Powered by Blogger.

වියපත් වීමත් සමඟම කාන්තාවකගේ ඔසප්වීම ස්‌ථිරවම නැවතීම, ආර්තවභාවයයි. කිලිවැරීම, ශාලාරාණි ලෙසද මෙය හඳුන්වයි. ගැහැනු දරුවෙක්‌ ඉපදෙන විටම ඩිම්බ දහස්‌ ගණනක්‌ ඩිම්බ කෝෂවල පිහිටා ඇත. මල්වර වීමත් සමඟම ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීම ආරම්භ වේ. මේ නිසා එක්‌ ඔසප් චක්‍රයකදී එකවර ඩිම්බ කිහිපයක්‌ පරිණත වීම සිදුවේ. නමුත් එයින් සංසේචනයට සුදුසු පරිණත තත්ත්වයට පත්වන්නේ එක්‌ ඩිම්බයක්‌ පමණි. අනෙක්‌ ඒවා අහෝසි වේ. එසේ අහෝසි වී ගොස්‌ කාලයක්‌ යනවිට ඩිම්බ නැතිවී යයි. ආර්තවභාවය සිදුවන්නේ මේ අවස්‌ථාවේදීය. ආයුර්වේදයේ දක්‌වා ඇති පරිදි ස්‌ත්‍රි වයස්‌ වර්ගීකරණයට අනුව, වෘද්ධා අවධියේදී (අවු. 50 දී) ආර්තවභාවය සිදුවන බව දක්‌වා ඇත. ශරීරය ජරාවෙන් පැසුණු විට ආර්තවය ක්‍ෂය වන බව සුශ්‍රැත සංහිතාවේ සඳහන් වේ.

ආර්තවහරණය සිදුවන කාලසීමාව තුළදී ප්‍රධානවම ඊස්‌ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩුවන නිසා, කාන්තාවකගේ ශාරීරික මෙන්ම මානසික වෙනස්‌වීම් රාශියක්‌ දැකගත හැකිවේ. ආර්තව චක්‍රය ක්‍රමිකව පවතින අයෙකුගේ එකවරම එහි වෙනස්‌වීම් හටගැනීම, මසකට දෙවරක්‌ පමණ ඔසප්වීම් ඇතිවීම, දින 7 ක්‌ හෝ 10 ක පමණ කාලයක්‌ ආර්තව රුධිරය පිටවීම, පිටවන රුධිර ප්‍රමාණය වැඩිවීම යනාදී වෙනස්‌කම් ඇතිවිය හැක. බොහෝවිට මෙම ලක්‍ෂණ, යම් රෝගයක පූර්ව ලක්‍ෂණයක්‌ වුවද විය හැක. (ගර්භාශගත අර්බුද, පිළිකා ආදිය) එම නිසා මෙවැනි ලක්‍ෂණ ඇතිවූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය යුතුය. නමුත් සමහර කාන්තාවන්ට මෙම කිසිදු ලක්‍ෂණයක්‌ ඇති නොවී එකවරම ආර්තවය නතර විය හැකිය.

ආර්තවාභාවය ඇති වූ විට

මීට අමතරව ස්‌ත්‍රි ජනන පද්ධතිය ආශ්‍රිතවද වෙනස්‌කම් රාශියක්‌ හටගනී. ඩිම්බ කෝෂ හැකිලී යන අතර ප්‍රමාණය කුඩාවේ. ගර්භාශය, පැලෝපීය නාළ හැකිලීමට පත්වේ. ගැබ්ගෙල මගින් නිපදවන ස්‍රාව අඩුවේ. යෝනි මාර්ගය ආශ්‍රිතව භාෂ්මිකතාව අධික වන අතර, එම නිසා දිලීර වර්ධනය වැඩිවය හැකිය. යෝනි මාර්ගය පටුවීම හා එහි ඇදෙන සුළු බව අඩුවීම නිසා සංසර්ගයේදී වේදනාව, දැවිල්ල, වියළි බව ඇතිවේ. භග ප්‍රදේශයේ රෝම තුනීවී යාම හා හැකිලීම දැකිය හැකි තවත් ලක්‍ෂණයකි. ස්‌ථාන ආශ්‍රිතව මේද පටක දියවීම නිසා ක්‍ෂයවීම හා එල්ලා වැටීම ඇතිවිය හැකිය.

ඊස්‌ට්‍රජන් හෝමෝනය අඩුවීම නිසා අස්‌ථි පද්ධතිය තුළද විවිධ වෙනස්‌කම් හටගනී. ඊස්‌ට්‍රජන්, කැල්සියම් අවශෝෂණය කරගැනීමට ඉවහල් වන නිසා, අස්‌ථිවල ශක්‌තිමත් භාවයට වැදගත් වේ. නමුත් ආර්තවාභාවය සමඟම ඊස්‌ට්‍රජන්වල ක්‍රියාව අඩුවන නිසා, කැල්සියම් අවශෝෂණය අඩුවී අස්‌ථි දුර්වල වේ. මේ නිසා අස්‌ථි දිරා යැමේ හැකියාව වැඩිවේ. (Osteoporosis) එම හේතුවෙන් සුළු වැටීමකින් පවා අස්‌ථි බිඳීම් ඇතිවිය හැක. සන්ධි ව්දනා, සන්ධිගත රෝගද වැඩිවිය හැකිය.

කාන්තාවකගේ රුධිරගත කොලෙස්‌ටරෝල් මට්‌ටම පාලනය කිරීමටද ඊස්‌ට්‍රජන් හෝමෝනය වැදගත් වේ. මේ නිසා අවු. 50 ට අඩු කාන්තාවන්ට හෘදයාබාධ ඇතිවීමේ හැකියාව අවම වේ. ආර්තවහරණ කාලයට පසුව හෘදයාබාධ ඇතිවීම පිරිමින්ට සේම කාන්තාවන්ටද පොදුය.

මීට අමතරව අධික රස්‌නයක්‌ කකුල් දෙකෙන් පටන් ගෙන හිස දක්‌වා යාම (Hot fushes) හටගත හැකිය. මෙය දිනකට කීප වරක්‌ ඇතිවිය හැකිය. අධිකව දහඩිය දැමීම, නින්ද අඩුවීම, අස්‌ථි, සන්ධි වේදනා, උදරය මහත්වීම, පපුව ගැහෙන්නා සේ දැනීම, හිසරදය, අප්‍රාණික බව, සම වියළීම, තම තරුණ කාලය ගෙවීයැමත් සමග ඇතිවන මානසික විපර්යාස, අධිකව තරහා යැම, අධික වෙහෙස, මානසික අසහනය වැනි ලක්‍ෂණද මතුවේ.

සංකූලතා පාලන කරගැනීම

ආර්තවභාවය වනු සාමාන්‍ය ස්‌වභාවික සංසිද්ධියකි. මේ නිසා බොහෝවිට ප්‍රතිකාර ගැනීම අවශ්‍ය නොවේ. නමුත් මේ නිසා හටගන්නා වූ විවිධ සංකූලතා සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

ආයුර්වේද චිකිත්සා මූලධර්මවලට අනුව, ආර්තවහරණයේදී හටගන්නා රෝග ලක්‌ෂණ වලට අනුකූලව වාත ශමන, තර්පණ, රසායන චිකිත්සා විධි අනුගමනය කළ යුතුය. අධිකව රක්‌තය පිටවේ නම් රක්‌ත ස්‌තම්භන චිකිත්සාවක්‌ කළ යුතුය. මෙහිදී ප්‍රතිකාරයට වඩා වැදගත් වන්නේ ප්‍රතිශේධයයි. ඒ සඳහා පථ්‍යාපථ්‍ය විධි අනුගමනය කළ යුතුය. ආර්තවභාවයේදී ඊස්‌ට්‍රජන් හෝමෝනය අඩුවන නිසා, ස්‌වභාවිකව ඊස්‌ට්‍රජන් අන්තර්ගත ආහාර, ආහාරයට එක්‌කර ගත යුතුය. ඊස්‌ට්‍රජන් බහුල ස්‌වභාවික ඖෂධයක්‌ ලෙස හාතවාරිය කැඳ ප්‍රධානවම නිර්දේශ කරයි. ඊට අමතරව තල, සෝයා බෝංචි ආහාරයට එක්‌කර ගැනීම, ගොටුකොළ වැනි පලා වර්ග, බැබිල, ඉරමුසු වැනි පාන වර්ගද ශරීරයට ගුණදායක බව දක්‌වා ඇත. මීට අමතරව කැල්සියම් බහුල ආහාර ලෙස හාල්මැස්‌සන්, කරවල, කුඩා මාළු ආදියද ආහාරයට එක්‌කර ගත යුතුය. නැවුම් එළවළු, පලතුරු වර්ග විශේෂයෙන් විටමින් සී අඩංගු නාරං, දොඩම් වැනි පලතුරු, එළකිරි, එළුකිරි, බිත්තර, එළුමස්‌ ආදි සුදුසු පරිදි ආහාරයට එක්‌කර ගත යුතුය. තෙල් අධික හා පැණි රස අධික ආහාරයන්ගෙන් වැළකී සිටිය යුතුය. හැකි තරම් ජලය පානය කළ යුතුය. විවිධ ඖෂධීය තෛල වර්ග යොදා ගනිමින් ශරීර සම්භාහනය, අභ්‍යංගය (පිරිමැදීම), හිසට ශිරෝධාරා, ශිරෝලේප වැනි ක්‍රමද මෙම හෝමෝනය ආරක්‌ෂා කරගත හැකි ක්‍රම වේ. මීට අමතරව යෝගී ව්‍යායාම, මානසික සුවය ඇති කරවන විවිධ භාවනා ක්‍රම ආදිය මගින් ඊස්‌ට්‍රජන් හෝමෝනයේ අඩුව මගහරවා නිරෝගි දිවියකට මඟ පාදාගත හැකිය.

ආයුර්වේද වෛද්‍ය චතුරිකා ප්‍රියදර්ශනී කොළඹ විශ්වවිද්‍යාලය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය