Powered by Blogger.

“ලියාරා” නායක ප්‍රසන්න ගුණසේකර
බක්මහ ගෙවී ගියත් කොහාගේ හඬ තවමත් ඇසේ. එසේම සිංහල අලුත් අවුරුදු උලෙළ නිමිත්තෙන් පැවැත්වෙන සංගීත ප්‍රසංග ද තවමත් අප රටේ නොයෙක් පළාත් වල පැවැත්වේ. ඒ අතර අපේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත ගායන ශිල්පියකු වන සේනානායක වේරලියද්ද සහ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන “ලියාරා” අතරේ නොහොඳ නෝක්කාඩු වීමක් ද “ලියාරා” කණ්ඩායමට මැර තර්ජන එල්ල වෙමින් ඇති බවට රාවයක් ද පැතිර යමින් පවතී.
එසේම “ලියාරා” කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියකු ලෙස කටයුතු කරන “දුලාන් වේරලියද්ද” ගේ නිවෙසට පැමිණි මැර පිරිසක් “වේරලියද්ද” නම භාවිත කරනවාට එරෙහිව දුලාන්ගේ පියාට සහ මවට තර්ජනය කර පියාට පහරදීම නිසා රෝහල් ගත කිරීමට ද සිදු වී ඇති අතර මේ පිළිබඳව හොරොව්පතාන පොලීසියේ පැමිණිල්ලක් ද සටහන් කෙරී ඇති බව ද “රසඳුන” ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී තිබිය දී “ලියාරා” නායක ප්‍රසන්න ගුණසේකර ඒ පිළිබඳ කතාබහ කිරීමට අප සමඟ එක් වූවේ ය. ප්‍රසන්න සමඟ අප කළ කතාබහ මෙසේ ය.
“අපි ‘ලියාරා’ සංගීත කණ්ඩායම පාරවල් වල දුක් විඳලා, සමහර විට කන්න බොන්න පවා නැතුව වද වේදනා උහුලලා නමක් හදා ගත්ත කණ්ඩායමක්. සේනානායක වේරලියද්ද කියන්නේ අද මේ ක්ෂේත්‍රයේ මහා පුරුෂයෙක්. ඔහුම පවසන පරිදි ඔහු රජෙක්. ඒත් දුක් පීඩා මැදින් අපේ ‘ලියාරා’ කණ්ඩායමේ සියලු සාමාජිකයින් එකාවන්ව යන මේ ගමනේදී අද මේ වන විට ඔහු අපට තර්ජන හා මැර ප්‍රහාර එල්ල කරන්න තරම් සතුරු වෙලා. මීට අවුරුදු තුනකට පමණ පෙර සිට මේ සතුරුකම පැවතුණත් පසුගිය අප්‍රේල් 15 වැනිදා ඇඹිලිපිටියේ දී ජාතික රූපවාහිනිය මඟින් කරපු සිංහල අලුත් අවුරුදු ගීත ප්‍රසංගයේ දී තමයි මෙය මුළු රටටම හෙළිදරව් වෙන අයුරු ඔහු හැසිරුණේ.”
එදා ඇඹිලිපිටියේ දී සිද්ධ වුණේ කුමක් ද...?
“මුලින්ම එම ප්‍රසංගයට ගී ගයන්න සේනානායක වේරලියද්ද ආවාම මමමයි ඔහුට අලුත් අවුරුද්දට සුබ පතලා make up room එකට ඔහු සමඟ අතින් අල්ලගෙන ගිහින් ආවේ. පසුව ගී ගයන්න සූදානම් වී ඔහු අපේ කණ්ඩායමේ දුලාන් වේරලියද්ද සාමාජිකයාව වේදිකාවෙන් බස්සන්න කිව්වා. අපේ දුලාන්, සේනානායක වේරලියද්ද මහතාගේ ඥාති සහෝදරියකගේ පුතෙක්. (“දුලාන් මව් පාර්ශ්වයෙන් වේරලියද්ද නම භාවිත කරන්නේ. මම ඔහුගේ උප්පැන්නය දැකලා තියෙනවා. ඕනෑ නම් එහි පිටපතක් රසඳුනටත් දෙන්නම්” යයි සහතික කරමින්...) ‘ලියාරා’ කණ්ඩායමේ නායකයා ලෙස වරදක් නොමැතිව නිකරුණේ කාගේවත් ඕනෑ කමකට මගේ සාමාජිකයෙකුව වේදිකාවෙන් බස්සවා හෑල්ලුවක් කිරීමට මං එකඟ වෙන්නේ නැහැ. එම නිසා මම දුලාන්ව වේදිකාවෙන් බැස්සුවේ නැහැ.”
ඉන්පසු සේනානායක වේරලියද්ද වේදිකාවට නැගී ගීත ගායනා කළා ද...?
“නැහැ, නැහැ. ඇඟිල්ල දික් කරලා - ‘ප්‍රසන්න , අරයාව (දුලාන් ව) බස්සන්න. එයා ඉන්නවා නම් මම සින්දු කියන්නේ නැහැ’ කියලා තර්ජනාත්මකව පැවසුවා. ඒත් මට මගේ සාමාජිකයාගෙන් සිදු වූ වරදක් නොමැතිව ඔහු වේදිකාවෙන් ඉවත් කරන්න බැහැ. මම මගේ ස්ථාවරය වෙනස් කළේ නැහැ. සේනානායක වේරලියද්දත් ඔහුගේ මතයේම උන්නා දුලාන්ව වේදිකාවෙන් බස්සන්නේ නැත්නම් එදා ප්‍රසංගයේ ගී ගයන්නේ නැහැ කියලා.”
ප්‍රසංගය සංවිධානය කළ ජාතික රූපවාහිනියේ නිලධාරීන් මෙම කාරණයේ දී මැදිහත් වුණේ නැද්ද...?
ඔවුනුත් මෙයට මැදිහත් වුණා. අවසානයේ දී ඔවුනුත් තේරුම් ගත්තා හරි වැරැද්ද. දුලාන් ඔහුගේ නමට ‘වේරලියද්ද’ නම භාවිත කිරීම වැරැද්දක් ලෙසයි සේනානායක වේරලියද්ද හිතන්නේ. එය හරිම විහිළුවක්. පුද්ගලයකුගේ නමක් තවත් පුද්ගලයකුට තිබීම සහ එය භාවිත කිරීම වරදක් වෙන්නේ කොහොම ද? මේ සිද්ධිය වෙද්දී එතැන උන්නු සියලුම දෙනා සේනානායක වේරලියද්ද කළ අයුතු යෝජනාව හා ඉල්ලීම ගැනත් ඔහුගේ තර්ජනාත්මක ස්වභාවය ගැනත් කලකිරීමෙන් අදහස් ප්‍රකාශ කරන්න වුණාම ගීත ගයන්නේ නැතුවම ඔහු ආපහු හැරී ගියා.”
මීට පෙරදීත් සේනානායක වේරලියද්ද මේ අයුරින් ඔබේ සාමාජිකයාට (දුලාන් ට) විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා ද...?
“ඔව්. ‘ප්‍රසන්න ඔයා මූව (දුලාන් ව) ලියාරා එකේ තියාගෙන ඉන්න හින්දානේ මූ දඟලන්නේ. මූව තියා ගන්නවා නම් මං ඔයාලාත් (ලියාරාත්) එක්ක සින්දු කියන් නෑ’ කියා සේනානායක වේරලියද්ද මට පැහැදිලිව පවසා තියෙනවා. මට මතක හැටියට අවුරුදු තුනකට ඉස්සෙල්ලා කටුගස්තොට දී පැවැති අපි සංගීතවත් කරපු මහපොළ ගීත ප්‍රසංගයක දී තමයි ඔහු දුලාන්ව බැස්සුවේ නැහැ කියලා ගීත නොගයා ආපහු ගිය පළමු වතාවට (ලියාරා) අපි මුහුණ දුන්නේ. අපි තුන් හිතකින් වත් හිතුවේ නැහැ මෙතරම් ප්‍රවීණ කලාකරුවෙක් තමන්ගේම ඥාතියකුත් වෙන නැගී එන දක්ෂතාව තියෙන අහිංසක තරුණ ශිල්පියකුට වරදක් නැතුව හිරිහැර කරයි කියා. දැන් මාසෙකට පමණ ඉස්සෙල්ලා දුලාන්ගේ ගෙදරට ආව මැර කණ්ඩායමක් දුලාන්ට ගහන්න ඇවිත් ඔහුගේ තාත්තාට ගහලා රෝගීව රෝහලෙත් උන්නා. එදා ආපු මැරයින් දුලාන්ගේ තාත්තාටයි අම්මාටයි තර්ජන කරලා - ‘වේරලියද්ද නමින් එන්න එපා’ කියලා. ඒ සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසියේ පැමිණිල්ලකුත් කර තිබෙනවා.”
ඔබේ ‘ලියාරා’ සාමාජික දුලාන් සේනානායක වේරලියද්ද ගයන ගීත ගායනා කරමින් ඔහුගේ පුතෙකු ලෙස වැරැදි අවබෝධයක් ගීතලෝලීන්ට ලබා දීම පිළිබඳ සිය විරෝධය පළ කිරීමට වේරලියද්ද පියවර ගනිමින් සිටින බව ඔහු පවසා තිබෙනවා නේද...?
“ඒ සඳහා ගන්නා ක්‍රියා මාර්ගයක් ලෙස අපි ‘ලියාරා’ සංගීතවත් කරන ගීත ප්‍රසංග වල ගී නොගයා ඔහු ආපසු හැරී ගියාට නම් අපිට කමක් නැහැ. ඒත් අපිට තර්ජනය කරමින් අපේ සාමාජිකත්වයට (දුලාන් ට) සහ ඒ පවුලේ දෙමවුපියන්ට හිරිහැර කරමින් කරගෙන යන වැඩ පිළිවෙළ මානුෂික නැහැනේ. මට සහතික වශයෙන් පවසන්න පුළුවන් අපේ ‘ලියාරා දුලාන්’ කවදාවත්ම තමන් සේනානායක වේරලියද්දගේ පුතෙකු කියා හඳුන්වාගෙන නැහැ. එමෙන්ම සේනානායක වේරලියද්දගෙන් විරුද්ධත්වය ප්‍රකාශ වීමත් සමඟම අපි ඔහුගේ ගීත ගායනා කිරීම නවතා දමා දුලාන්ගේම කියා ‘වීනස් දෙව්දුව’ සහ ‘ඔබ මැව්ව රන්පාට’ වැනි ගීත නිර්මාණය කළා. එම ගීත දැන් ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙනවා. අපිට මොන තර්ජන හිරිහැර කළත් විනයානුකූලව අපේ සාමාජිකයින් කටයුතු කර තිබෙනවා. එසේම කණ්ඩායමක් වශයෙන් අපි එකමුතුව මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.”
ඉදිරියේ දී සේනානායක වේරලියද්දට ප්‍රසංග වේදිකාවේ ගී ගායනයේ දී ‘ලියාරා’ සංගීතය නොසපයන්න තීරණය කළ බවට පැතිරෙන ආරංචිය ඇත්තක් ද...?
“අපි ‘ලියාරා’ මේ තර්ජන හා හිරිහැර අවුරුදු දෙක තුනක්ම විඳ දරාගෙන ඉඳලා දැන් ඉතින් තවදුරටත් ඉවසන්න අසීරු හින්දාමයි මේ තීරණය ගත්තේ. පසුගිය 19 වැනිදා කැකිරාවේ සේනපුර දී සහ 20 වැනිදා ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැති ප්‍රසංගවල දී අපි ‘ලියාරා’ සේනානායක වේරලියද්දට සංගීතය සපයන්නේ නැති ප්‍රතිපත්තිය ගජබා රෙජිමේන්තුවට මෙන්ම උතුරු මැද පළාත් මහ ඇමැතිතුමාට දැනුම් දුන්නා. ඒ අනුව මින්පසු ‘ලියාරා’ අපි සේනානායක වේරලියද්දට ගී ගායනය සඳහා කිසිම ගීත ප්‍රසංගයක දී සංගීතය සපයන්නේ නැහැ. ‘ලියාරා’ අපිත් වැඩක් කරගෙන ඉදිරියට එන band එකක්. අපි ප්‍රවීණයින්ට ගරු කරනවා. ඒත් නිකරුණේ වරදක් නොමැතිව අහිංසක තවත් කලාකරුවකුට තර්ජන සහ හිරිහැර කරන ප්‍රවීණයින්ට ප්‍රසංග වේදිකාවක වුවද සංගීතයෙන් දායක වී අපේ මනුස්සකම්, ප්‍රතිපත්ති හෑල්ලු කරගන්න අපි සූදානම් නැහැ. එවැනි කලාකරුවන් කවුරුන් වුව ද ඔවුන්ට විරෝධය පළ කිරීමක් වශයෙන් ‘ලියාරා’ අපි දිගටම මේ ප්‍රතිපත්තිය රකිනවා.”

ප්‍රේමය ෆැන්ටසිය හා මුසු කළ

පසුගිය අප්‍රේල් 4 වන දා සිට තිරගත වන අලුත්ම කොලිවුඩ් චිත්‍රපටය ‘මාන් කරාටේ’ මේ වන විට ආදායම් වාර්තා පිහිටුවමින් ප්‍රදර්ශනය වෙමින් තිබේ.
එය තිරු කුමාරන් ගේ අධ්‍යක්ෂණයක් වන අතර එහි ශිව කාර්තිකේසන්, හංසිකා මොට්වානි, වම්සි ක්‍රිෂ්ණ, සයාජි ෂින්දේ, රයිටර් ෂාජි, සතිෂ්, හා සූරි වැනි නළු නිළියෝ රඟපාති. විචාරකයන් ‘මාන් කරාටේ’ හඳුන්වන්නේ ප්‍රේමය හා ෆැන්ටසිය මනාව මුසු කළ සිනමා පටයක් ලෙසිනි.
චෙන්නායි හි පරිගණක සමාගමක සේවය කරන සැන්ඩි, ජෝ, ගෝකුල්, වෛෂ්නාවි හා නිතිකා චන්ද්‍රගිරි වනාන්තරයට යන්නේ විනෝද සංචාරයකටය. එහිදී ඔවුනට සිධාර් නමැත්තකු මුණ ගැසෙයි.
හෙතෙම පිරිසට පවසන්නේ ඔවුන් කරන ඕනෑම ඉල්ලීමක් ඉටුකර දීමට තමාට පුළුවන් කියායි. පිරිස සිධාර්ගේ බලය පිළිබඳ සැක කරති. ඔවුන් පවසන්නේ ‘අයුද් පූජා’ දිනයට පසු දින ‘ඩේලි තන්ති’ නමැති පුවත්පතේ පිටපතක් තමන්ට මවා දෙන්නට කියාය.
තමිල්නාඩුවේ නිවාඩු දිනයක් වන ‘අයුද් පූජා’ දිනට පසු දින ‘ඩේලි තන්ති’ පුවත්පත පිට නොවන බව ඔවුහු දැන සිටිති. ඔවුන් විමතියට පත්වන්නේ සිධාර් එදිනට නිකුත් වන පුවත්පත ඔවුනට ලබා දෙන හෙයිනි. එම දිනයේ පුවත්පතක් නිකුත් නොවෙතත් නිකුත් වනවා නම් අඩංගු වන සියලුම පුවත් තමා ඔවුනට ලබා දුන් පුවත්පත් පිටපතේ අඩංගු බව සිධාර් පවසයි.
තරුණ පිරිස වහා පුවත්පත කියවද්දී එහි එක් පුවතකින් කියැවෙන්නේ ඔවුන් සේවය කරන පරිගණක සමාගම පුවත්පතේ සඳහන් දිනට පසු දින වසා දැමෙන බවය. පුවත්පතේ ඇති සියලු පුවත් නිවැරැදි යැයි සිතා ඔවුහු ඉදිරියේ දී තම රැකියා අහිමි වන හෙයින් උක්ත පුවත් ඇසුරෙන් වාසනාව සෙවීමට තීරණය කරති.
තව දුරටත් පුවත්පත කියවන විට දකින්නේ පීටර් නමැත්තකු බොක්සිං තරගාවලියක් ජයගෙන ඉන් ලැබෙන ත්‍යාග මුදලින් එක් අයකුට කෝටි දෙක බැගින් තමන් පස් දෙනා අතර බෙදා දුන් බව දැක්වෙන පුවතකි.
ඔවුහු වහා රෝසපුරම් හි පීටර් නමැත්තා සොයා යති. ඔවුන් වටහා ගන්නේ පීටර් බොක්සිං ක්‍රීඩකයකු නොවන බවය.
එසේ වුව පීටර්ගේ පෙම්වතිය යෂිනි ක්‍රීඩාවට ඇලුම් කරන, තම පෙම්වතා ක්‍රීඩාවෙන් නමක් දිනා ගන්නවාට කැමැති යුවතියකි.
සිධාර් මැවූ පුවත්පතේ සඳහන් වූ පුවත් සියල්ල අසත්‍ය ඒවා ද? යෂිනි පීටර් ව බොක්සිං ක්‍රීඩාවට යොමු කරවා බොක්සිං තරගාවලිය ජය ගන්නට පීටර් මෙහෙයවනු ඇත් ද? අවසානයේ තරුණ පිරිස කෝටිපතියන් වනු ඇත් ද?
ගීත හයක් ද ඇතුළත් වන ‘මාන් කරාටේ’ දෙමළ චිත්‍රපටය ත්‍රාසය හා කුතුහලය මෙන්ම ප්‍රේමයේ සුන්දරත්වය ද ප්‍රේක්ෂකයන් වෙත දනවන දෙමළ චිත්‍රපටයකි.

දිගු කාලීනව මතකයේ රැඳේ නම්  ඒක තමයි මගේ සාර්ථකත්වය

අනුපමා ගුණසේකර
කඳුළු තමයි මේ හිනැහෙන්නේ...
ඔබම තමයි ඒ ගැන දන්නේ...
මේ දිනවල අපට නිතර දෙවෙලේ අහන්න ලැබෙන මේ ගීතයේ අයිතිකාරිය තමයි අනුපමා ගුණසේකර. කඳුළ උරුම වුණු පෙම්වතියක් වුණේ ඇයි දැයි අහන ගමන්ම ඇගේ අලුත් තොරතුරු කතා බහ කරන්නත් අප අමතක කළේ නැහැ.
සුපිරි මාවතට පිවිස වසර ගණනාවකට පසුයි ඔබේ කුලුඳුල් නිර්මාණය එළි දක්වන්නේ?
2006 මම ෆීල්ඩ් එකට ආපු කාලෙමයි 'ආදර ගීයේ නාදෙට මල් පිපිලා ' කියන ගීතය එළි දක්වන්නේ. ඒ කාලයේ මේ ගීතය උපරිමව ජනප්‍රිය වුණා කියල හිතනවා.
නමුත් ඔබව හඳුනා ගන්නේ 'පා රම් පම් පෝ' ගීතය ඔස්සේ කිව්වොත්?
ඉතාමත් නිහතමානිව එය මට පිළිගන්න වෙනවා. වසර ගණනාවකට පසුව අනුපමා ගුණසේකර දැවැන්ත ප්‍රතිරූපයක් එක්ක නැවත කරළියට එන්නෙ මේ ගීතය සහ වීඩියෝව නිසයි.
වසර ගණනක් නිහඬ වීමට විශේෂිත වූ හේතුවක් තිබුණද?
ඒ කාලය මම විශේෂවේදී උපාධිය හදාරන්න යොදා ගත්තා. ඒ ඔස්සේ මට ඕනෑ වුණේ උපතින්ම හිමිවූ මේ පින්වත් කටහඬ තවත් ඔපදමා ගන්නයි. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මගේ අරමුණට කදීම තෝතැන්නක් වුණා. ඉතින් ඒ කාලය මම උපරිම ඉගෙනීමට යොමු කළ නිසා සාර්ථක පල නෙළා ගන්නටත් හැකියාව ලැබුණා.
'පා රම් පම් පෝ' ගීතයට අරාබි ජන ගීතයක් පසුබිම් වුණා කියන්නේ ඇත්තක්ද?
මෙය හරි අපුරු සිදුවීමක්. එක්තරා කාලයකදී පිට පිට වසර දෙකක් ජාත්‍යන්තර ජන ගී ප්‍රසංගයකට ආරාධිතයෙක් ලෙස සහභාගි වෙන්න මේ අරාබි ජන ගීය සිංහලට පරිවර්තනය කරලා සිංහල රසවින්දනයට එකතු කිරිම ලොකු අභියෝගයක් වුණා. මෙය පර්යේෂණාත්මක ගීතයක් කිව්වොත් නිවැරැදියි. මේ පර්යේෂණාත්මක ගීතයට සංගීතයෙන් සහ පද රචනයෙන් තිළිණ සහ රචිතාත් මට ලොකු සහයෝගයක් දුන්නා. මේක ටීම් වර්ක් එකක් විදිහටයි නිර්මාණය වුණේ. හැමෝගෙම වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට අපි කරපු පර්යේෂණය සාර්ථක වුණා.
මේ දින වල ඔබ කඳුළු සලමින් ඉන්නවා කියලා ආරංචියක් ලැබුණා?
ඔය අහන්නේ මගේ 'කඳුළු තමයි' ගීතය ගැන නේද?ඇත්තටම මෙහි තේමාව වුණේ කෝමා තත්ත්වයේ සිටින තම සැමියාට ජීවිතය දෙන්න වෙහෙස මහන්සි වෙන බිරිඳක් ගැනයි. ගැහැනු චපලයි කියල හිතන් ඉන්න අද වගේ කාලේක මට ඕනෑ වුණේ මෙවැනි බිරින්ඳෑවරූ ඕනෑ තරම් අපේ රටේ ඉන්නවා කියලා මතක් කරලා දෙන්නයි. මොන චෝදනා ආවත් ‍මේ ගීතයෙන් කතා කෙරෙන්නේ ලංකාවේ කාන්තාව ගැනම තමයි. කාව්‍යමය රසයක් තිබෙන පදවැල් පෙළක් ගැළපීමෙන් නිර්මාණය වූ ගීතයේ වීඩියෝවත් අතිශයින්ම ජනප්‍රිය වෙලා තියෙනවා.
ඒත් මෙතරම් පතිවත ගැන කතා කළ අනුපමා හදිසියේම අනියම් පෙමකට පැටලුණේ ඇයි?
අනියම් වූ ප්‍රේමයක් සුන්දරව දකින්න ගත් උත්සහයක් තමයි මගේ අලුත්ම ගීයෙන් කියවෙන්නේ. හැබැයි මේ අත්දැකීම මගේ මයිල් ගහකටවත් කිසිම සම්බන්ධයක් නැහැ. මෙය නාරද විජේසූරිය මහතාගේ ආරාධනය මත කළ ගීතයක්. ඇත්තටම මටත් එය අමුත්තක්. නමුත් මම පෞද්ගලිකවම මේ ගීතයට ගොඩාක් ආදරෙයි. කවුරු කොහොම කිව්වත් වර්තමානයේ අපිට වැඩිපුරම අහන්න දකින්න ලැබෙන්නේ අසාර්ථක පවුල් ජීවිත සහ දික්කසාද වීම්. මේකට හේතු නම් හොයාගන්න බැරි වෙයි. නමුත් අපි දැනගත්තත් නොදැක්කා නොදන්නා සේ ඉන්න දෙයක් තමයි මේ අඟින් කොනින් හොරෙන් හොරෙන් එහෙන් මෙහෙන් කෙරෙන ආදර බැඳිම්. ආදරයට වයස් භේදයක් නැහැනේ. ඉතින් මේ අනියම් කියන වචනෙට මම විරුද්ධයි. මෙය අනියම් ප්‍රේමයක් ගැන කියවීමක් නෙමෙයි. මේ ගීතය මම නිර්වචනය කරන්නේ වර්තමාන සමාජයේ දක්නට ලැබෙන බහුලතම ප්‍රේමය පිළිබඳ වූ සොඳුරු අත්දැකීම යනුවෙනුයි. ඒ නිසා ඔබ ඔය කියන චෝදනාවෙන් මම මිදෙනවා.
සුපිරි තරු මාවත නොතිබුණා නම් අනුපමා නැහැයි කිව්වොත්?
මාව ලාංකේය ජනතාව හඳුනා ගන්නේ ඒ ඔස්සේ තමයි. නමුත් අනුපමා කියන ගායන ශිල්පිනිය ජනතාව අතරට යන්නේ ඇගේ ගීත නිසයි.
සුපිරි තරු මාවත ගැන ඔබ ඉන්නේ කලකිරීමෙන් වගෙයි ?
ඒ පිළිබඳ මට තිබෙන්නේ මධ්‍යස්ථභාවයක්. රියැලිටි වැඩසටහන් මේ වෙද්දී ලංකාවේ මුල් බැස ගත් තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් අපේ කාලේ වගේ දැන් පවතින තරගාවලි ගැන සියයට සියයක් සතුටු වීමට බැරි වුණත් වසරින් වසර ගලාගෙන යන මේ රියැලිටි ආගමනයේ ස්වභාවය මධ්‍යස්ථභාවයකින් යුක්තව දකින්නයි මා උත්සහ කරන්නේ.
ඔබේ සමකාලීනයන් හා ගත් විට ඔබ තවමත් ඉබි ගමනක යන ගායන ශිල්පිනියක්?
මම ඕකට සරල උදාහරණයක් දෙන්නම්කො. පුංචි කාලයේ අපි අහපු කතාවක් තමයි ඉබ්බගෙයි හාවගෙයි කතාව. ඉතින් මමත් ඒ ඉබ්බා වගේ ඉබි ගමනක ගිහින් අමරණීය ගායන ශිල්පිනියක් වෙනවා. මගේ නිර්මාණ හෙමින් වුණත් දිගු කාලීනව මතකයේ රැඳෙනවා නම් ඒ තමයි මගේ සාර්ථකත්වය. හෙමින් යන ගමන කලා ශිල්පිනියකට හරිම උචිතයි.
අනුපමා විවිධ සංගීත ශෛලීන් හදාරන්න කැමැති කෙනෙක් කියන්නේ ඇත්තද?
ඔව් අනිවාර්යයෙන්ම. කලා ශිල්පියෙක් ඉගෙනීම තුළින් තව තවත් පරිපුර්ණ වෙනවා. ඒ සිද්ධාන්තය කලා ශිල්පිනියක් වන මටත් ගොඩක් වටිනවා. අපි හැමදාම අලුත් වෙන්න ඕන. අලුත් දේවල් කරන්න ඕන. අලුත් සම්ප්‍රදයයන් ඉගෙන ගන්න ඕන. මේ වෙද්දී උත්තර භාරතීය සංගීතය පිළිබඳ යම්තාක් දුරට ඉගෙන ගන්නවා. මෙතෙක් මම ගැඹුරින්ම අධ්‍යනය කළේ දක්ෂිණ භාරතීය සංගීතයයි. ඉදිරියේදී බටහිර සංගීතය පිළිබඳත් ටිකක් ගැඹුරින් හදාරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.
ප්‍රසංග වලට සහභාගී වෙන්නේ තෝරා බේරා ගෙනද?
ඔය චෝදනාව නම් මටත් ආරංචි වුණා. කවුරු කොහොම චෝදනාවක් කළත් කවුරු හරි ආරාධනාවක් කළොත් මම ඒ ප්‍රසංගයට සහභාගී වෙනවා. මම ඔය උස් පහත් ජාති කුලමල භේද බලන්නේ නැහැ.
මේ දිනවල ඔබ ලහි ලහියේ තවත් වැඩකට අත ගසා තිබෙන බව ආරංච්යි?
මේ දිනවල බැති ගීයක් සහ එහි වීඩියෝ එකකට සුදානම් වෙනවා. මේ අපුරු ගීතය නිර්මාණය වුණේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය උප කුලපති ජයසේන කෝට්ටේගොඩ විසින්. සංගීතවත් කළේ බිබිලියාදෙණිය මහානාම ස්වාමින් වහන්සේ. අපි මෙතෙක් අසා දැක තිබෙන බැති ගීයෙන් වෙනස්ම වූ අර්ථයක් තමයි මින් කියවෙන්නේ. කාන්තාවකට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ නමස්කාර කර ගන්න දින කිහිපයක් අවසර ලැබෙන්නේ නැහැ. ඇය මේ වේදනාව දරා ගන්නා විදිහ හරි අපුරුවට මේ ගීතයෙන් කියැවෙනවා.

සුරභා සංගීත කණ්ඩායම යළි ප්‍රසංග වේදිකාවට

මින් වසර ගණනාවකට පෙර ගම් දනවු සිසාරා ‘සුරභා’ නමින් ප්‍රසංග වේදිකාවේ සංගීතයෙන් පෙරළි කළ ඔවුහු පසු කලකදී වෙනත් සංගීත කණ්ඩායම් සමඟ එක්වී එම සංගීත කණ්ඩායම් නඟාසිටුවීම සඳහා උර දුන්නෝය . සාමන්ත ලක්ෂ්මන් ප්‍රමුඛ ‘සුරභා’ සංගීත කණ්ඩාය‍මේ මුල් සාමාජිකයන් දෙපළක් වන සාමන්ත සහ චමින්ද ගුණරත්න පසුගිය දවසක අපට මුණ ගැසුණේ ‘සුරභා’ නැවත ආගමනය ගැන දැනුම් දෙන්නටයි.
'පසුගිය කාල වකවානුවේදී ඇත්තටම අපි වෙනත් සංගීත කණ්ඩායමක් එක්ක එකතු වෙලයි වැඩ කළේ. එනිසා අපේ ‘සුරභා’ සංගීත කණ්ඩායම යම් මට්ටමකට අක්‍රිය වුණා. නමුත් දැන් අප කණ්ඩායමේ මුල් සාමාජිකයන් 9 දෙනාම එකතු වෙලා ‘සුරභා’ සංගීත කණ්ඩායමක් ලෙස නැවත ප්‍රසංග වේදිකාවට වගේම සංගීත ක්ෂේත්‍රයේ විවිධ ඉසව් වලින් ප්‍රවිෂ්ට වෙලා තියෙනවා.
සංගීතයට ඇති ඇල්ම නිසාවෙන්ම සංගීතයට ළැදි තරුණයන් පිරිසකගේ එකතුවෙන් මින් වසර 15 උඩදී ආරම්භ වූ මෙම සංගීත කණ්ඩායමෙන් සහ ඔවුන් පවත්වා ගෙන යන ‘සුරභා’ සංගීත පාසලෙන් බිහිවුණු ජනප්‍රිය තරු රාශියක්ම ක්ෂේත්‍රයේ අද සිටින බව ඔවුන් පවසන්නේ ඉතා නිහතමානිවයි. 'සංගීතයට තිබුණු ළැදියාව නිසා අපි කණ්ඩායමක් පටන් ගත්තට ඒ වෙද්දිත් සාමාජිකයන් කිහිප දෙනෙකුම රජයේ රැකියා වල නිරත වෙමිනුයි සිටියේ. නමුත් වෘත්තිය මට්ටමින් මේ කණ්ඩායමට බැඳුණු කිහිප දෙනෙකුත් හිටියා. රැකියාවත් සමග අපි කාර්ය බහුල වෙද්දී ඊට කැපවෙන්න තිබෙන කාලය අඩු වෙද්දි එය වෘත්තිය මට්ටමේ සිටි සාමාජිකයන්ට එය යම් අසාධාරණක් වෙන්න තිබුණා. ඒ නිසා ඊට විසඳුමක් ලෙස ඔවුන්ගේ දක්ෂතාව නංවාගැනීමට වෙනත් සංගීත කණ්ඩායම්වලින් ලැබෙන ආරාධනා අනුව ඔවුන් සමඟ එක්ව වැඩ කරන්නටත් අපි අවසර දීලා තිබුණා.'
චන්දික පින්ටෝ, අමිල වැනි අය එසේ තම දක්ෂතාව ඔප් නංවාගෙන නැවත ‘සුරභා’ සංගීත කණ්ඩායම සමඟ එක්වූ ජනප්‍රිය ශිල්පීන් යුවළකි. ඉතා නිහඩ ගමනක යෙදුණද මෙහි සියලුම සාමාජිකයන් විවිධ දක්්ෂතා රැසකින් පරිපූර්ණ පිරිසකි. සියලුම සාමාජිකයන් හට ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමේ ඔවුන් සතු සුවිශේෂී හැකියාව ‘සුරභා’ සංගීත කණ්ඩායමේ තිබෙන විශේෂත්වය සහ අනන්‍යතාව ලෙස කියා පායි.
මේ වන විට ගීත 15ක් පමණ නිර්මාණය වී ඇති අතර ඉන් ‘ මට ආදරේ කියලා ‘ ගීතයට ප්‍රසංග වේදිකාවේදී ‍බොහෝ ප්‍රතිචාර ලැබෙමින් පවති.
ආදර ගීත, මව් ගුණ සහ දේශාභිමානි ගීත වැනි ගීත අලුත්ම නිර්මාණ කිහිපයක්ම නුදුරේදීම මාධ්‍ය ඔස්සේ තම රසික ජනතාව උදෙසා තිළිණ කරන්නට ‘සුරභා’ කණ්ඩායම මේ දිනවල ලහි ලහියේ සූදානම් වන බවත් දැනුම් දෙන්නට අමතක නොකළහ.

රංගනයට - ගායනයට දස්කම් පෙන්වන යොවුන් කලාකරුවෙක් චමින්ද ලාල්

චමින්ද ලාල් දක්ෂතා කීපයක්ම සතු යොවුන් කලාකරුවෙකි. විටෙක ඔහු රංගන ශිල්පියෙකි. තවත් විටෙක ඔහු ගායකයෙකි. ගීත රචකයෙකි. එසේම තවත් විටක ඔහු ගී තනු නිර්මාණකරුවෙකි. මාතර කඹුරුපිටියේ උපන් චමින්ද ලාල් කුඩා කල පටන් කලාවට ළැදිව කටයුතු කළ අයෙකි. පාසල් වේදිකාව ඔහුට නුපුරුදු තැනක් නොවීය. රංගන ශිල්පියකු ලෙස ඉදිරියට ඒම චමින්ද තුළ කුඩා කල පටන් පැවති අරමුණක් විය. “කෝපි කඩේ” කතා මාලාවේ එක් කොටසක සුළු චරිතයකට පෙනී සිටීමෙන් තම රංගන දිවියේ ආරම්භය සටහන් කළ චමින්ද ඉන්පසුව ‘කෝපි කඩේ’ කොටස් කීපයකටම රංගනයෙන් දායක විය.
මේ වන විට ‘පාවෙලා’, ‘තීර්ත තරණය’, ‘සිරීගේ ඉරණම’ වැනි ටෙලිනාට්‍යවලට තම රංගන දායකත්වය ලබාදී ඇති චමින්ද රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කීපයකටම රංගනයෙන් දායක වී ඇත. ඊට අමතරව ‘සිද්ධාර්ථ ගෞතම’, ‘සිරි දළදාගමනය’, ‘ඇඩ්‍රස් නෑ’ වැනි චිත්‍රපටවල ද චමින්ද ගේ රංගනයන් ඇතුළත්ය.
චමින්ද ලාල් දක්ෂ ගායකයකු ද වේ. මීට කලකට පෙර එළිදක්වන ලද ගීත 16ක් ඇතුළත් ‘පාට පිරුණු දේදුන්නක්’ සංයුක්ත තැටිය, චමින්දගේ ගායන හැකියාව මනාව ඉස්මතු කරන ගීත එකතුවකි. ජයසිරි අමරසේකර, චන්න ජයනාත් වැනි තනු නිර්මාණකරුවන් මෙම ගීත එකතුවට ගී තනු නිර්මාණය කර ඇති අතර චමින්ද ලාල් ලියූ ගීපද වැල්වලට තනු නිර්මාණය කර ඔහු විසින්ම ගායනා කළ ගීත කීපයක් ද “පාට පිරුණු දේදුන්නක්” ගීත එකතුවට ඇතුළත්ය.
මේ වන විට ‘එටිසෙලාට්’ දුරකතන ආයතනයේ රැකියාවේ නියුතුව සිටින චමින්ද ලාල් රංගනයෙන් ඉදිරියට ඒමට දක්වන්නේ බලවත් ආශාවකි. ගායන ශිල්පියකු ලෙස ද තවත් නවතම ගී එකතුවක් ළඟදීම එළිදැක්වීමට අදහස් කරන චමින්ද රංගන ක්ෂේත්‍රය තුළ තමාට මඟපෙන්වූ වසන්ත කුමාරසිරි කලාකරුවාට තම ගෞරවය පුද කර සිටී. අංක 213, පුවක්වත්ත, ඉහළ විටියල, කරගොඩ, උයන්ගොඩ, මාතර චමින්ද ලාල් ගේ ලිපිනයයි.





0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය