Powered by Blogger.

Millaniya1මාතර නිල්වලා නදියට තම නොදරුවන් දෙන්නා කිඹුලන්ට කන්නට වීසිකර එම ජලකඳටම පැන දිවි නසා ගත් තිරිසන් පියෙකු ගැන පුවත වාර්තා වූයේ දෙසතියකට ඉහතදීය.මේ කතාව ඇසූ බොහෝ දෙනෙක් කම්පාවට පත්වූයේ තමන්ට දාව වැදූ දරුවෙකු ගඟට විසිකරන්නට තරම් පියෙකු අමනුෂ්‍ය වෙස්ගත්තේ කෙසේදැයි සිතාගන්නටවත් නොහැකිවය. මේ කතාවේ උණුසුම නිමවී යන්නටත් මත්තෙන් තවත් එවැනිම අරුම පුදුම කතාවක් හොරණට නුදුරින් පිහිටි මිල්ලනිය ‍පොලිස් වසමින් වාර්තා විය. ඒ තම බිරිය හා දින 40ක් පමණ වයසැති බිලිඳිය මරා වළදැමීමට සැලසුම්කර, ඔවුන් වළදැමීමට ගෙයි මැද සාලයේ වළක් කපමින් සිටි පාපතර පියෙකු පිළිබඳ පුවතකි.
මෙම සිදුවීම වාර්තා වනුයේ මිල්ලනිය, රයිගම පාරේ, බැල්ලන්තුඩාව ගම්මානයේ ගැමුණු මාවතෙනි. බැල්ලන්තුඩාවේ පදිංචිකරුවෙකු වූ බාලසූරියගේ රවීන්ද්‍ර කුමාර පෙරේරා 42 හැවිරිදි විවාහකයෙකි. පළමු විවාහයෙන් වෙන්වී සිටින ඔහු මීට කෙටිකලකට පෙර බුලත්ගමගේ ජනිතා මල්කාන්ති සමග බැල්ලන්තුඩාව, කුරුඳුවත්ත, ගැමුණු මාවතේ නිවසේ පදිංචියට ආවේය. ඔවුන් දෙදෙනා දැන හඳුනාගෙන තිබුණේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදීය. ලැබි ඇති තොරතුරුවලට අනුව මල්කාන්ති ද මීට පෙර විවාහවී සිටි කාන්තාවකි. ඇය මෙන්ම රවීන්ද්‍ර ද සිය මුල්ම විවාහයෙන් දික්කසාදවී ඇති බව පැවසේ. රවීන්ද්‍රගේ මුල්ම විවාහයෙන් ඔහුට දරුවන් නැති වුවත් මල්කාන්තිට දරුවන් දෙදෙනෙකු සිටී. මල්කාන්ති එම දරුවන් දෙන්නා නිවසට රැගෙන ආවද රවීන්ද්‍ර ඊට අකමැති විය. එහි ප්‍රතිඵලය වූයේ රවීන්ද්‍ර ඔවුන් දෙන්නා නිවසින් එළවා දැමීමය.
දැන හඳුනාගෙන රවීන්ද්‍ර සමග පැමිණියද ඔහු සමග දිවි ගෙවීම පහසු නැති බව මල්කාන්තිට වැඩිකලක් යන්නට මත්තෙන් වැටහුණාය. ටික දොහක් යනවිට රවීන්ද්‍ර ඇඟලුම් කම්හ‍ලේ සේවයට ද නොගියේය. ඔවුන් දිවි ගැටගසා ගත්තේ මල්කාන්ති තම ඥාතියකුගේ වෙළෙඳසලක සේවය කර උපයා ගත් මුදලෙනි.
මේ අතර මල්කාන්ති ගැබ් ගත්තාය. එනමුත් රවීන්ද්‍රගේ හැසිරීම් රටාවල වෙනසක් නොවීය. දරුවෙකු උපත ලැබිම මව්පියන්ට සිරිකත කැන්දාගෙන එන සුබ නිමිත්තක් ලෙස සැලකුවද රවීන්ද්‍ර ඊට දක්වා තිබුණේ දැඩි අකමැත්තක් බව පැවසේ.
Millaniya2ආදරය වෙනුවට ඔහුගෙන් කිරිකැටි බිලින්දියට ලැබුණේ වෛරයය. ඔහු සිය බිරියටද දැක්වූයේ වෙනස් ප්‍රතිචාරයකි. සිය බිලිඳිය කැටිව නිවසට එන ජනිතා මල්කාන්තිට සිදුවන්නේ සිය සැමියාගේ තාඩන පීඩනයන්ට ලක්ව ඇඬු කඳුළෙන් දිවි ගෙවීමටයි. දවසක් දෙකක් නොව, දියණිය ඉපදුනු දින පටන්ම මල්කාන්ති ජීවත් වූයේ දුකිනි. දිනය ඉකුත් විසිහත් වැනිදාය. එදින රවීන්ද්‍ර කුමාර සිටියේ යක්ෂාරූඪවය. ඔහු සිය බිරිඳට නිවසින් පිටතට නොයන්නැයි නියෝග කළේය.
සැමියාගේ තරම දන්නා මල්කාන්ති බිලිඳියද තුරුළු කරගෙන ගේ තුළට වී පැය ගණනාවක්ම ගෙවා දැමුවාය. ඒ අතරතුරේ රවීන්ද්‍ර කුමාර දෙතුන් වරක්ම මල්කාන්තිට තඩිබෑවේ කිසිදු හේතුවක් නැතිවය. එසේ තඩිබාන අතරේ රවීන්ද්‍ර කුමාර කියූ කතාවකින් මල්කාන්ති බියෙන් තැති ගත්තාය.
“මම උඹලා දෙන්නාව මරලා මේකෙම වළලනවා” යැයි රවීන්ද්‍ර කුමාර කීවේය. මේ කතාව කීමෙන් නොනැවතුනු ඔහු 27 දා සවස් යාමයේ නිවසේ සාලයේ මැද යමක් කිරීමට සූදානම් වෙන බව ජනිතා මල්කාන්ති දුටුවාය.
යකඩ ඉන්නක්, උදැල්ලක් රැගෙන සාලයට පැමිණි සැමියා දුටු මල්කාන්ති ඇසුවේ ඔයා මොනවද මේ කරන්න හදන්නේ යනුවෙනි.
“උඹයි ‍පොඩි එකීයි මරලා මෙතන වළලනවා. ඊට පස්සේ මාත් මේ බාල්කේ එල්ලිලා දිවි නහගන්නවා” යැයි රවීන්ද්‍ර ඇයට කීවේ කෝපයෙන් පුපුර පුපුරාය. සැමියා වෙනදා කරනා තර්ජනවලට වඩා මෙම තර්ජනයේ බරපතළකම ජනිතාට නොවැටහුණා නොවේ. එහෙත් සැමියාගේ තර්ජන ගර්ජන මැද දින 40ක් වයසැති කුඩා බිලිඳියක සමග නිවාස අඩස්සියේ සිටි ඇයට කළ හැකි දෙයක් නොවීය. කෙසේ නමුත් 27 දා රාත්‍රියේ සිට බිලිඳිය අත දරා මල්කාන්ති ගත කළේ නිදි නැති රැයකි. ඒ තමා නිදාගතහොත් සැමියා තමාගේත් දියණියගේත් ජීවිතයට අනතුරක් කරන්නට ඉඩ තිබෙන බව ඇයට සිතුණු බැවිනි. සැමියාද රැයක් දවාලක් නොබලා උමතුවෙන් මෙන් මල්කාන්තිට බැණ වදිමින් සාලයේ වළ හෑරුවේය. ඒ වළ දුටු මල්කාන්ති දහස් වාරයක් තැවි තැවී කල්පනා කරමින් සිටියේ තමාගේත් දරුවාගෙත් මිනීවළ තම දෑස් ඉදිරියේම කැපෙමින් තිබිම නිසාය.
මේ කිසිවක් නොදන්නා කිරිකැටි සිඟිත්තිය මල්කාන්තිගේ ඇකයේ උණුසුම ලබමින් මව්කිරි බොමින් සුවයෙන් හුන්නාය. මල්කාන්ති බිලිඳිය තුරුළු කරගෙන සුපරික්ෂාකාරීව සිටියේ කොයි මොහොතේ හෝ සැමියා තමා වෙත කඩාපැන්නොත් දරුවා වෙනුවෙන් දිවි කැප කරන්නටය. ඒ 28 දා ට හිරු නැග ආවේද මල්කාන්තිගේ ද බිලිඳියගේ ද මරණයේ සෙවණැලි සමගිනි. වළේ කටයුතු බොහෝ දුරට නිමකර තිබූ රවීන්ද්‍ර කුමාර වළට ඉහළින් තංගුස් තේඩාවක් ගැටගසා එහි කෙළවරක තොණ්ඩුවක් ද සාදා තිබුණි. තවදුරටත් තම සැමියාගේ තර්ජනය බොරුවක් හෝ බියගැන්වීමක් නොවන බව ඇයට වැටහුණි. එහෙත් නිවසින් පිට කාගේ හෝ පිළිසරණක් සොයා යෑමට ඇයට නොහැකි විය.
මේ අතර අසල්වැසි කාන්තාවක් රවීන්ද්‍රගේ නිවසට ගියේ තම නිවසේ කුලී වැඩක් ඔහුට කියා කරගන්නටය. ඒ මෙහොතේ ඇය දුටුවේ ගේ සාලය මැද වළක් කපා ඇති අයුරුය. “මොකක්ද මනුස්සයෝ මේ කරන්නේ” ඇය ඇසුවේ කුතුහලයෙනි.“මුන් දෙන්නා සමාදානයේ සතපවන්න මම වළක් කැපුවා” රවීන්ද්‍ර එසේ පිළිතුරු දුන්නේය. මේ පිළිතුරින් බියට පත්වූ ඇය ඔහුට කියා තිබුණේ තම නිවස පැත්ත පළාතේවත් නොඑන ලෙසය.
මේ අතර 28 වැනි දින දහවල් දරුවාගේ ඇඳුම් කිහිපයක් සෝදාගැනීමට මල්කාන්තිට අවශ්‍ය විය. ඒ වෙනුවෙන් එළියට යාමට සැමියාගෙන් ඇයට අවසරය ලැබුණි. මේ නිවසින් පිටට පා තැබිමට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැකි බව ඇයට වැටහුණාය. ඒ අනුව ඇය තීරණයකට එළැඹියාය. ඇඳ මත නින්දේ පසුවූ බිලිඳිය එලෙසම නිවසේ තබා ඇය සැණෙකින් මාර්ගයට දිව ආවාය. කොයි අත යන්නදැයි අවබෝධයක් නොවූ ජනිතා මල්්කාන්තිට සිය දියණිය සිහිවී ආපසු නිවසට යෑමට නොසිතුණාද නොවේ. බාහිර උදව් සොයා යන්නේද නොඑසේ නම් නිවසට ගොස් සිය දියණිය තුරුළුකර ඇය සමග මිය යන්නේද යන දෙගිඩියාවෙන් සිටි ඇයට ත්‍රිරෝද රියැදුරෙකු මුණගැසෙන්නේ මේ අවස්ථාවේදීය.
ඇගේ වාසනාවට මෙම ත්‍රිරෝද රථයේ රියැදුරු මහතා මෙවැනි අවස්ථාවල ක්‍රියා කළ යුතු ආකාරය ගැන මනා අවබෝධයකින් සිටි අයෙකි. ජනිතාගේ කතාවට කන්දෙන ඔහු සැණෙකින් ඇය කැටිව යන්නේ සැතපුම් කිහිපයක් ඔබ්බෙන් වූ මිල්ලනිය ‍පොලිස් ස්ථානය වෙතටය.
ජනිතාගේ කතාවට කන්දුන් මිල්ලනිය ‍පොලිස් ස්ථානාධිපති උදයසිරි කරුණාරත්න වහා ක්‍රියාත්මක විය. තම නිලධාරීන් කිහිප දෙනෙකු කැටිව බැල්ලන්තුඩාව ගැමුණු මාවතට ගිය ඔහු රවීන්ද්‍ර කුමාරගේ නිවසට යන විට ජනිතා සහ බිලිඳිය වෙනුවෙන් නිවසේ සාලයේ කපමින් තිබූ  මිනීවළේ වැඩ නිමවී තිබුණි. අඩි 5 ක් දිග, අඩි 2 ක් පළල අඩි 2 1/2 උසින් යුතුව හාරා තිබූ වළේ පස් දෙපස තුනී කර තිබුණි. බාල්කයේ තොණ්ඩුව සහිත ලණුව ගැට ගැසීමට යොදා ගත් ඉනිමගද පසෙක විය. ‍පොලීසිය යන විටත් බිලිඳිය ඇඳ මත නිරුපද්‍රිතව සිටි අතර ඇය කාන්තා ‍පොලිස් නිලධාරීන්  වෙත භාර කළ උදයසිරි කරුණාරත්න මහතා, බිරිඳ සහ දරුවා මරා දැමීමට සැලසුම් කිරීම සහ සියදිවි නසා ගැනීමට උත්සාහ ගැනීම පිළිබඳ රවින්ද්‍ර කුමාර අත්අඩංගුවට ගන්නා ලදී. 28 වෙනිදා බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට පමුණු වනු ලැබූ රවීන්ද්‍ර කුමාර දින 14 ක කාලයකට රක්ෂිත බන්ධනාගාරගත කළ අතර තැළුම් තුවාල සහිතව සිටි ජනිතා මල්කාන්ති රෝහල්ගත කරන ලද බව මිල්ලනිය ‍පොලිස් ස්ථානාධිපති උදයසිරි කරුණාරත්න මහතා පවසයි. මේ පුද්ගලයා සිය බිරිය හා බිලිඳා මරා දමා ඔවුන් වැළලීමට ගේ තුළම වළක් කැපීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත. මේ පුද්ගලයා කිසියම් මානසික රෝගී තත්ත්වයකින්  පෙළෙන්නේ දැයි සොයා බැලීමට ඔහු  විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය