Powered by Blogger.

බුදුරජාණන් වහන්සේ තුළ පැවැති සුවිශේෂී ගුණාංගයක් ලෙස “පුරිස ධම්ම සාරථි ගුණය” හැඳින්විය හැකිය. එය වෙනත් කිසිදු ශාස්තෘවරයකු තුළ නොදැකිය හැකිසුවිශේෂී ගුණාංගයකි. උන්වහන්සේ ලොව උතුම්ම පදවිය හෙවත් තත්ත්වය අවබෝධ කරගත් ශාස්තෘවරයා විය. සියලු කෙලෙස් නාසා දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන ලොව වෙසෙන සෑම සත්වයකුටම පිහිට විය. උන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ නොයෙක් සිදුවීම් වෙන් වෙන් වශයෙන් එක් එක් ගුණවලට අයත් වේ. නව අරහාදී බුදු ගුණ අතර සුවිශේෂීතමගුණයක් වූ මෙම පුරිස ධම්ම සාරථී ගුණය පිළිබඳ විමසීම අද කාලීන වශයෙන්ද වැදගත් වේ.
Angulimala-damanayaපුරිස ධම්ම සාරථි ගුණය යනු දරුණු පුද්ගලයන් දමනය කිරීමේ හැකියාවයි. බුදුරජාණන් වහන්සේ ඥාණ බල දහයකින් හා කාය බල දහයකින් හෙබි වූයෙන් ලොව විසූ දරුණුම පුද්ගලයන් පවා දමනය කිරීමට හැකිවිය. උන්වහන්සේ සතුව පැවැති බලය සාමාන්‍ය කෙනෙකු සතු බලයට වඩා සුවිශේෂී වූවකි. ඒ බලයට තව කෙනෙකුට සමාන වෙන්නට තබා හිතන්නටවත් බැරි බව එවකට සිදු වූ සිද්ධීන් තුළින්ම තහවුරු විය. දරුණු පුද්ගලයකු මොන විදියකින් බුදුරදුන් ළඟට පැමිණියත් ආපසු යන්නේ තිසරණ ගිය බෞද්ධ උපාසකයන් බවට පත්වීමෙන්ය.
බුදුරජාණන් වහන්සේ දවස සිදු වූ එවැනි සිදුවීම් කිහිපයක් දෙස අවධානය යොමු කිරීමෙන් උන්වහන්සේ තුළ කොතරම් බලයක්, ශක්තියක් තිබුණේ ද යන්න පැහැදිලි වේ. “ශුචිරෝම ඛරරෝම” කතා පුවත ඒ සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.මොවුන් දෙදෙනා ජීවත් වී ඇත්තේ ගයා ශීර්ෂ ප්‍රදේශයේයි. සුචිරෝම යනු ඉදිකටු මෙන් තියුණු උල්මෙන් ලොම් තිබූ හෙයින් ද ඛරරෝම යනු කිඹුලෙකු මෙන් ගොරෝසු සිරුරක් තිබූ හෙයින් ද තේරුම් ගත යුතුය.
දිනක් බුදුරජාණන් වහන්සේ සුචිරෝම යක්ෂයාගේ භවනට වැඩ යක්ෂයාගේ ෙශෙලමය යහනෙහි වැඩ සිටියහ. ඒ අසලින් ගිය ඛරරෝම යක්ෂයා, සුචිරෝම යක්ෂයාට බුදුන් එහි සිටින බව පෙන්වීය. පසුව සුචිරෝම යක්ෂයා අවඥාවට මෙන් සිනාසී බුදුරදුන් වෙතට ගොස් තම ඉදිකටු වැනි උල් ඇති ලොම් ඒ දෙසට හරවා මට බිය නොවන්නේ දැයි බුදුන්ගෙන් ඇසීය. පසුව බුදුහිමි “බියක් නම් නොදැනේ, නමුත් ඔබේ ස්පර්ශය පිළිකුල්” යැයි පැවැසීය. පසුව යක්ෂයා බිය නොවන බව තේරුම් ගෙන ප්‍රශ්න කිහිපයක් ඇසීය. එයට උත්තර නොදුනහොත් සිහිය විකෘති කර, දෙපයින් විසිකර දමන බවට යෝජනා කළේය.
පසුව බුදුරජාණන් වහන්සේ පවසන්නේ “මිත්‍රය ඔබට එවැනි දෙයක් කළ නොහැකිය. ඔබට ප්‍රශ්නයක් ඇත්නම් අසන්න” යැයි යනුවෙනි. පසුව යක්ෂයා මෙසේ ප්‍රශ්නය බුදුන් හමුවෙහි තැබිය.
“රාගයේ හා ද්වේශයේ හේතුව කොතැනද? කුසලයෙහි නොඇලීමෙත්, අකුසලයෙහි ඇලීමෙත් හේතුව කුමක්ද? බියෙහි හේතුව කවරේද? සිත කැළඹීයාමේ හේතු කවරේද?” ආදී වශයෙනි. ඒ සියල්ලටම හේතුව උපත බවද, එය දන්නා අය උපත නතර කරන මාර්ගය අනුගමනය කර සසරින් මිදෙන බවද බුදු හිමි පිළිතුරු හැටියට දෙසූහ. පසුවයක්ෂයන් දෙදෙනා සෝවාන් වූහ.
මෙම කතා පුවතේ දී පැහැදිලි වන දෙයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ නිර්භීත බව හැඳින්විය හැක. මිනිසුන්ටත් අමනුෂ්‍යයන්ටත් උන්වහන්සේ බිය වීමට අවශ්‍ය නොවූයේ සියල්ල අවබෝධ කරගත් බැවිනි. තවද අධ්‍යාත්මික දියුණුවේ උපරිම දියුණුවක් ලබා සිටි උන් වහන්සේට අධිෂ්ඨාන ශක්තියෙන්ම සතුරු බලවේග පැරදවීමට ශක්තියක් තිබුණි. සමහර ශාස්තෘෘන් තම විරුද්ධ පාක්ෂිකයා හෝ පක්ෂය ඉදිරියෙහි කම්පනයට පත් වූ අවස්ථා තිබුණ ද බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ එවැනි අවස්ථා දක්නට නොමැත. දරුණු පුද්ගලයන්ගේ මානසිකත්වය තේරුම් ගත් බුදු හිමි අවශ්‍ය ආකාරයෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළහ. ඒ නිසාම උන්වහන්සේ මාර පරාජයෙන්ද ජය ගත්හ.
තවත් යක්ෂයකු පිළිබඳ පුවතක් අලව් නුවරින් දක්නට ලැබේ. එනම් ආලවක යක්ෂයා පිළිබඳවයි. එම යක්ෂයාද මුළු අලව් නුවරම බිය ගන්වාගෙන යටත් කරගෙන සිටි යක්ෂයෙකි. ඒ නම ඇසීමෙන් පවා මිනිසුන් ත්‍රාසයට භීතියට පත් වන්නේය. දිනක් බුදු හිමි අලව් යකු සිටි භවනට වැඩි සේක. මගෙන් අවසරයක් නොමැතිව මගේ භවනට වැඩි බුදු හිමි දැක තර්ජනා කළේය. බුදු හිමි වෙහෙසට පත්කරන අදහසින් තුන් වතාවක් ඇතුළටත් පිටතටත් ඇවිද්දවා සතුටු විය. එතැනින් නොනැවතී ප්‍රශ්න ඇසීය. එනම්,
ප්‍රශ්නයපිළිතුරු
ලොව උසස්ම ධනය? ශ්‍රද්ධාව
ලොව උසස්ම සැපත?ධර්මයෙන්ලැබෙන සැප.
ලොව උසස්ම රසය ?සත්‍යය
ලොව උසස්ම ජීවිතය ?නුවණින් ගතකිරීම
මෙසේ යක්ෂයාගේ ප්‍රශ්නවලට පිළිතුරු සිතුවාටත් වඩා සාර්ථක ලෙස බුදු හිමිගෙන් ලැබෙන බැවින් යක්ෂයා අමන්දානන්දයට පත්ව ධර්මයෙහි පැහැද තෙරුවන් සරණ ගොස් දිවි හිමියෙන්ම ප්‍රාණ ඝාතයෙන්ද වැළකුණහ. එදින බිලි පිණිස රැගෙන ආ අලව් රජුගේ පුතුට අභය දානය ද ලබා දුන්හ.
මෙම සිද්ධියේදී කෙනකුට, බුදුරජාණන් වහන්සේ යක්ෂයාට බියෙන් ඔහුගේ අණට යටත් වූවා නේද? කියා ද හිතෙන්නට පුළුවන. නමුත් එහිදී බුදු හිමි සිදු කළේ යක්ෂයාගේ මානසිකත්වය තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමය. බුදුරජාණන්් වහන්සේ එහි වැඩම කළේ යක්ෂයා දමනය කිරීමට මිස බියෙන් ආපසු පලා යාමට නොවේ. එබැවින් යක්ෂයාගේ වචනය තුන් වතාවක් පිළිගත්තේය. එසේ වුවද හතර වෙනි වතාව බුදු හිමි සඳහන් කළේ “යක්ෂය මම මෙතනින් නොසෙල්වෙමි. හැකි දෙයක් කරවයි.” ආදී වශයෙනි. යක්ෂයාට පුළුවන්කම තිබුණි නම් වෙන මිනිසුන්ට මෙන් බුදු හිමිට ද විනාශයක් කරනවාට කිසිදු සැකයක් නැත. එසේ වුවද මේ තුන් ලෝකයේ කිසිවකුටත් එසේ කිරීමට නොපුළුවන් වන්නේ උන් වහන්සේ තුළ තිබූ බලය, අධිෂ්ඨාන ශක්තිය වෙන කිසිවකු තුළ නොතිබුණ බැවිනි.
අංගුලිමාල කතා පුවත ද මේ සම්බන්ධව ඉතා වැදගත් වේ. අහිංසක නම් වූ කුමාරයකු දිසාපාමොක් ඇදුරුතුමා ළඟ ඉගෙනුම් කටයුතු කරමින් සිටිය දී මිතුරන්ගේ මුසා බස් නිසා වැරදිකරුවෙකු වී ගුරු පඬුරු පූජා කිරීමට ඇඟිලි මාලයක් සූදානම් කරන්නට සිදු විය. ඒ නිසා මිනිසුන් මරා ඇඟිලි කපා ගන්නා මිනීමරුවකු බවට පත්විය. ඇඟිලි 999කින් යුත් මාලයක් සකසාගෙන දහස් වෙනි ඇඟිල්ල තම මවගෙන් ලබාගැනීමට තිබියදී බුදුරජාණන්වහන්සේ පෙනී සිට අංගුලිමාල මෙල්ල කරන ලදී. රටේ රජතුමාට විශාල බලයක් තිබියදීත් මෙල්ල කර ගැනීමට අපහසු වූ අංගුලිමාල නම් වූ මිනීමරුවා බුදුරජාණන් වහන්සේගේ බලය යොදා කරුණා, මෛත්‍රී වැනි උසස් ගුණාංග තුළින් මෙල්ල කර ගන්නා ලදී.
රා කළ ගෙඩි 16ක් ‍පොවා බුදුරදුන් විනාශ කිරීමට එවන ලද නාලාගිරි වැනි හස්ථීරාජයන්ද, සමහර දරුණු නාග රාජයන් ද දමනය කරන ලදී. මිනිස් තිරිසන් භේදයකින් තොරව උන්වහන්සේ පුරිස ධම්ම සාරථී ගුණය ඉෂ්ට සිද්ද කළහ.
“ වදකේ දේව දත්තම්හි - චෝරේ අංගුලිමාලකේ” ආදී පාඨ තුළින් ද ඒ බව පැහැදිලි වේ. සභිය වැනි පරිභ්‍රාජිකාවෝ එවකට තිබූ නොයෙක් තර්ක ඉදිරිපත් කරමින් අනුන් මතවාදයෙන් යටත් කරගෙන සිටි පිරිස්ය. එසේ වුවද බුදුරදුන් ළඟදී ඔවුන්ගේ මතවාද බිඳී ගොස් සත්‍ය තේරුම් ගෙන මහණ උපසම්පදාව ලබා රහත් භාවය ද ලබාගන්නා ලදී. ප්‍රශ්න අසා බුදුරදුන් අපහසුවට පත් කිරීමට පැමිණි නිගණ්ඨනාථ පුත්තගේ, ශ්‍රාවකයකු වූ උපාලි ගෘහපතියා ද බුදුරදුන්ගේ ප්‍රශ්න විසඳීමේ බලය ශක්තිය ගැන සතුටු වී ධර්මය අසා සෝවාන් වූ අතර දිවි හිමියෙන් බුදුන් සරණ ගිය බෞද්ධයෙක් බවට පත්විය.
තුන් බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තිදෙනා රහත් වූවන් සේ මානයෙන්, උද්ධච්චකමින් සිටි තිදෙනකි. එසේම මානයෙන් උඩඟුව සිටි ශාක්‍යයෝ ද බුදුරදුන් ප්‍රාතිහාර්ය නොපාන බව කියූ තීර්ථකයෝ ද යන සෑම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ විශ්මයජනක යමක ප්‍රාතිහාර්ය ආදී මහත් ද්ධීන් දැක ධර්මයේ සත්‍ය භාවය පිළිගත්හ. අද කාලීන වශයෙන් පෘථග්ජනයා බලය ශක්තිය වශයෙන් වැඩිපුර සිතා ක්‍රියා කරන්නේ ධනය, බලය, කුලය ආදී දේ ගැනය. එසේ වුවද බුදුරජාණන් වහන්සේ ශක්තිය, බලය වශයෙන් යොදා ගත්තේ ආධ්‍යාත්මික වශයෙන් ලබාගන්නා ලද ශක්තියයි. අවි ආයුධවලින්වත් මෙල්ල කිරීමට නොහැකි වූ අය උන්වහන්සේ තම බලය පාවිච්චි කර මෙල්ල කළහ. එහිදී උන් වහන්සේ අතින් පයින් හෝ අවි ආයුධ භාවිතයෙන් කිසිදා මෙල්ල කිරීමක් කර නැති බව සනාථ වන කරුණකි.
අද සමාජය තුළ වුවද සමහර අවස්ථාවලදී අවි ආයුධවලින් පවා පාලනය කර ගැනීමට නොහැකි අය, සමහර බුද්ධිමතුන්ට, උගතුන්ට, පාලනය කර ගැනීමට පුළුවන්කමක් ඇත. සතුරා දැන හඳුනාගෙන උපක්‍රමශීලීව ඔහුට සවන් දී ඔහුගේ මානසිකත්වය හඳුනාගෙන අවශ්‍ය පියවර ගත යුතුය. සමහර දරුණු පුද්ගලයන් අවි ආයුධවලටත් බිය නොවෙති. ඔවුන්ට වචනය ඉතා වැදගත් වන්නේය. එබැවින් මානසික ශක්තිය පදනම් කරගෙන පිටවන වචනය තුළින් ඔවුන් තරමක් දුරට හෝ සැනසීමට පත්වන්නේය. බුදුරජාණන්වහන්සේ සිදු කළේද මෙයමය. අංගුලිමාල නම් මිනීමරුවාට බුදුහිමි සඳහන් කළේ “මම සිටියෙමි, ඔබත් සිටින්න” යනුවෙනි. එහිදී ඔහුට සිතන්නට යමක්  ඉතිරි කර ඇත. ඔහුගේ දරුණු මනස, (විකෘති මනස) තුළට මෛත්‍රී නමැති දිය බිඳුවක් වැටීමෙන් සන්සුන් වීමකට පත්වීමක් සිදුවිය. මේ සඳහා කෙනෙකුගේ පෞරුෂයද බලපාන්නේය. බුදුරජාණන්වහන්සේ ඒ සෑම පැත්තකින්ම අංග සම්පූර්ණ උත්තමයෙකි. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂලක්ෂණවලින් හෙබි උත්තමයෙකි. කායික වශයෙන් සටන් කළ ද කෙනෙකුට බුදුහිමි පැරදවිය නොහැක. සිද්ධාර්ථ කුමාරයා කල උන්වහන්සේ කඩු ශිල්ප, දුනු ශිල්ප ආදී සියලු ශිල්පවලින් පරතෙරට ගොස් විවාහ වීමේදී පවා එය ප්‍රත්‍යක්ෂ කළහ.
මේ ආකාරයෙන් බලන කල නොයෙක් පිරිවැජියෝ ද, දරුණු මනුෂ්‍යයන් ද, දර්ශනවාදීහු ද බුදුරදුන් ඉදිරියෙහි දමනය වූහ. එවකට සිටි නොයෙක් ශාස්තෘෘවරුද දමනය කරන ලදී. ගොඩක් දෙනෙක් දරුණු වද හිංසාවෙන් පාලනය කිරීමට යෑම සාර්ථක ක්‍රමයක් සේ දැකිය නොහැකිය. එබැවින් බුදුරදුන්ගේ ඉගැන්වීම් ක්‍රමද අනුගමනය කිරීමට උත්සාහ කළයුතු අතරම ඒ සඳහා අධ්‍යාත්මික ශක්තියක් ද ගොඩනගා ගැනීමට අදිටන් කරගත යුතුය. ඒ සඳහා අවශ්‍ය ක්‍රමය පිළිවෙළ ද අත්හදා බැලිය යුතුයි. ඒ අනුව යම් තරමකින් හෝ පුරිස ධම්ම සාරථී ගුණය වැඩීමට අපට ද හැකියාවක් ලැබෙනු ඇත.
කොබෙයිගනේ පුබ්බිලියශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය ගලගෙදර රතනවංශ හිමි
-----------------------------------------
දහම දැක බුදුන් දකිමු...
වන මෘගයන් විසින් පමණක් සේවනය කරන්නට ප්‍රිය කරන මහා වනයක හුදකලාව බවුන් වඩන පැවිද්දෙකි. හණ නූලෙන් කරන ලද ගත දැවටි චීවරයත් පාත්‍රයත් හැරෙන්නට ඔහු සතුව ඇති වෙනත් කිසිවක් නොපෙනේ. සත්‍ය සෙවීමේ පරම අරමුණ පෙරදැරි කරගත් මේ හුදකලා තවුසාණන් මහා රාජ්‍යයක උරුමකරුවෙක් බව මේ නිසසල ගහකොළකෙසේ නම් දනියි ද විමුක්තිය වෙනුවෙන් මහා රාජ්‍ය සුඛය අලුයම ලූ කෙළ බිඳක් සේ බැහැර කරන්නට මේ මහා පුරුෂයාට කෙසේ නම් හැකි වීද. සමස්ත මානව වර්ගයාම ප්‍රිය කරන සාමාන්‍ය විෂය ලෝකයේ නිස්සාර අරමුණු අත්හැර උඩුගං බලා පිහිනන්නට ඔහුට කෙසේ නම් වීරිය ලැබුණේද. එහෙත් මේ සියල්ල සත්‍යය. සියල්ල යථාර්ථයන්ය. මෙයට වසර දෙදහස් හයසිය වසකට පෙර එක් පැහැබැර වූ දිනයක සාමාන්‍ය මිනිස් මව්පියනට දාව උපන් සාමාන්‍ය මිනිසෙක් විශ්වයේ පරම සත්‍යය. පසක් කරගන්නට සමත්විය. එතැන් සිට ලෝකය වෙනස් විය.
තථාගත බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරන උතුම් වූ වෙසක් ‍පොහෝ දිනය ළංවෙයි. උපන් දිනයම මියගිය දිනය බවට  පත් වූ මිනිසුන් ලොව සිටී. එසේම උපන් දිනයම සිය ජීවිතයේ වඩාත්ම වැදගත් දිනය බවට පත් වූ මිනිසුන් ද සිටී. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ ද මේ ලක්ෂණය දක්නට හැකිය. උන්වහන්සේ මිනිසකු ලෙස මහාමායා දේවියගේ කුසින් බිහි වූයේ වෙසක් ‍පොහොය දිනකය. එසේම ජීවිතයේ උතුම්ම පදවියට පත් වූයේ ද එවැනිම දිනයකය. සාමාන්‍ය තේරුමෙන් ගත්විට ජීවිතයෙන් සමුගත්තේ ද එවැනිම දිනකය. සමහර මිනිසෙකුට පමණක් ජීවිතයේ හිමිවන මේ අපූර්ව ස්වභාවය උරුම වූ ලෝකයේ මහා කාරුණිකයාණන් වහන්සේ වන්නේ බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ ජීවිතයේ මේ අවස්ථා තුනම සිදුවූයේ තුරු ලතා ඇසුරු කරගෙනය.
ඉතිහාසය විසින් යම් යම් අවශ්‍යතා මත බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ස්වභාවය අති මානුෂීය දේවත්වයකට නංවා තිබෙනු දක්නට ලැබේ. මහායාන වැනි බෞද්ධ දර්ශනයන් තුළ බුදු රජාණන් වහන්සේ සදාකාලිකව දෙව්ලොව ජීවත්වන වරින් වර ලෝකයට පැමිණෙන උතුමෙකි. එහෙත් නියම තතු පරීක්ෂා කර බලන විට පෙනී යන්නේ බුදු රජාණන් වහන්සේ යනු සාමාන්‍ය ලෙස උපත ලැබූ සාමාන්‍ය මිනිසෙකි. උන්වහන්සේ ලුම්බිනි නම් සල් වනයේ උපත ලැබුවේ සාමාන්‍ය මිනිස් දරුවෙක් ලෙසය. සත් දිනකින් සිය මව මිය ගිය පසු මවගේ නැගණිය වූ ප්‍රජාපතී ගෝතමී දේවියගෙන් කිරි බි වැඩුණු සාමාන්‍ය ළදරුවෙක් මිස අසාමාන්‍ය දෙවිවරයෙක් නොවේ. සූත්‍රාගත කරුණුවල සිය උපත පිළිබඳව බුදුරදුන් කරුණු දක්වා ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. එසේම සාමාන්‍ය මිනිසෙක් ලෙස විවාහ ජීවිතයට ඇතුළත් වන සිදුහත් කුමරුන් ගේ දරුවා වන්නේ රාහුල කුමරුය. පිය රජුන් විසින් ගිහි දිවියේ ඇල්ම ඇති කරනු පිණිස නිර්මාණය කරන ලද මහා මාළිගාවල අතිශය සුඛෝපභෝගි දිවියක් ගත කළ අයුරු පසු කාලීනව බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. වසර විසි නවයක් සිය දිවියේ ගිහි සුව විඳී බුදු රජාණන් වහන්සේට මදින් මද ජීවිතයේ නිස්සාරත්වය වැටහුණු අතර දිවියේ යථාර්ථය වැටහෙත්ම උන්වහන්සේ සත්‍ය සොයා යන්නට තීරණය කළහ.
සිදුහත් තාපසයාණන් ගේ දෙවන උපත ලෙස සැලකිය හැක්කේ උන්වහන්සේ ගේ යථාර්ථාවබෝධයයි. හෙවත් සම්මා සම්බුද්ධත්වයයි. විසිනව වැනි වියේ ගිහි ජීවිතය අත්හැර ගිය උන්වහන්සේ වසර හයක් තිස්සේ නියම මාර්ගය කුමක්දැයි සොයමින් කල් ගත කළහ. ගුරුවරුන් සොයා ගියහ. විවිධ වෘත ක්‍රම අනුගමනය කළහ. තනිවම භාවනා කළහ. ආහාර වර්ජනය කරමින් හුස්ම ගැනීම අරමුණු කරමින් අප්‍රාණක ධ්‍යානය වැඩූහ. මේ කිසිවකින් යථාර්ථය පසක් නොවුණු විට උන්වහන්සේ මැදුම් පිළිවෙත   හරහා භාවනානුයෝගීව සත්‍යාවබෝධයට වෙර දැරූහ. වෙසක් පුර පසළොස්වක දිනයක අලුයම් කාලයේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගන්නට ද උන්වහන්සේට හැකිවිය. බුදු බව ලැබිමෙන් පසුව උන්වහන්සේ තමන්ගේ ස්වභාවය කුමක්දැයි හෙළිකරන පැහැදිලි නිදර්ශනයකි ද්‍රෝණ බමුණා හමුවීමේ කතාව.” වරක් ද්‍රෝණ නම් බමුණෙක් මාර්ගයේ ගමන් කරන විට ඔහුට පා සලකුණක් දක්නට ලැබිණි. පා සටහන් ඔස්සේ ගමන් කළ ද්‍රෝණට කිසියම් පුද්ගලයෙක් මුණ ගැසිණි. ඔහුගේ නිවුණු තැන්පත් රූපශ්‍රීයෙන් කිසිවක් සිතාගත නොහුණු ද්‍රෝණ මෙසේ ප්‍රශ්න කළේය.
“ඔබ දෙවියෙක් ද නැත”
එසේ නම් ඔබ බ්‍රහ්මයෙක් ද නැත
නාගයෙක් හෝ යක්ෂයෙක් ද නැත
එසේ නම් ඔබ මිනිසෙක් ද නැත”
ලොව සිටින කිසිදු වර්ගයකට අයත් නොවන මේ පුද්ගලයා මෙසේ පැවැසීය. නෙළුම් මල මඩේ හටගනී. මඩෙන් අපිරිසිදු දියෙන් ‍පෝෂණය වෙයි. ජලයෙන් උඩට මතු වෙයි. ජලයෙන් වඩාත් උඩට මතු වී නැවතත් ජලයේ නොගැටෙන ලෙස පවතී.
ද්‍රෝණ මම ද එසේ වෙමි. දෙවියනට මිනිසුනට තිබෙන රාගාදී ආශාවන් මට නැත. එනිසා මම ඒ කිසිවෙක් නොවෙමි. එසේ් සාමාන්‍ය මානුෂීය හැඟීම් දුරු කළ උත්තරීතර මිනිසෙක් වෙමි.”
බුදුරජාණන් වහන්සේ කිසි දිනක සිය ජන්ම දිනය සැමරුවේ නැත. එය සමරන්නට සිය දහම පිළිපදින්නවුනට කියා නැත. කෙටියෙන් කිවහොත් මුළු වසරේම පව් සමා කරන දිනයක් බවට පත් කරගන්නට බුදුරදුන් අනුදැන වදාරා නැත. තවත් පැහැදිලිි කළහොත් වෙසක් ‍පොහොය යනු බුදුරජාණන් වහන්සේගේ ජන්ම දිනය සැමරීමක් නොවේ. බුද්ධත්වය ලැබිම පිළිබඳව ප්‍රීතිමත් අනුස්මරණයක් නොවේ. එසේම මරණය පිළිබඳව ශෝකවීමක් ද නොවේ. ලෝකයේ සම්මත ක්‍රමය වූ උපන් දිනය සැමරීමේ මරණය වෙනුවෙන් දුක්වීමේ ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් වූ පිළිවෙත් මාර්ගයක් හරහා තෙමඟුල් සංකල්පය ඔස්සේ මානව සමාජයට ලබාදෙයි. බුදුරජාණන් වහන්සේගේ අවසන් බුද්ධ වචනය වූයේ. “අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු. ගමනීයො සම්පරායො. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං. නත්ථී ජාතස්ස අමරණං” සිය අවසාන මොහොත තුළ අවසාන වදන් කිහිපය තුළින් පවා උන්වහන්සේ උත්සහ කළේ සත්‍යය පෙන්වාදීමටය. මෙවැනි බොහෝ කරුණු නිසාම බුදුරජාණන් වහන්සේගේ උපත හෝ මරණය සංකේතවත් වනුයේ ද බොදුනුවන් ඒ දෙස බලන්නේ ද සාමිස සතුටකින් හෝ ශෝකයකින් නොවේ.
ලෝකයේ කවරම අයෙකුට වුවද මරණය දුකකි. මිය යන්නාට එය වේදනාවක් වනවා සේම ජීවත් වන්නවුනටද එය එසේමය. එහෙත් බුදුරජාණන් වහන්සේ මේ මරණය අභියස බොදු සැදැහැති ජනයා දුක්වීමක් වේදනාවට පත්වීමක් හෝ උපවාසයකට යටත් වීමක් දක්නට නොමැත. බුදුරජාණන් වහන්සේගේ මරණය පිරිනිවන් පෑම යනුවෙන් අදහස් කරන්නේ හුදු ගෞරවාර්ථයෙන්ම නොවේ. පරිනිර්වාණ යන්නෙහි අර්ථය නිවා දැමීම යනුයි. අවසන් කිරීම හෝ නිවීමට පත්වීම යනුයි. බුදුරජාණන් වහන්සේ අවස්ථා දෙකකදී පිරිනිවෙති. එය හැඳින්වෙන්නේ මෙසේය.
සෝපදිසේස පරිනිර්වාණය
නිරුපදිසේස පරිනිර්වාණය
සත්වයා යනු භෞතික හා අභෞතික දෙකෙහි එකතුවයි. එසේත් නැති නම් ද්‍රව්‍ය හා මනසේ සංකලනයයි. ඇසට පෙනෙන අතට හසුවන දේවල් හා එසේ ඇසට හසු නොවන තත්ත්වයක එකතුවකින් නිර්මාණය වූවකි. හෙවත් නාම රූප සමවායෙන් හටගත්තකි. නාම යනු වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණ වෙයි. රූප යනු භෞතික වූ ශරීරයයි. මේ ශරීරය හා විඤ්ඤාණය දෙකට තනි තනිව සිටිය නොහැකිය. ලී දෙකක් ගෙන ත්‍රිකෝණාකාරව ‍පොළොව මත එකිනෙකට ගැටී රැඳවිය හැකිය. කවර ලීයක් පළමුව ගත්තත් අනෙක් ලීය වැටෙයි. මේ අයුරින් ශරීරය නිසා සිතත් සිත නිසා ශරීරයත් පවතියි. සත්වයාගේ මරණයේදී මේ සාමාන්‍ය ශරීරය විනාශ වන නමුදු නාම ධර්ම උපාදානය ඇසුරු කරමින් පරිනාමීය වශයෙන් හා අනාත්මීය වශයෙන් නැවත ප්‍රතිසන්ධිය ලබයි. එනිසා යළි යළිත් ශරීරයන් පහළ වෙයි. බුදුරජාණන් වහන්සේ බුදු බව ලබා පහළ කළ උදාන වාක්‍යයේ මෙකී කරුණ සඳහන් කරති. “ගහකාරක දිට්ඨෝසි පුනගේහං න කාහසි“ ශරීරය යනු ගෙයකි. විනාශ නොකළ තෘෂ්ණාව නමැති වඩුවා මේ ශරීරය නමැති නිවස යළි යළිත් සාදයි. මේ නිසා නාම ධර්ම විනාශ නොකර මිය යන සියලුදෙනාගේම මරණය උඩින් දළු දමන තාල වර්ගයට අයත් නොවන අඹ වැනිය. ගසක් උඩින්  කපා දමා විනාශ කරන්නට උත්සහ කරන්නාක් මෙනි. එය කෙතරම් උඩින් කැපුවත් යටින් දළු දමයි. එනිසා කෙලෙස් නමින් හඳුන් වන මේ මූලික මානසික ධර්මයන් සංසිඳ වූ විට යළි උපදින්නට මූලධර්මයක් නැත. සෝපදිසේස පරිනිර්වාණය යනු බුදු රජාණන් වහන්සේගේ කෙලෙස් පරිනිර්වාණයයි. ශරීරය පවතින විටම සිත තුළ නාම කෙලෙස් ධර්මයන් අවසන් කිරීමය. රූප ධර්ම පවතින විටම නාම ධර්ම පහළ වීමට හේතුවන ‍පෝෂක ධර්මයන් විනාශ කිරීමය. මෙය වනාහී සෝපදිසේස පරිනිර්වාණයයි. වෙසක් පුර පසළොස්වක් දිනයේ බුදුරජාණන් වහන්සේගේ සකලක්‍ලේශයන් නිවීම සෝපදිසේස පරිනිර්වාණයයි.
නිරුපදිසේස පරිනිර්වාණ තත්ත්වයට එන විට නාම රූප දෙකෙහි පැවැත්මට හෙවත් සිත කය පහළ කළ එය ‍පෝෂණය කළ සියළු කෙලෙස් පිරිනිවී අවසන් වන අතර ශරීරයද ඇතුළුව ඉතිරිව තිබූ සියලු නාමරූප ධර්මයන් නිවීමට පත්වෙයි. නිවී අවසන් වෙයි. පහන් දැල්ල මෙනි. තෙල් ද වැටියද අවසන් වූ පසු පහන් දැල්ලට පවතින්නට නොහැකිය.
සංසාර පැවැත්ම අවසන් කිරීම යනු බුදු දහමේ උත්කෘෂ්ට වූ අවේදයිත සුවයයි. බුදු රජාණන් වහන්සේ සිය අසූ වැනි වියෙහිදී සියලු දුක්ඛ වේදනාවන් අවසන් කළහ. සසර අපමණ ආත්මභාවයන් වල ඉපදෙමින් සෙවූ පරම විමුක්තිය සාක්ෂාත් කර සියලු දුක් වේදනාවන් අවසන් කිරීම වාසනාවක් මිස කෙසේ නම් අවමංගල්‍යයක් වන්නේ ද, එනිසා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සාමාන්‍ය අර්ථයෙන් ලෝකය තුළ කතා කෙරෙන අවමංගල්‍යයක් නොවේ. එනිසාම එය උපතත් බුදු වීමත් යන උභය පක්ෂය සේම මංගල්‍යයක් ම වෙයි. සැබැවින්ම වෙසක් ‍පොහොය යනු ලෝකයට මංගල්‍යයක්මය. අන් දිනවල අකුසල් කරන මිනිසුන් පවා දහමට එක් දිනක් හෝ නැඹුරු වන්නේ වෙසක් ‍පොහොය දින පිළිබඳව ඇති ගෞරවය නිසාය.
වර්තමානය වන විට බුදු දහම විවිධ පුද පූජාවන් ගෙන් වැසී ඇත. බුදු දහමේ ප්‍රධාන මූලික හරයන් පවා නොපෙනෙන තරමට මෙකී ආමිස වත් පිළිවෙත් බහුල වී ඇත. මෙහිදී මේ සඳහන් කරනු ලබන්නේ එකී වත්පිළිවෙත් නරක බව හෝ ඒවා නොකළ යුතුය යන්න නොවේ. ඒවා තිබිය යුතුය. එහෙත් බෞද්ධ සංස්කෘතිය අනෙකකි. බුදු දහම අනෙකකි. සංස්කෘතිකාංග සුරකින අතර මූලික ධර්මය යටපත් වන්නට ඉඩ නොදිය යුතුය. “ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි” යන්නට අනුව බුදුරජාණන් වහන්සේට කරන හොඳම පූජාව වන්නේ ආමිස පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජාවය. පිරිනිවන් මංචකයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේගේ සිරුරට අකාලයේ පිපුණ සල් මල් පුදන්නට දෙව්වරු කටයුතු කළහ. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට සඳහන් කරන්නේ මේ ආමිස පූජාව තමන්ට කරන මහත් පූජාවක් නොවන බවයි. යමෙක් තමන් දේශනා කරන ලද මාර්ගයේ ගමන් කරන්නේ නම් එය තමන්ට කරන විශාලම පූජාව එය බව උන්වහන්සේ සඳහන් කළහ. බොහෝ බෞද්ධයෝ වෙසක් ‍පොහොය යනු විනෝද වන්නට අවස්ථාවක් බව සිතාගෙන සිටිති. දන්සල් තොරණ වෙසක් පහන් ආදිය වරදක් නොවන එහෙත් බුදුරදුන් එතරම් අගය නොකළ ආමිසයන්ය. ආමිසය පමණක් තිබෙන්නේ නම් එහි කිසිදු හරයක්  නැත. අතීතයේ දන්සල් ආදිය ආරම්භ වූයේ වන්දනාවේ යන පින්වතුනගේ පහසුව සඳහාය. එහෙත් වර්තමානය වන විට දන්සල විනෝදාංගයක් බවට පත් වී තිබේ. වෙසක් ‍පොහොය විනෝද ගමන් යන දිනයක් බවට පත් වී ඇත. බොහෝ මිනිසුන් යන්නේ වන්දනාවේ නොවේ. දන්සල් අරමුණු කරගනිමින් කා බි විනෝද වී වෙසක් සැරසිලි ද බලා එන සංස්කෘතියක් නිර්මාණය වී තිබේ. තරුණයන් දරුවන් නොව වැඩිහිටි පිරිස් ද මේ තත්ත්වයට පත් වී තිබේ. බොහෝ තරුණයන් හා දරුවන් අතර මත් පැන් දුම්වැටි ආදියද දුලබ නොවේ. එයට හේතුව වන්නේ ඔවුන් යන්නේ විනෝද ගමනක් මිස සැදැහැසිතින් වන්දනාවේ නොවන නිසාය. එවිට සිදු වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ තෙමඟුල සැදැහැ සිතින් සිහිකිරීම වෙනුවට විනෝදවීම හා දුසිරිතට යොමු වීමය.
එහෙත් අනෙක් පැත්තෙන් බොහෝ සැදැහැති පිරිස් විහාරස්ථාන ඇසුරු කරගනිමින් බොහෝ පිළිවෙත් පුරණ අයුරුද දක්නට ලැබේ. ශීල සමාදානයත් භාවනා කිරීම සදහම් ශ්‍රවණය වැනි උතුම් වූ කටයුතු නිසා සාධු නාදයෙන් සිරිලක පිරී යන දිනයක් ද බවට පත්ව තිබේ. වෙසක් ‍පොහෝ දිනය බුදු රජාණන් වහන්සේ පින්බරව සිහි කිරීමක් වන්නේ එවැනි ප්‍රතිපත්ති මාර්ගයට යොමු වීම තුළින් පමණි. ප්‍රතිපත්ති මාර්ගය තුළ රැඳී සිටින බුද්ධිමත් බෞද්ධයා සසර පැවැත්මට පින් රැස් කරගන්නා අතරම සසර නැවැත්ම සඳහා කුසල් ද වර්ධනය කර ගනී. ඔහු වෙසක් දිනය එයට වඩාත් සුදුසු තවත් එක් පින්බර දවසක් බවට පත් කරගන්නවා විනා එය විනෝදයක් කර නොගනී. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ ගේ පිළිමයක් අබියස දණ නමන අතරම බුදුරජාණන් වහන්සේ යනු කවරෙක් දැයි පැහැදිලිි ලෙසම අවබෝධ කරගන්නට උත්සහ දරයි. බුදුරදුන් යනු කවරෙක්දැයි නිවැරදිව හඳුනාගැනීමට ආමිස පූජාවෙන් නොහැකිය. එයට කළ හැක්කේ ධර්මය අවබෝධ කරගැනීම තුළිනි. “යො ධම්මං පස්සති. සො මං පස්සති.” යමෙක් ධර්මය දකීද හේ මා දකී.
පරවාහැර චන්දරතන නාහිමි ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක
-----------------------------------------
මෛත්‍රී චිත්තය දස දිසාවට පතුරමු
පුරා වසර 2600කට පමණ පෙරාතුව අද වැනි දිනක වෙසක් සඳේ සඳ කිරණින් මිහිතලය සිප ගනිද්දී සිදුහත් මහ බෝසත් උතුමන් පසක් කොට වදාළ “සම්මා සම්බුද්ධත්වය” එදා මෙදා තුර පහළ වූ බොහෝ සමය සම්ප්‍රදායන්ගෙන් සුවිශේෂී වූවකි. සම්බුදුරදුන් දෙසා වදාළ ශ්‍රී සද්ධර්මය ලෝකායත නියතිවාදයක් නොවී මිනිස් ශක්‍යතා අගයන මානව කේන්ද්‍රීය දර්ශනයක්වීම බොදුනුවන් ලෙස ඔබත් මමත් ලැබූ මහත් භාග්‍යයකි.
සියල්ල සිදුවන්නේ තමන් විසින් සිදුකරනු ලැබූ කුශලාකුශල විනිශ්චයන්ට අනුවය යන කර්මවාදය පදනම් කරගත් සමාජයක කර්මය වුවද මිනිස් හැකියාවන්  මත වෙනස් කරගත හැකි බවට බුදුරදුන් විසින් සිදුකොට ඇති දේශනා ඉතා ප්‍රශස්තය. තත් සමාජය තුළ මහත් විප්ලවීය වෙනසක් සිදුකළ එකී ඉගැන්වීම් තුළින් මිනිසා කර්මවාදයේ වහලෙකු නොවී හැකියා හා දක්ෂතා මත තම තමන්ගේ යහපත සලසා ගැනීමට අවකාශ ලබාදේ.
සුද්ධි අසුද්ධි පඤ්ඤත්තං...
නාඤ්ඤ මඤ්ඤෙ විසෝධයො..... යන්නේ පිරිසිදුවීම හෝ අපිරිසිදුවීම වෙනත් අයෙකුගේ මැදිහත්වීමකින් තොරව තම තමන් විසින් සලසා ගත යුත්තක් බව සම්බුද්ධ දේශනාවයි.
අනිත් අතට පුහුදුන් මිනිසුන් ලෙස කිසිවෙකුත් කිසි විටෙකත් සර්ව සම්පූර්ණ වූවන් නොවේ. එසේත් නැත්නම් ශුද්ධවන්තයන්ද නොවේ. සෑම අයෙක් අතින්ම දැන හෝ නොදැන පාපකර්ම සිදුවිය හැකිය. එසේ සිදුකරනු ලබන පාපකර්මයන්ගෙන් මිදීමේ මගක් තිබේද? එසේත් නැත්නම් එකී පාපයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් විඳිය යුතුද?
මේ පිළිබඳ ‘බුද්ධ මතය” ඉදිරිපත් වන සූත්‍රයක් ලෙස සංයුක්ත නිකායේ ‘සංඛ’ සූත්‍රයට හිමිවන්නේ වැදගත් තැනකි. එකී සූත්‍රය ආරම්භ වන්නේ බුදුරදුන් හා “අසිඛන්ධක පුත්ත” නම් නිගණ්ඨ ශ්‍රාවකයා අතර ඇතිවන සංවාදයක් මගිනි. බුදු පියාණන් වහන්සේගේ ප්‍රශ්න කිරීමට අනුව “අසිඛන්ධක පුත්ත” තම ශාස්තෘෘන් වහන්සේ “ජීවිතයේ වැඩි කාලයක්  පාපයට යොමු වූවන් නිරයට යන බවත්, ජීවිතයේ වැඩි කාලයක් කුශලයට යොමු වූවන් සුගතියට යන බවත්” දේශනා කරනු ලබන බව දන්වා සිටී. එවිට බුදුරදුන් පවසා සිටින්නේ එය එසේ වන්නේ නම් කිසිවෙකුත් නිරයට නොයන බවයි. එයට හේතුව නම් මිනිස් ජීවිතය ‘කාලය’ වශයෙන් බෙදූ කල නිදාගැනීම්, ආහාර පාන ගැනීම් ආදියට බොහෝ කාලයක් ගත වෙන බැවින් අකුසල් ක්‍රියා සිදු කරනු ලබන ‘කාලය’ ඉතා අවම බවයි. නිදසුනක් ලෙස ‘ප්‍රාණඝාත’, ‘අදත්තාදාන’ වැනි පාපයන් සඳහා ගතකොට ඇත්තේ පැය වශයෙන් සුළු කාලයක් නිසා ඉහත ඉගැන්වීමට අනුව අපාගත විය නොහැකිය.
ඉහත ඉගැන්වීම් ප්‍රතික්ෙෂප  කරන බුදුසමය අනෙක් අතට තමන් කළ නොකළ දේ පිළිබඳව පසුතැවිලිවීම හෙවත් ‘විප්පටිසාරී’ වීම අනුමත නොකරයි. එමගින් තමන්ටත් අනුන්ටත් යහපතක් සිදුනොවන අතර තමන් විසින් සිදුකරනු ලැබූ අකුසලයද යටපත් කළ නොහැකි වෙයි.
යම් අකුසලයක් සිදුකළ පුද්ගලයා එයින් මිදෙන්නට එසේ නම් කළ යුත්තේ කුමක්ද? මේ පිළිබඳ වඩාත් ඵලදායී පිළිතුරක් සපයන ‘සංඛ’ සූත්‍රය වැඩිදුරටත් විස්තර කොට සිටින්නේ “මෛත්‍රී මෙතො විමුක්තිය”
තුළින් පව්දුරලිය හැකි බවයි. වඩාත් සරලව කිවහොත් පුළුල්ව, අප්‍රමාණ ලෙස මෛත්‍රී සිතිවිලි පැතිරවීමෙන් තමන් අතින් සිදු වූ බොහෝ පාපයන්ගෙන් නිදහස් විය හැකිය. කරණීය මෙත්ත සූත්‍රයට පසුව මෙත් පැතිරවීම පිළිබඳව ඉගැන්වෙන ඉතාමත්ම වැදගත් සූත්‍රය වන්නේ මෙම ‘සංඛ’ සූත්‍රයයි. මහා ජලාශයක සොරොව්ව විවෘත කිරීමෙන් පසුව මුඩුබිම් සිසාරා ජලය ගලාගොස් මුඩුබිම් සියල්ල සරුසාර වගාවකට පසුබිම සකසා දෙන්නා සේ ‘මගදිගටම’ වූ මෛත්‍රී චිත්තය සියලු දිසාවන් සිසාරා පතුරුවාලීමෙන් මහත් වූ ශාන්තියක් උදාකර ගත හැකි බව ‘සංඛ’ සූත්‍රය මොනවට පැහැදිලි කොට සිටී.
එකී සූත්‍රය නම් කරන්නට හේතු භූත වූ “සංඛය” හෙවත් හක්ගෙඩිය උපමාවට ගන්නා බුදුරදුන්, යම්කිසි දක්ෂ සක් පිඹින්නෙක් ඉතා මනහර ලෙස සියලු දිසාවන්ට කන්කළු හඬ පැතිරී යන්නට සක් පිඹින්නේද ඒ අයුරින් අකුසල් කළ අයවළුන් “ මෛත්‍රී චිත්තය” දස දිසාවන් වෙත කිසිදු භේදයක් නොමැතිව පතුරුවාලීමෙන්
යං පමාන කතං කම්මං නතං තත්‍රාව සිස්සති,
න තං තත්‍රාව තිට්ඨති ....”
ප්‍රමාණ වශයෙන් කරන ලද පාප කර්ම ඉතිරි නොවී ඒවා මැකී යන බව අවධාරණය කෙරෙයි. එසේ  නොවුවහොත් එකී පාප කර්ම දිටඨධම්ම වේදනීය වශයෙන් මේ භවයේදීම විපාක දී අවසන් වන බවත්, දිගින් දිගට සසර පුරා ඒවා රැගෙන යෑමක් නොවන බවත් එකී සූත්‍රය වැඩිදුරටත් විස්තර කොට සිටී.
සංඛ සූත්‍රයට අනුව පැහැදිලි වන ඉතා වැදගත් කරුණ නම් පව් කම් කළ අයෙකුට පවා ඒ පිළිබඳව තැවි තැවී නොසිට ජීවිත පරිවර්තනයක් තුළින් අකුසල් කර්ම ගෙවා දමා සුචරිතවත් පුද්ගලයකු විය හැකි බවයි.
“ යථා යථා වේදනීයං අයං පුරිසො කම්ම කරොති.
තථ තථාසස විපාකං පරිසංවේදියති...” යනුවෙන් යම් යම් ආකාරයකට විඳිය යුතු ලෙස යමෙක් කර්ම කරයිද, ඒ අනුව එහි විපාකය විඳින බව පැහැදිලි කොට සිටීමෙන් මානවයා සතු සුවිශේෂී හැකියාවන්ට නිසි වටිනාකමක් ලබා දී ඇත.
තවද පාප කර්ම කරන ලද පුද්ගලයන් සමහර විට නිරයට යා හැකි වුවද සමහරක් පාපකාරී පුද්ගලයන් එසේ එක එල්‍ලේම නිරයට නොයන බව සම්බුද්ධ දේශනාවයි.
“ භාවිත කායො, භාවිත සීලො, භාවිත චිත්තො, භාවිත පඤ්ඤාෙ...” යන යෙදුම් මගින් සංවර වූ කයත් සීලයත්, සිතත්, නුවණත් මනාකොට භාවිතා කිරීමෙන් හෙවත් දියුණු කිරීමෙන් මෙලොවදීම තම අකුසල් ගෙවා දමා සුගතිගාමී වන බව සම්බුදු දහම තුළ මැනවින් පහදා දී ඇත. අංගුලිමාල වැනි දරුණු මිනීමරුවන් සේම, වෙනත් සමාජ විෂමාචාරයන්හි නියැළි බොහෝ දෙනා පසුව තමන්ගේ වැරදි නිවැරදි කරගෙන ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් පාපකාරී පුද්ගලයෙකුට වුවද බ්‍රහ්මචරිය වාසයකට, සංසාර විමුක්තියට ඉඩ හසර සලසා ගත හැකි බවට නිදසුන් සපයා දී ඇත.
එබැවින් කළ නොකළ වැරදි අඩුපාඩු පිළිබඳ සිත සිතා ඉන්නවාට වඩා අද අදම ධර්ම මාර්ගයට යොමුව, චෙතො විමුක්තිය උපදවා සසර දුක් කෙළවර කරන්නට වහ වහා පෙළ ගැසිය යුතුය.
ඒ සඳහා ඔබ සැමට “සම්මා වායාමය” ඇති වේවා. සැමට සම්මා සම්බුදු සරණයි.
ජර්මනියේ මයින්ස් සරසවියේ රත්ම‍ලේ පුඤ්ඤරතන හිමි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය