත්, ට්‍රින්කි නමැති කෙණෙර පැටවාටත් ජෝආ නමැති අප්‍රිකානු ඇතාටත් ක්ෂය රෝග කාරක විෂබිජ ශරීරගත වී නොමැති බව තහවුරු වී තිබේ. බන්දුල නමැති අලියාට ක්ෂය රෝගය වැළඳී ඇතිදැයි පරීක්ෂා කිරීමට නොහැකි වී තිබෙන්නේ එකී අලියා මද කිපී ඇති නිසාය.
ක්ෂය රෝගය වැළඳීම යන කාරණාව නිසා දෙහිවල සත්වෝද්‍යානයේ අලි නැටුම් සංදර්ශනය 21 වැනි සඳුදා සිට නවතා දැමුවද මෙම අලින්ට ක්ෂය රෝගය වැළඳී ඇති බව තහවුරු වූයේ අදක ඊයේක නොවේ. මීට මාස දෙකකට පෙරදීය. එනම් ක්ෂය රෝගය විෂබිජ ශරීරගතවී ඇතිදැයි අදාළ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පශු වෛද්‍යවරුන් දෙහිවල සත්වෝද්‍යානයේ බලධාරීන්ට ඒ බව දැනුම් දී තිබෙන්නේ පෙබරවාරි මාසයේදීය. එහෙත් අලි නැටුම් සංදර්ශනය නවතා දමනු ලැබුවේ අප්‍රේල් 21 වැනිදා සිටය.
ඇත්ත වශයෙන්ම අප කතා කළ යුතු වන්නේ අලි නැටුම් සංදර්ශනය නවතා දැමීම පිළිබඳව නොවේ. මාස දෙකක් වැනි කාලයක් මෙය සඟවා ගෙන අලි නැටුම් සංදර්ශන පැවැත්වීම පිළිබඳවය.
සත්ව රෝග පනතට අනුව බෝවන රෝගයක් සතෙකුට වැළඳී තිබේ නම් වහාම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුය. එහෙත් දෙහිවල සත්වෝද්‍යානයේ අලි පස් දෙනෙකුට ක්ෂය රෝගය වැළඳීම පිළිබඳව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන්නේ මෙම මාසයේදීය.
එතෙක් මෙය සඟවා තබාගැනීමෙන් දෙහිවල සත්වෝද්‍යානයේ බලධාරීන් සිදුකර තිබෙන්නේ බලවත් වරදකි. මන්ද මෙවැනි රෝගී සතුන්ගෙන් දෙහිවල සත්වෝද්‍යානයේ අනෙක් සතුන්ටත් සේවකයන්ටත් නරඹන්නන්ටත් රෝගකාරක විෂබිජ පැතිරී යෑමේ අවදානමක් තිබෙන නිසාය. රුපියල් කෝටි ගණන් වැය කරමින් ක්ෂය රෝගය මර්දනය කිරීමේ වැඩපිළිවෙළවල් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබද්දී රජයේ ආයතනයක් වන දෙහිවල සත්වෝද්‍යානය ක්ෂය රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පියවර නොගැනීම සැබැවින්ම රජයේ අවධානයට යොමු විය යුතුය. මෙය රජය අපකීර්තියට පත්කිරීමට ගත් උත්සාහයකි.
මෑතභාගයේ දෙහිවල සත්වෝද්‍යානයේ අලින්ට ක්ෂය රෝගය වැළඳුණු ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මෙහිදී අපට සිහිපත් වන්නේ පසුගිය වසරේ පින්නවල අලි අනාථාගාරයේ සිට දෙහිවල සත්තුවත්තට රැගෙන ආ ගගන නම් අලි පැටවාය. වයස අවු: 5ට අඩු ගගන හා ට්‍රින්කි යන අලි පැටවුන් දෙදෙනාව මවගෙන් උදුරාගෙන දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන එනු ලැබිමෙන් ඇතිවිය හැකි ජීව විද්‍යාත්මක ගැටලු පිළිබඳව මාධ්‍ය මගින් පුනපුනා කොතෙකුත් අනාවරණය කළද ඒ ගැන තඹේකට මායිම් නොකළ බලධාරීන්ට අවසානයේදී ගගන අලි පැටවාව පින්නවලට යැවීමට සිදුවූයේ ගගන ක්ෂය රෝගයට ගොදුරු වූ බැවිනි.
ඒ අතරවාරයේදී පින්නවල අලි අනාථාගාරයෙන්ද ක්ෂය රෝගය වැළඳුණු අලි පැටවකු හමු විය. ඒ පාලි නමැති අලි පැටවාය. පාලි ක්ෂය රෝගයට ගොදුරු වී ඇති බව සොයා ගනු ලැබුවේ අපේ රටේ පශු වෛද්‍යවරුන් නම් නොවේ. නවසීලන්තයේ පශු වෛද්‍යවරුන්ය. ඊට හේතු වූයේ පාලි හා දිනූදා අලි පැටවුන් නවසීලන්තයට යැවීමට කටයුතු සූදානම් කර තිබූ බැවින් නවසීලන්ත පශු වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණ පාලි හා දිනූදාව පරීක්ෂා කිරීමය.
එම අවස්ථාවේදී පාලි අලි පැටවාට ක්ෂය රෝගකාරක විෂ බිජය ශරීරගතවී ඇති බව සොයා ගැනිණි. පින්නවල අලි අනාථාගාරයෙන් පින්නවල ඉදි කෙරෙන සත්තුවත්ත භූමියට රැගෙන ගිය පාලි අලි පැටවාට කඩිනමින් ප්‍රතිකාර කිරීම ඇරඹිණි. ක්ෂය රෝගයට ගොදුරු වූ ගගන අලි පැටවාව යැවුණේද පින්නවල සත්තුවත්ත ඉදි කෙරෙන භූමියටය.
ඉන් අනතුරුව උද්භිද හා ‍පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයට අයත් එකම පාලන අධිකාරියකින් පාලනය කෙරෙන දෙහිවල සත්වෝද්‍යානයේත් පින්නවල අලි අනාථාගාරයේත් සිටින සියලුම අලින්ට ක්ෂය රෝගය වැළඳී ඇතිදැයි පරීක්ෂාවට ලක් කිරීමට බලධාරීහු තීරණය කළහ. මේ වන විට ඇමෙරිකාවේ RingLing Brothers යන සර්කස් කණ්ඩායම පරිත්‍යාග කළ ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටලය (Chembio Antibody test cit) ඊට උපකාරි විය.
මෙම පරීක්ෂණ කට්ටලයෙන් සතුන්ට පමණක් වැළඳෙන විෂබිජ සහ මිනිසුන්ට බෝවන රෝගකාරක විෂබිජ වෙන් වෙන් වශයෙන් පෙන්වා දෙනු ඇත.
ඒ අනුව අලි පරීක්ෂා කිරීමේදී දෙහිවල සත්වෝද්‍යානයේ අලින්ගෙන් 5 දෙනෙකුටත් පින්නවල අලි අනාථාගාරයේ අලින්ගෙන් අලි 3 දෙනෙකුටත් ක්ෂය රෝග විෂබිජය ශරීරගතවී ඇති බව අනාවරණය විය. තවද මෙම විෂබිජය මනුෂ්‍යයන්ට පැතිරී යන්නක් බවටද හෙළි විය. මෙම ක්ෂයරෝග විෂබිජ හෙවත් ප්‍රතිදේහ ශරීරගත විය හැකි ආකාර කීපයක් තිබේ. ප්‍රතිදේහ එන්නත් කිරීමෙන් ප්‍රතිදේහ ශරීරගතවීම එක් ආකාරයකි. ඒ හැර රෝගය වැළඳීමෙන් අනතුරුව ප්‍රතිදේහ තවදුරටත් ශරීරගතවී තිබිය හැකිය. එකී කාරණා දෙක හැරුණු විට රෝගකාරකය ශරීරගතවීම නිසා ප්‍රතිදේහ ශරීරගත වී තිබෙන ආකාරය දැකිය හැකිය.
මේ වන විට ක්ෂය රෝග ප්‍රතිදේහ ශරීරගත වී තිබෙන අලින්ට ප්‍රතිදේහ එන්නත් කර නොමැති බව අනාවරණය වී තිබේ. එමෙන්ම මෙකී අලින්ට ක්ෂය රෝගය වැළඳී සුවපත්වීමක් සිදුවී නොමැත. එසේ නම් මෙම සතුන්ට ප්‍රතිදේහ ශරීරගතවී තිබෙන්නේ රෝග කාරකයක් ලෙසිනි. එහෙත් මෙම විෂබිජ පිටත පැතිරී යන්නක් ද නැතිද යනුවෙන් 100කින් සනාථ කළ හැකි වන්නේ අලින්ගේ හොඬවැලෙන් ලබාගන්නා ශ්‍ලේෂ්මපටල රෝපණය කර පරීක්ෂා කිරීමෙනි. නමුදු එම පරීක්ෂණය සඳහා ශ්‍ලේෂ්මපටල හොඬවැලෙන් ලබාගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අලින් මාස ගණනක් පුහුණු කළ යුතුය.
ඒ ආකාරයට මාස ගණනක් බලා සිටීමද අවදානම් සහගත ක්‍රියාවකි. මන්ද ඒ වනවිට විෂබිජ පැතිරී යෑම සිදුවිය හැකි බැවිනි. එම නිසා විෂබිජ ශරීරගතවූ සත්වයන් වෙන්කර ප්‍රතිකාර ආරම්භ කිරීම සාමාන්‍ය පිළිවෙතය. නමුත් විෂබිජ ශරීරගත වූ අලින් වෙන්කිරීම සිදුවූයේ පින්නවල අලි අනාථාගාරයේ පමණි. එහි සිටි රෝගී අලි තිදෙනාව පින්නවල සත්වෝද්‍යානය ඉදිකෙරෙන භූමිය හෙවත් වාගොල්ල වත්තට ගෙනගොස් ඇත්තේ වාගොල්ල වත්ත ක්ෂය රෝග වාට්ටුවක් බවට පත්කරමිනි.
ක්ෂය රෝගකාරක විෂබිජ ශරීරගතවූ දෙහිවල සත්වෝද්‍යානයේ සිටින අලින් පස්දෙනා වෙන්කර ප්‍රතිකාර කිරීම තබා අඩුම වශයෙන් වෙහෙසට පත් නොකර විවේකීව තැබිමට තරම්වත් දෙහිවල සත්වෝද්‍යානයේ බලධාරීන් කාරුණික වූයේ නැත. එයින් සිදුවූයේ රෝගී අලි දිනපතාම අලි නැටුම් සංදර්ශනවලට සහභාගි කරවා වෙහෙසට පත්කරවමින් රෝගී තත්ත්වය තව තවත් උග්‍ර තත්ත්වයට පත්කිරීමය. ක්ෂය රෝගයට ගොදුරු වූ අලින් වෙහෙසට පත්වූ විට පෙණහලුවල තිබෙන රෝගකාරක පිටතට පැමිණ ශ්වසන මාර්ගය හරහා ගමන් කරනු ඇත. මෙම අලින් කිවිසුම් පිටකිරීමේදී එම විෂබිජ වාතයට මුසුවේ. එවිට සත්තුවත්තේ සිටින අනෙක් සතුන්ටත් සේවකයන්ටත් නරඹන්නන්ටත් විෂබිජ ශරීරගතවීමේ හැකියාව ඇත.
දෙහිවල සත්වෝද්‍යානයේ සිටින ක්ෂය රෝගයට ගොදුරු වූ අලින් පස්දෙනා යොදවා මාස 2ක් මුළුල්‍ලේ අලි නැටුම් සංදර්ශන පවත්වනු ලැබිමෙන් ක්ෂයරෝග විෂබිජ කොතරම් ව්‍යාප්ත වූවා දැයි අපි නොදනිමු. එහෙත් ක්ෂය රෝගයට ගොදුරු වූ අලි පිළිබඳව තොරතුරු සඟවා අලි නැටුම් සංදර්ශන පැවැත්වීමෙන් දෙහිවල සත්වෝද්‍යාන පාලකයන් සිදුකර තිබෙන ජාතික අපරාධය සුළුකොට තැකිය නොහැකිය. ඔවුන් සිදුකර තිබෙන්නේ රටේ ජනතාවගේ සෞඛ්‍යය අවදානමට ලක්කිරීමකි. එය රාජ්‍ය ආයතනයකින් සිදුවීම තත්ත්වය වඩාත් තීව්‍ර කරවයි.
මේ පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය වූයේ සිදුවන ජාතික අවදානම මැඩලීමට යම් පියවරක් ගතයුතු නිසාය. මාධ්‍ය තුළින් හෙළි වීමත් සමග වහාම ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයයි. ඉකුත් සතියේ ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය දෙහිවල සත්වෝද්‍යානයට පැමිණීමත් සමගම බලධාරීන්ට තරු පෙනුණි. අප්‍රේල් 21 වැනි සඳුදා සිට නැටුම් සංදර්ශන තාවකාලිකව අත්හිටවනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඊට අමතරව ක්ෂය රෝගයට ලබාදෙන ඖෂධ ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය විසින් ඇනවුම් කර ඇති බවට සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරයි. ක්ෂය රෝගය වැළඳුණු සත්වයෙකු නිට්ටාවට සුවකිරීම සඳහා නොකඩවා මාස 09ක් ඖෂධ ලබාදිය යුතුය.
මේ වන විට දෙහිවල සත්වෝද්‍යානය තුළ උද්ගතවී තිබෙන අලුත්ම තත්ත්වය වන්නේ ක්ෂය රෝගය වැළඳුණු අලි ගැන නිර්දේශ කළ පශු වෛද්‍යවරුන්ට විරුද්ධව ‍පෝස්ටර් ඇලවීම සහ උද්ඝෝෂණ පැවැත්වීමය. අලි නැටුම් සංදර්ශන නැවැත්වීමට සිදුවූයේ පශු වෛද්‍ය නිර්දේශය නිසා යැයි කියාපාන දෙහිවල සත්තුවත්ත සුරැකීමේ සංවිධානය මෙම පශු වෛද්‍යවරයා පන්නා දැමිය යුතු බව එකී ‍පෝස්ටර්වලින් පවසා ඇත. දෙහිවල සත්වෝද්‍යානය සුරැකීමේ සංවිධානයට අලින් රෝගී වීම ගැන හෝ අනෙක් සතුන්ටත් සේවකයන්ටත් නරඹන්නන්ටත් විෂබිජ පැතිරී යෑම ගැන වගක්වත් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ අලි නැටුම් සංදර්ශන පැවැත්වීම පමණි.
එහෙත් අලි නැට්ටුක්කාරියන් ගිලන් වූ විට අලි නැටුම් සංදර්ශන නවතා දමා ඇති අවස්ථා දෙහිවල සත්වෝද්‍යාන ඉතිහාසයේ ඕනෑ තරම් ඇත. විශේෂයෙන් අලි නැටුම් කණ්ඩායමේ නායිකාව වන ඉන්දි ගිලන් වූ විට අලි නැටුම් සංදර්ශන පැවැත්වෙන්නේ නැත. එමෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපති ධුරයේ සිටින වකවානුවක සත්ව ශුභසාධන සංගම් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව වසරක පමණ කාලයක් අලි නැටුම් සංදර්ශන නවතා දමා තිබිණි. යළි එය ආරම්භ කරනු ලැබුවේ අලි නැටුම් සංදර්ශනයේ ඇති ප්‍රාථමික අංග ඉවත් කර නවාංග එකතු කරන ලෙසට උපදෙස් දෙමිනි.
එහෙත් අලි නැටුමේ පරණ අංග ඉවත් කෙරුණේ නැත. නවාංග එකතුවූයේ ද නැත. අලි නැටුම් පුහුණු කරන්නෝ පුරාණයේ සිට පැවතෙන ආකාරයටම කිසිදු වෙනස්වීමකට භාජනය නොකර අලි නැටුම් සංදර්ශන පවත්වති. සැබැවින්ම එය අලි නැටුම් පුහුණු කරන්නන්ගේ වරදක් නොවේ. ඔවුහු ලෝකයේ සෙසු රටවල පැවැත්වෙන අලි නැටුම් සංදර්ශන පිළිබඳව කිසිවක් නොදනිති. අඩුම වශයෙන් තායිලන්තය වැනි රටක අලි නැටුම් නරඹා පුහුණු කිරීමේ ක්‍රමවේද පිළිබඳව දැකබලාගෙන එන්නටවත් ඔවුන්ව විදේශ රටකට යැවෙන්නේ නැත. එහෙත් බලධාරීහු නිරන්තරයෙන් පිටරට සවාරියේ යෙදෙති. අලි නැටුම් පුහුණු කරන්නෝ ළිඳේ සිටින මැඩියන් සේ ගුලි වී සිටිති.
හර්ෂා සුගතදාස
ඡායා: පින්සිරි ආරියරත්න
*************
අලි නැටුම් නැවැත්වීම නරඹන්නන්- සේවක මහතුන් සහ අනෙක් අලි ඇතුන් ක්ෂය රෝගයෙන් බේරාගැනීමට කළ දෙයක්
ජාතික සත්වෝද්‍යානයේ අලි කිහිප දෙනෙකුගේ ක්ෂය රෝග ප්‍රතිදේහ හඳුනා ගැනීම ආශ්‍රිතව පශු වෛද්‍යවරුන්ට ඇති වී ඇති තර්ජන සම්බන්ධව එහි ‍ලේකම් වෛද්‍ය සී.ජී. විජේසිංහ සහ සභාපති වෛද්‍ය බි.ඒ.ඩී.එස්. ජයවර්ධන යන මහතුන්ගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලි අතරින් කිහිප දෙනෙකුට ක්ෂය රෝග තත්ත්වයට අදාළ ප්‍රතිදේහ ඇති බව පරීක්ෂණවලින් පසුගියදා හඳුනා ගෙන ඇත. ඒ අනුව මිනිසුන්ට සතුන්ගෙන් වැළඳෙන (zoonotic) ක්ෂය රෝග කාරකවලට අදාළ ප්‍රතිදේහ එම සතුන් තුළ ඇති බව තහවුරු වී ඇත. මෙම පරීක්ෂණ මගින් අප සංගමයේ පශු වෛද්‍යවරුන් විසින් මෙම හඳුනා ගැනීම් සිදු කළ අතර කඩිනමින් සත්වෝද්‍යාන අධ්‍යක්ෂට මෙම තත්ත්වය දන්වා සිටින ලදී. මෙම රෝග කාරකවලට අදාළ ප්‍රතිදේහ එම අලින්ගේ ඇති බවට තහවුරු වූයේ අලින්ගේ ක්ෂය රෝග තත්ත්වය හඳුන ගැනීම සඳහාම නිපදවූ ඇමෙරිකානු රසායනාගාර කට්ටල මගින් වන අතර එය ඉතා විද්‍යාත්මක හඳුනා ගැනීමකි. මේ පිළිබඳව පශු වෛද්‍ය නිර්දේශ අප සාමාජිකයින් විසින් සත්වෝද්‍යාන පාලනාධිකාරයට වහාම දන්වා සිටි අතර එමගින් අදාළ අලින්ගෙන් නරඹන්නන්ට සේවක මහතුන්ට නිරෝගි අලින්ට හා අනෙක් සතුන්ට ඇතිවිය හැකි අවදානම අවම කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
රජයේ පශු වෛද්‍යවරුන් ලෙස මෙම රෝග තත්ත්වය සම්බන්ධයෙන් ඉහත කරුණු ඔස්සේ නිර්දේශ හා ප්‍රතිකාර කළ යුතු ආකාරයත් මෙම ක්ෂය රෝග තත්ත්වය අලින්ගෙන් වාර්තා වූ වහාම එම සතුන් වෙන් කර ප්‍රතිකාර කළ යුතු ආකාරයත් ඇතුළත් කළ පශු වෛද්‍ය නිර්දේශ ලිඛිතව සත්වෝද්‍යාන පාලනාධිකාරයට ලබා දෙන ලදී. මහජනතාව විශාල වශයෙන් සහභාගි වන අලි රැඟුම් සංදර්ශනයට රෝගි අලින් භාවිතා නොකරන ලෙසටද උපදෙස් ලබා දෙන ලදී. මේ අනුව රෝග කාරකය ශරීර ගතව ඇති සතුන්ගේ සුබ සාධනය ඉහළ නැංවීමද සිදුවිය යුතු බව අප සාමාජිකයන්ගේ නිර්දේශය විය.
රජයේ පශු වෛද්‍යවරුන් ලෙස අප සාමාජිකයින් රාජකාරිමය වගකීම් ඉටුකර ඇති මෙම විද්‍යාත්මක තත්ත්වයට මුහුණ දී ගත නොහැකිව සුළු පිරිසක් පශු වෛද්‍යවරුන් අලි රැඟුම් නැවැත්වූවායැයි පවසමින් තර්ජනාත්මක හා අපහාසාත්මක ලෙස මඩ ‍පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර ඇත. මෙම තත්ත්වය අප දැඩි ලෙස හෙළා දකින අතර මිනිසුන්ගේ සහ අලින්ගේ සෞඛ්‍ය පිළිබඳ සැහැල්ලුවෙන් සලකා කටයුතු කිරීම බරපතළ වගකීම් පැහැර හැරීමක් බව පවසමු.
වෛද්‍ය බි.ඒ.ඩී. එස්.ජයවර්ධන – සභාපති
වෛද්‍ය සී.ජී. විජේසිංහ – ‍ලේකම්
- ලක්බිම පුවත්පතිනි
 
ඊළඟ ජනාධිපතිවරණයට කලින් මා මරා දමන්න සැලසුම් කරලා
ඊළඟ ජනාධිපතිවරණයට කලින් මා මරා දමන්න සැලසුම් කරලා මීළඟ ජනාධිපතිවරණයට පෙර තමා මරා දමා ඊට තරඟ වැදීමේ අවස්ථාව අහිමි කිරීමේ සූදානමක් ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ බත්තරමුල්ල පැලවත්තේ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ මැයි රැළිය අමතමිනි.
ඇතැම් ඇමතිවරුන් තමාට කතා කරමින් පාලකයාට කුණුහරුපෙන් බනින බවද කී ෆොන්සේකා මහතා ලබන 2015 වසරේදී වන විට ජනතාව පීඩාවට පත්කරන දූෂිත පාලනය ඉවත් කරන බවද කීය.
‘ඊළඟ මැතිවරණයේදී ඔය පිස්තෝල කටු පෙන්නගෙන අපි බය කරලා පැත්තකින් තියන්න පාලකයා සූදානම් වන බව ආරංචියි. කාලතුවක්කු අතපත ගාල තියෙන අපි ඔය පිස්තෝල කටුවලට බයවෙන්නෙ නෑ. හොර බොරු වංචා නැතුව පුළුවන්නම් නිදහස් මැතිවරණයක් තියලා අපිත් එක්ක තරග කරලා දිනන්න කියලා පාලකයාට අභියෝග කරනවා’ යනුවෙන්ද ඔහු එහිදී කීය.
 
මැයි පෙලපාලියේ දයාසිරිගේ අංගම්පොර සංදර්ශණය
මැයි පෙලපාලියේ දයාසිරිගේ අංගම්පොර සංදර්ශණය [Video] ඊයේ පැවති එක්සත් ජානතා නිදහස් සන්ධාන මැයි රැළියට එක් වූ වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර කඩු හරඹ සංදර්ශණයක් ඉදිරිපත් කලේය.
එම පෙලපාලිය පුරාම ඔහු එම සංදර්ශණය ඉදිරිපත් කරමින් ගමන් කලේය.
 
 දුමරිය අනතුරට හේතුව ඉන්දීය ‘S-11′ බලවේග කට්ටලවල බ්රේක් නැති වීමයි
දුමරිය අනතුරට හේතුව ඉන්දීය ‘S-11′ බලවේග කට්ටලවල බ්රේක් නැති වීමයි කුරුණෑගල පොතුහැර දුම්රිය ස්ථානයේදී සිදු වූ අනතුර සිදුවීමට බලපා ඇත්තේ තිරිංග හරිහැටි ක‍්‍රියාත්මක නොවීම සහ දුම්රියට උප නියාමකවරයෙකු සේවයේ යෙදවීමට කටයුතු නොකිරීම බවත්, මෙහි වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැරිය යුතු බවත් සමස්ත ලංකා දුම්රිය සේවක පොදු සේවක සංගමය සදහන් කරයි.
ඉන්දියාවේ සිට මෙරටට ගෙන් වූ බලවේග කට්ටලවල තිරිංග හරිහැටි කි‍්‍රයාත්මක නොවන බවත්, මේ නිසා මීට පෙර අලව්වේදීත් දුම්රිය අනතුරක් සිදු වූ බවත් සංගමයේ සභාපති එස්.පී විතානගේ මහතා සදහන් කළේය.
ඉන්දියාවේ සිට මෙරට ගෙන්වූ බලවේග කට්ටල විස්සේම මේ ප‍්‍රශ්නය තිබුණද කොතෙක් පෙන්වා දුන්නත් බලධාරීන් මෙතෙක් මේ සදහා විසදුම් ලබාදී නොමැති බවත් ඔහු පවසා සිටියේය.
තුන්වැනි අනතුර සිදු වීමට පෙර ‘S-11’ බලවේග කට්ටල වල පවතින තිරිංග හරිහැටි ක‍්‍රියාත්මක නොවීමේ ගැටලූව විසදිය යුතු බවද සභාපතිවරයා සදහන් කළේය.


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය