Powered by Blogger.



ලොවුතුරා සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කරන පින්බර වෙසක්‌ පොහොය උදාවී තවමත් ගෙවී ඇත්තේ හෝරා කිහිපයක්‌ පමණි. ප්‍රතිපත්ති පූජාවන්ටත්, ආමිස පූජාවන්ටත් මුල්තැන ලබාදෙමින් සකල ලෝවැසි බෞද්ධ ජනතාව අප්‍රමාණ ගෞරවාදරයෙන් යුතුව වෙසඟ සැමරීමට මේ මොහොතේ දී ද සැදී පැහැදී සිටිති.


මේ වෙසක්‌ සමයේ දන්සල, තොරණ, සැරසිලි සහ වෙසක්‌ පහන් කූඩු වැනි ආමිස පූජාවන්ට අයත් අංගයන්ට හිමිව ඇත්තේ විශේෂ ස්‌ථානයකි. මෙහිදී තොරණ නැරැඹීමට සියලු ජනයා එක්‌ රොක්‌ වන්නේ ජාති, ආගම් හෝ කුලමල භේදයෙන් තොරව බව සඳහන් කිරීම වටී. බෞද්ධ ජනතාව බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව තොරණ අසිරිය විඳිද්දී අන්‍ය ආගමිකයන් සහජීවනයෙන් යුතුව තොරණ නරඹති. එහෙත් තොරණක අසිරිය අපේ දෑස්‌ මානයට සමීප කරලීමට අපමණ වූ වෙහෙසක්‌ ගන්නා, ඊට දායක වන සුවිශාල ශිල්පීන් පිරිස පිළිබඳව පවතින සමාජය දන්නා තොරතුරු ඉතාමත් අල්ප බව අපේ විශ්වාසයයි. "දිවයින" කතුවරයා සහ "සිනමා කලා" සංස්‌කාරකවරයාද වන නාරද නිශ්ශංක මහතාගේ යොමු කරලීම මත මා අද උත්සාහ කළේ තොරණ පිටුපස සිටිමින් ඊට සුවිශාල දායකත්වයක්‌ එක්‌කළ සුවිශේෂී චරිතයක්‌ පිළිබඳව තොරතුරු ඔබට සමීප කරලීමටය.
පුෂ්පානන්ද දෙනිපිටිය නම, ඇස නොගැටුණු අයෙකු මේ වෙසක්‌ සමයේ දීද සොයා ගැනීමට නැති තරම්ය. හෙතෙම තොරණ කලාවට ආධුනික චරිතයක්‌ නොවේ. දශක හතරකට ආසන්න කාල පරාසයකදී, තොරණ 250කට වැඩි සංඛ්‍යාවක්‌ සිත්තම් කරමින්, ඔහු කළ මෙහෙය අමිලය. මෙවරද කිරිබත්ගොඩ, තොටළඟ, නවලෝක, කොට්‌ටාව, නවගමුව, ගොඩගම සහ ගම්පහ ඉදිව ඇති අලංකාර තොරණ රාජයාණන් නෙත් සිත් වශී කෙරුමට සමත් රූප රාමුවන්ගෙන් සිත්තම් කොට ඇත්තේ අද අප කතා නායක ප්‍රවීණ චිත්‍ර සහ මූර්ති ශිල්පී පුෂ්පානන්ද දෙනිපිටිය කලා ශිල්පියාණන්ය. නොයෙක්‌ දුක්‌ ගැහැටයන්ට නතුව, පැන්සලෙන් සහ පින්සලෙන් ජීවිතය සිත්තම් කළ මේ අපූරු කලා ශිල්පියා සමග "දිවයින සිනමා කලා" පැවැත්වූ කතාබහක තොරතුරු මෙසේ ගෙන හැර දක්‌වමු.

ඔබේ සිතුවම් කලා දිවියේ ආරම්භයට අප රැගෙන ගියොත්...?

මං පුංචි කාලයේ ඉඳලම චිත්‍ර කලාවට ඇලුම් කළා. මගේ පියා දක්‍ෂ චිත්‍ර ශිල්පියෙක්‌. ඔහු පන්සල්වල චිත්‍ර ඇඳීමට අමතරව දේව රූප නෙලීම වැනි මූර්ති කලාවන්ද කළා. පියාගේ ආභාෂය තමයි මට මූලික වුණේ. මගේ සහෝදරයන් වන දීපානන්ද සහ ආනන්දත් මේ කලාව කරනවා. නමුත් වැඩිපුර ඉදිරියට ගියේ මම. මගේ ගම වැලිගම. වැලිගම සිද්ධාර්ථ මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මා එහිදී සරසවි වරම් ලැබූවත්, මගේ පියා අසනීප වුණු නිසා පවුලේ ආර්ථිකය කඩා වැටුණා. ඒ අතරතුර මා කොළඹට ආවා. තොටළඟ මෝදර කිට්‌ටුව තිබුණු ධවලසිංහාරාම මහ විහාරය මගේ නවාතැන වුණා. එකල සිටි දක්‌ෂ චිත්‍ර සහ මූර්ති ශිල්පියකු වූ දයා ජී. සේපාල මහතා යටතේ මා චිත්‍ර හා මූර්ති කලාව පිළිබඳව හැදෑරීම් සිදුකළා. එතුමන්ගේ සහායකයා විදිහට වැඩකළා. 1970 සිට අපි එක්‌ව කටයුතු කළා. මගේ හැකියාව මුවහත් කළ, ගුරුවරයා වූයේ එතුමන් බව අද ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමැතියි. 1977 දී තොටළඟ තොරණ සිතුවම් කරන්නට සේපාල මහතාට භාර දුන්නා. මම ඔහුගේ සහායකයා. මගේ දැනුම මැන බැලූ ඔහු පසුව තොරණ සිතුවම් කිරීම මට පැවරුවා. මම ගුරු භක්‌තියෙන් යුතුව ඒ වැඩේ භාර ගත්තත්, මුදල් පසුපස ගියේ නැහැ. 1977 සිට අද දක්‌වාමත් තොටළඟ තොරණ රාජයා සිතුවම් කරන්නේ මම. ඔය අතරතුරදී වසර 3ක්‌ පමණ මම තොටළඟ තොරණ ඇඳීමෙන් ඉවත් වුණේ එවකට පැවති පාලන අධිකාරිය සමග ඇතිවූ අදහස්‌ නොගැලපීමක්‌ නිසයි.

ඔබ හිටපු ජනපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ සහ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන කාලයේදීත් ක්‍රියාකාරී චිත්‍ර ශිල්පියකු ලෙස එක්‌ව වැඩකළා...

ඔව්, 1980 දී පමණ කොටුවේ ජනාධිපති මන්දිරය අසල ඉදිවූ තොරණ සිතුවම් කළේ මම. එස්‌.එම්.එස්‌. ඇලෝසියස්‌ මහතා තමයි තොරණට ධන පරිත්‍යාග කළේ. එවකට ජනපතිව සිටියේ ඡේ. ආර්. ජයවර්ධන මහතායි. එතුමන් එදා තොරණ වෙනුවෙන් බොහෝ උද්යෝගීමත්ව වැඩකළා. ජනාධිපති ප්‍රේමදාස මහතා සමගත් මා සමීපව ඇසුරු කළා. "ගම්උදා" වැඩ කටයුතු බොහොමයක්‌ මා ලවා කරවාගත්, ප්‍රේමදාස මහතා කලාකාමී හදවතකින් කලාකරුවන්ට සලකනු ලැබුවා. මට කොළඹින් නිවසක්‌ ලබා දෙන්නත් එතුමන් එදා කාරුණික වුණා.

නවලෝක තොරණ" ඔබේ සිතුවම් කලා දිවියට "තොටළඟ තොරණ" හා සමාන වැදගත්කමක්‌ දක්‌වන්නක්‌ නේද...?

"නවලෝක තොරණ" මම මෙවර සිතුවම් කරන්නේ 25 වැනි වසරටයි. ඒ කාලේ නවලෝක සමූහ ව්‍යාපාර අධිපති එච්. කේ. ධර්මදාස මහතා තොරණ වෙනුවෙන් විශාල උද්යෝගයකින් වැඩ කළා. වෙනත් තොරණ ගැනත් හොඳින් සොයා බැලූ ඔහු නව නිර්මාණ සහ නව සැලසුම් මතින් තොරණ සිතුවම් කිරීමට මට භාර කළා. මම අද දක්‌වාම ඒ ඉල්ලීම හොඳින් ඉටු කරනවා. දැන් එච්. කේ. ධර්මදාස මහතා නැතිවී වසර 3ක්‌ ගතවී තිබුණත් එතුමන්ගේ පුත් උපාලි ධර්මදාස මහතා තොරණ ඉදිකිරීමේ පුණ්‍ය කටයුත්ත හොඳින් කරගෙන යන්නේ තොරණ ශිල්පීන් හැමෝටමත්, නිසියාකාරව සැලකුම් ලබා දෙමින් බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

එදා ඔබ සමග සිතුවම් කරනයේ නියෑළුණු ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් පිළිබඳව මතකය කෙබඳුද?

ඇත්තටම සිතුවම් ශිල්පියෙක්‌ කියන්නේ රටකට සම්පතක්‌. එදා ජයසිරි සේමගේ, දයා කරුණාරත්න, අමුණුගොඩ ජයවර්ධන, තිස්‌ස වීරවර්ධන කියන ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් සමග මමත් චිත්‍ර ඇන්දා. පිටකොටුව මැනිං වෙළෙඳපොළ, බෝධිරාජ සමිතිය, කොස්‌ගස්‌ හන්දිය සහ ඉහතින් සඳහන් කළ ස්‌ථාන ඇතුළු බොහෝ තැන්වලදී මේ වන විට මා තොරණ 250කට වඩා සිතුවම් කර තිබෙනවා. මා සම්බන්ධ වූ තොරණ වෙන අයකු අතට ගියේ නැහැ. මගේ තොරණ කලා දිවිය දැන් දශක හතරකට ආසන්නයි.

තොරණ සිතුවම් කලාවේ අනාගතය මොන වගේ මුහුණුවරක්‌ ගනී දැයි අද ඔබට පෙනෙන්නට තිබෙනවාද..?

ඇත්තටම කනගාටුයි. දැන් මටත් ගෝලයෝ ඉන්නවා. නමුත් මේ කලාව ගැන උනන්දුව තිබුණට ඔවුනට ර¹ පැවැත්මක්‌ නැති බවක්‌ මට පෙනේනට තිබෙනවා. අද ඉන්නේ මේ කලාව පිළිබඳ නිසි පුහුණුවක්‌ නැති පිරිසක්‌ ඉතිං... මේ කලාව ඉදිරියට ගෙන යන්න බැරි කලාවක්‌ තමයි තියෙන්නේ. හැමෝම තමන්ගේ දරුවන් "ක්‍රිකටර්" කෙනෙක්‌ කරන්න, "ස්‌ටාර්" කෙනෙක්‌ කරන්න හෝ තාක්‍ෂණ පැත්තෙන් ඉස්‌සරහට ගෙන යන්න තමයි උනන්දු වෙන්නේ. සෞන්දර්යය විෂය ගැන එතරම් උනන්දුවක්‌ නෑ. මේක අවාසනාවන්ත තත්ත්වයක්‌. ඒත් මම මේ කලාව ඉදිරියට ගෙන යන්න අලුත් පෙළක්‌ හදන්න සූදානම්.

අද තොරණ කලාවේ නියෑලෙන්නන්ට තිබෙන ඇගයීම් මොන විදිහද...?

අන්තිම අසතුටුදායකයි. ඒක ඉතාමත් කනගාටුවෙන් කියන්න අවශ්‍ය දෙයක්‌. කිසිම රජයකින් මටවත්, මේ කලාවටවත් ඇගයීමක්‌ කරලා නෑ. ක්‍රීඩකයෝ, පාලකයෝ, ගායකයෝ සහ නළු නිළියන් විතරද කලාකාරයෝ කියන්නේ කියලා මම අසන්නට කැමැතියි. අපි ඉල්ලන්නේ මුදල් නෙමෙයි. කිසියම් වූ ඇගයිමක්‌. චිත්‍ර ශිල්පියෙක්‌, මූර්ති ශිල්පියෙක්‌ පමණක්‌ නොවෙයි ලේඛන කලාව කරන ශිල්පීන්වත් ඇගයිය යුතුයි.

තොරණ කලාව කඩා වැටීමට නොදී ආරක්‌ෂා කොට ගත යුත්තේ කෙළෙසකදැයි ඔබ යෝජනා කරනවාද...?

තොරණ කලාව කඩා නොවැටී අභාවයට යා නොදී රැක ගැනීමට නම් රජය මැදිහත් වී මේ කලාවේ ප්‍රවීණයන් සමග සාකච්ඡාවක්‌ අලුත් කතිකාවක්‌ ආරම්භ කළ යුතුයි. එසේ නොමැති නම් මේ කලාවට අපි ශේෂ කළ දේ ගැන පිළිබඳව මිස කතා කළ යුතු අලුත් දෙයක්‌ අනාගතයට ඉතිරි වන එකක්‌ නැහැ.

අලුත් තාක්‍ෂණය චිත්‍ර ශිල්පීන්ට යම් බලපෑමක්‌ ගෙනදී ඇති බව ඔබ විශ්වාස කරනවාද..?

තාක්‍ෂණය නිසා ගැටලු පැන නගින්නේ වෙළෙඳ චිත්‍ර ශිල්පීන්ට. මම වෙළෙඳ චිත්‍ර කලාවට ගියේ නැහැ. එදා සිටි සමහර ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් අද මහ මඟ සහ බස්‌රථවල සිඟමන් යදිනවා. ඔවුන් අසරණයි. කිසිදු හව්හරණක්‌ නෑ. ඒ වෙනුවෙන් මැදිහත්ව යමක්‌ කළ හැකි නම් මේ පින්බර වෙසක්‌ සමය කොතරම් අර්ථවත් කළ හැකිද..? අද බොහෝ අවස්‌ථාවලදී ඩිජිටල් තාක්‍ෂණය භාවිත කරනවා. නමුත් මගේ පුද්ගලික සිතුවිල්ලට අනුව මම ඒ කලාවට කැමැති නැති බව කියන්නට සතුටුයි. පින්සලෙන්, පැන්සලෙන් සහ අතින් නිර්මාණ එළිදැක්‌වූ අපේ දක්‍ෂතාවන් තාක්‍ෂණය ඉදිරියේ මොට කර ගත යුතු නැහැ.

තොරණ සිතුවමක්‌ අවසන් කෙරුමට කොතරම් කාලයක්‌ ගතවෙනවාද...?

සාමාන්‍යයෙන් තොරණක්‌ සිතුවම්කරණය දෙසැම්බර්Êමාසයේ පමණ ආරම්භ කරනවා. විශාල මුදලක්‌ එයට වැය වෙනවා. දෙමසකින් පමණ තොරණක සිතුවම් වැඩ අවසන් කළ හැකියි. ඒත් එක්‌ තොරණක්‌ සිතුවම් කරලා ලැබෙන මුදලින් අද ජීවත් වෙන්න අපහසුයි. තොරණ 5 - 6 ක්‌ වත් මාස කිහිපයකදී අවසන් කරගත හැකි නම් යන්තම් සතුටු විය හැකියි. වසරකටම එක්‌ තොරණක්‌ පමණක්‌ සිතුවම් කරන්නට ලැබේ නම් මමත් අද මේ තොරණ කලාව කරන්නේ නැහැ. අනික අද තොරණ කලාව කරන්නට භාවිත කරන හැම අමුද්‍රව්‍යයකම මිල අධිකයි.

කොහොමද ඔබේ පවුලේ තොරතුරු... ඔබේ දරුවන් ඔබේ පසුපස විත්, දිනකදී මේ කලාව වැළඳ ගනීද...?

මම විවාහකයි. මගේ බිරිඳ චින්තා කල්පනී. මට දරුවෝ තිදෙනයි. ලොකු දුව කුෂනා කේතුමාලී. පුතා රිද්ම ප්‍රවීන. පොඩි දුව දක්‌ෂිනා රන්දිමාලී. මගේ දරුවෝ මේ කලාවට ගෙන එන්න මම කැමැති වුණත්, මගේ බිරිඳ කැමැති නැහැ. මේ කලාවේ ඇතුළාන්තය ඉතාමත් දුෂ්කරයි. වේලාවට නින්ද නෑ. කෑම නෑ. ඒ නිසා ඇතිවන අසනීප එමටයි. අද මමත් ඉන් පීඩා විඳින්නෙක්‌. ඉතිං දරුවෝ යහපත් පුරවැසියන් කරන්නට ඔවුන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කෙරුමට කටයුතු සිදු කිරීම තමයි මම සිඳුකරන්නේ.

දශක හතරකට ආසන්න ඔහුගේ සිතුවම් කලා දිවියේ දී කළ කී දෙයින් අල්ප මාත්‍රයක්‌ හෝ මේ කතාබහේ දී පාඨක ඔබ වටහාගනු ඇති බව අපේ විශ්වාසයයි. මෙවන්වූ කලාකරුවන් රැකගැනීමත්, ඔවුනට දිරිදීමත් රජයෙන් හෝ වගකිව යුතු අංශයන්ගේ මැදිහත්වීමෙන් සිදුවිය යුත්තක්‌ බව මෙහිලා සිහි කැඳවන අපි, එය මෙවන් උතුම් කලාකරුවන්ගේ හෙට දිනය යහපත් කෙරුමට තබන්නා වූ සුබ පියවරක්‌ ලෙස දකිමු. නො. 718/5, දෙවැනි පටුමඟ, තේවත්ත පාර, කොරළඉම ලිපිනයෙහි පදිංචි දේශයට සම්පතක්‌ වන් වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී පුෂ්පානන්ද දෙනිපිටිය කලා ශිල්පියාණන්ට සුබ පතන අපි, ඔහුට නිදුක්‌ නිරෝගී චිර ජීවනයද ප්‍රාර්ථනා කරමු.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය