Powered by Blogger.

- හැබැයි ඒ දේශපාලනය ‍නෙවෙයි

- චාන්දනී සෙනෙවිරත්න මතෛක් නොකී කතා රැසක්


මීට වසර හතළිහකට පමණ පෙර එක්තරා වෙසක් දිනයක, පන්නිපිටියේ හයිලෙවල් පාරට මුහුණලා පිහිටි වේදිකාවක දහම් පාසල් සිසුන් රඟපෑ වෙසක් නාට්‍යයක් රඟ දැක්වෙමින් තිබුණි. පාරේ යන එන අය මෙන්ම බස්වල, යාන වාහනවල ගමන් ගත් අය ද නැවතී මේ ළමා නාට්‍යය දෙස බලා සිටියෝය.
“තණ්හාය ජායතී සෝකෝ” නම් එම නාට්‍යයේ, අවුරුදු 12ක පමණ ගැහැනු ළමයෙක් ‍පොතේ ගුරාගේ භුමිකාව රඟපෑවාය.
ප්‍රතිභාපූර්ණ සිනමා, වේදිකා හා ටෙලි නාට්‍ය නිළි හේවාකොකාවල චාන්දනී සෙනෙවිරත්නගේ මුල්ම රඟපෑම වූයේ එයයි.
පන්නිපිටියේ ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ ඉගෙන ගත් දරු දැරියන් මේ නාට්‍යය පුරුදු පුහුණු වූයේ දහම් පාසල් නාට්‍ය තරගයකට ඉදිරිපත් කිරීමටය. අනතුරුව එළඹි වෙසක් උත්සවය වෙනුවෙන් එය මෙසේ රඟදැක්වීමට ලැබිමද අලුත් අත්දැකීමක් විය. “මට මේ සිද්ධිය දැනුත් මතක් වෙනකොට පුදුම හිතෙනවා. හයිලෙවල් පාරට මුහුණදාලා ‍පොල් කොටන් උඩ  හදපු වේදිකාවක මම නාට්‍යයේ රඟපාන විට අප අසලින්ම කාර් බස්වලින් ගිය අය පවා ප්‍රතිචාර දැක්වූවා. නමුත් ඇත්තටම නාට්‍යයක් රඟදැක්විය හැකි තැනක් ‍නෙවෙයි එතැන.
“මම ඒ කා‍ලේ ආගමට දහමට ලැදි, දහම් පාස‍ලේ කැපී පෙනෙන භක්තිමත් ශිෂ්‍යාවක්.” චාන්දනී තම ජීවිතයේ ප්‍රථම රංගනය පිළිබඳ මතකය දිග හැරියාය.
චාන්දනීගේ අම්මාගේත්, තාත්තාගේත් ගම් පළාත වූයේ ඇහැලියගොඩය. නමුත් ඇය කුඩා කාලයේ සිටම පදිංචිව සිටියේ පන්නිපිටියේය. එච්.කේ. සෙනෙවිරත්න වූ පියා මිලිටරි ‍පොලීසියේද ලංකා ගමනාගමන මණ්ඩලයේ ද සේවය කොට විශ්‍රාම ගොස් ඇත්තේ ඩි‍පෝ කළමනාකරුවකු
ලෙසය. අම්මාගේ නම ජේ.එන්. ඊරියගමය. ඇය මවක, ගෘහනියක ලෙස තම එකම දියණිය වූ චාන්දනීත් රැකබලා ගෙන ජීවත් වූවාය.
චාන්දනී පෙර පාසල් ගියේ මහරගම ශාන්ත මේරිස් පල්ලියටය. පාසල් ගියේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයටය. “මොන හේතුවක් නිසාද මන්ද තාත්තා මාව වේදිකා නාට්‍යය බලන්න එක්ක ගියා. මට මතකයි “නරි බෑනා” හා “සිංහබාහු” බලන්න ගිය අවස්ථා. චිත්‍රපට බලන්න යන ගමන්වලට අම්මාවත් එක්ක ගියා. අපේ තාත්තාට කලාවට ලොකු ඇල්මක් තිබුණා. ඒ කා‍ලේ තිබුණු ජී.ඩී.එල්. පෙරේරා මහතාගේ “කලා පෙළ” පාඨමාලාවකටත් තාත්තා සහභාගි වුණාලු. ඒ විතරක් ‍නෙවෙයි විනී රන්වල මහතා නිෂ්පාදනය කළ “එදා හරි වැස්ස” නම් නාට්‍යයේ තාත්තා එකල සිටි ප්‍රකට නිළියක වූ අනුලා විජේසූරිය සමග රඟපෑ පින්තූරයක් මා ළඟ තියෙනවා.” චාන්දනී කීවාය.
තාත්තා සමග “සිංහබාහු” බලා ගෙදර ආ පසු කුඩා චාන්දනී තම ඇඟිලිවලට, නිය‍පොතු ලෙස පෙනෙන සේ, කුඩා කඩදාසි ගොටු සවිකර ගෙන සිංහයා ලෙස “ගල්ලෙන බිඳලා” ගීතය වරද්ද වරද්දා රඟපෑ හැටි තාත්තා බලා සිටියේ මහත් ආසාවකිනි. ඒත් තාත්තා කුඩා දියණිය දැඩි විනයක් ශික්ෂණයක් ඇතිව ඇති දැඩි කිරීමට උත්සාහ ගත්තේ ඇය කුඩා කල සිටම නාහෙට නාහන දඩබ්බර දැරියක වූ නිසාය. තාත්තා මිලිටරි ‍පොලීසියේ සේවය කළ නිසා දෝ ඇයට මේ දඩබ්බර වැඩවලට ගුටිකෑමට සිදුවිය.
“මගේ තාත්තා මට සැරයි. මම ඒ කා‍ලේ ගත කළේ අයා‍ලේ යන ජීවිතයක්. අපේ ගෙදර කෙල්ලටයි, කොල්ලටයි හිටියේ මම විතරනෙ. දැන් ළමයින්ට නැති නීති රීති ගොඩක් තාත්තා මට දැම්මා. මට දැන් හිතෙනවා තාත්තා වැරදි ක්‍රමයට තමයි මාව පාලනය කළේ කියලා. ඒ නිසා මම ඒවට විරෝධතාව දක්වමින් තමයි ජීවත් වුණේ. ‍පොඩ්ඩක් ඇත්නම් තාත්තා මට ගැහැව්වා. අම්මනේ මගේ වැරදි දකින්නේ. ඒවා එකතුකරගෙන ඉඳල තාත්තා ආවාම අම්මා කේළම කියනවා. තාත්තා ගහනවා.
“වැරදි කියලා කියන්න තරම් මහලොකු වැරදි මම කරල නෑ. අම්මා තාත්තා හිතන හැටියට, මම ගැහැනු ළමයෙක් කරන්න ඕන දේවල් ‍නෙවෙයි කළේ. මම ගස් උඩ හිටියෙ. ගමේ පිරිමි ළමයි එක්ක සෙල්ලමට ගිය එකම කෙල්ල මම. වැඩිපුරම හිටියේ පාරේ. තාත්තාට ගහක ගෙඩියක් කඩාගන්න ඕනෑ වුණාම මා උස්සලා කරේ තියනවා. ඒ විදියට වත්තෙ තිබුණු පලතුරු ගස්වල එහෙම ගෙඩි කඩලා දුන්නෙ මම. ඒ වුණත් පන්නිපිටියේ ධර්මපා‍ලේ මට අධ්‍යාපනය පැත්තෙන් හොඳ ‘රි‍පෝට්’ එකක් තිබුණා.”
පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ රැස්වීම් ශාලාවේ “ගොළු හදවත” ප්‍රදර්ශනය කළ අයුරු චාන්දනීට මතක ඇත. ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගොළු හදවත’ චිත්‍රපටයේ වැඩි හරියක් රූපගත කළේ ද ධර්මපාල විද්‍යාලයේය. තම පාස‍ලේ දර්ශන දුටු ඇයට ලොකු සතුටක් ඇති විය.
1979 දී ඇය ශිෂ්‍යත්වයෙන් සමත්ව මිලාගිරියේ ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් වූවාය. චාන්දනීගේ කලා ජීවිතයට පදනම වැටෙන කේන්ද්‍රස්ථානය වූයේ එතැනය.
“සෝමලතා සුබසිංහ නම් විශිෂ්ට ගුරු මාතාව ශාන්ත පාවුළු විද්‍යාලයට ආවේ නාලන්දේ ඉඳලයි. පුංචි කා‍ලේ “මඩොල් දූව” චිත්‍රපටයෙන් දුටු එතුමිය හැබැහින් දැක්කම අපි  ඇය දෙස බැලුවේ ආදරයෙන් සහ ගෞරවයෙන්. මම කළේ විද්‍යා
විෂයන්. සෝමලතා මිස් ඉගැන්නුවේ කලා
විෂයන්. ඔන්න ඉස්කෝලෙට ආධාර පිණිස ළමා නාට්‍යයක් කරන්න සෝමලතා මිස් පටන් ගත්තා. මට රඟපෑමේ ආසාවක් තිබුණෙම නෑ. දැන් මිස් නාට්‍යයක් ලියලා රඟපාන්න දක්ෂ
ළමයි හොයනවා. මම රඟපෑ වෙසක් නාට්‍ය බලපු පන්නිපිටිය පැත්තේ ළමයෙක් මිස්ට මාව පෙන්නලා කිව්වා. “මිස් මෙයා නම් වෙසක් නාට්‍යයක රඟපාලා තියෙනවා. මෙයා හරි දඟ ළමයෙක්” කියලා. ‘රඟපාලත් තියෙනවා නම් දඟකමත් තියෙනවා නම් මෙයා තෝරාගන්නම වෙනවා.’ සෝමලතා මිස් මාව තෝරාගත්තා.”
චාන්දනී සෝමලතා නිෂ්පාදනය
කළ “තොප්පි වෙළෙන්දා” නාට්‍යයේ තොප්පි වෙළෙන්දාට තෝරා ගත්තාය. ඇය මේ නාට්‍යයට තෝරා ගත් බව ඇසූ තාත්තා පස්වනක් පී්‍රතියෙන් පිනා ගියේය. සෝමලතා ගුරුතුමිය ගැන තාත්තාට තිබුණේ ගෞරවයකි. ඇය තම දියණියට යහමග පෙන්වන්නියක් ලෙස ඔහු විශ්වාසය තැබුවේය. චාන්දනීට “තොප්පි වෙළෙන්දා” රඟපෑමෙන් පාස‍ලේ විශාල ප්‍රසිද්ධියක් ලැබිණි. එහෙත් ඇය අනාගතයේ නිළියක් වීමට කිසිදා සිහින මැව්වේ නැත.
“මම ඒ කාලෙවත් වගකීමකින් යුතුව අනාගතය ගැන හිතුවෙ නෑ. එසේ නොසිතීම මගේ ජීවිතයේ කොටසක්. ඒ මගේ හැටි.  ඒ කා‍ලේ මම බලපු චිත්‍රපටවලින් මාලිනී ෆොන්සේකාට ආකර්ෂණයක් තිබුණා. අනුලා කරුණාතිලක හා ස්වර්ණා මල්ලවාරච්චිගේ  රඟපෑම්වලට මම කැමතියි. ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, අමරසිරි කලංසූරිය වැනි නළුවන්ගේ රඟපෑම් අගය කළා.
මගේ කලා ජීවිතය ගැන කතා කරන්න බෑ සෝමලතා මිස් කියන චරිතය නැතිව. එතුමියට නාට්‍ය සඳහා අවශ්‍ය වුණේ ඉස්කෝලෙ හිටිය දඟම ළමයි. ඔවුන්ගේ හැකියාව ශක්තිය ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. කවදත් එතුමිය හැම ළමයෙකුගේම හොඳ අදහස් යෝජනාවලට ගරු කළා. ඇතැම් වැඩිහිටියන් කරන විදිහට ළමයින්ව අවතක්සේරු කළේ නෑ. එතුමිය අපිව හැමවිටම අගය කළා. අප තුළ එතුමියට ගෞරවයක්, ආදරයක් ඇති වුණා.”
චාන්දනීගේ පියා තම දියණිය රඟපානු දැකීමෙන් සතුටට පත් වූයේ නාට්‍ය රඟපෑම පැත්තෙන් තමාට මුදුන් පමුණුවා ගත නොහැකි වූ අරමුණ ඇය සතු කර ගැනීම ගැන සතුටු වෙමිනි. සෝමලතා ගුරුතුමිය චාන්දනී ඇතුළු නාට්‍ය කණ්ඩායමේ රසවින්දනය, කලා රුචිය වැඩි කිරීමට හැම උපකාරයක්ම කළාය. පාස‍ලේ නාට්‍ය හා චිත්‍රපට සංගම් ඇරඹූ ඇය චාන්දනීලා උසස් කලාත්මක චිත්‍රපට නැරඹීමට රැගෙන ගියාය. මේ පිරිසට ඇගේ දියණිය වූ කෞෂල්‍යා
ප්‍රනාන්දු ද නිල්මිණි සිගේරා ද ඇතුළත් වූහ. ඉඥමඥද ඉචථභපචඪ, ච්ධජබධප ඛඩඪමචඨධ,දඥ ජ්තඥඹ මඥප බඩඥ ඛිභජඬධධ’ඵ ව්ඥඵබ, ඛිඩචපභතචබච  චිත්‍රපට නැරඹූ ඔවුනට එම චිත්‍රපට විචාරාත්මකව රසවිඳීමට අවශ්‍ය ලෙස තිස්ස අබේසේකර, ධර්මසිරි ගමගේ ආදී කලාකරුවන් ලවා දේශන පැවැත්වීය.
“ඒ කා‍ලේ මගේ ප්‍රියතම නළු නිළියන් වූයේ මෙරිල් ස්ට්‍රිප්, ශබානා අස්මි, ස්මිතා පටෙල්, ජැක් නිකොල්සන්, ඔමාර් ෂරීෆ් වගේ අය. සෝමලතා මිස් ආනන්ද, නාලන්ද, රාජකීය, කේරි විද්‍යාලවල සිනමා සංගම්වල සිසුන් අපේ පාසලට ගෙනත් රසවින්දන පන්ති පැවැත්වුවා. චිත්‍ර ප්‍රදර්ශන පැවැත්තුවා. දවසක් අපේ සිසුන් පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට එන්න කියලා සෝමලාතා මිස් ප්‍රකට චිත්‍ර ශිල්පියකු වන එස්.එච්.සරත් මහතාට ආරාධනා කළා. එතුමා මාව දැකලා චිත්‍රපටයක රඟපාන්න කතා කළා. මේ වෙද්දී සෝමලතා මිස් ඉස්කෝ‍ලේදී “විකෘති” කියන නාට්‍යය කරලායි තිබුණේ. මම ඒ නාට්‍යයේ හිල්ඩා කියන චරිතය රඟ පෑවා. කෞෂල්‍යාත්, නිල්මිණිත් රඟපෑවා. සරත් මහතා මට කතා කළේ ඔහු කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ, විමල් රංජිත් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ “සති පූජා” චිත්‍රපටයේ සුවිනීතා වීරසිංහගේ දුව ලෙස රඟපාන්න. මට මේක අලුත් අත්දැකීමක්. 1981 රූගත කළ “සති පූජා” තිරගත වුණේ 1985 වසරේ. මට ජනාධිපති සම්මාන උළෙ‍ලේදී
දක්ෂතම සහය නිළියට හිමි සම්මානය හිමි වුණා.”
චාන්දනී දඟකාර දැරියක ලෙස ගෙදරදී මෙන්ම පාස‍ලේදීද කැපී පෙනී ඇත. එය වඩාත් මතුව පෙණුනේ පාසල් බස් රියේදීය. ඇගේ යොවුන් වියේ ආදරය විකසිත වන්නේ මෙහිදීය.
“පාසල් යන කා‍ලේ හරිම විනෝදයි. සැහැල්ලුයි. කුරුල්ලන් මෙන් නිදහස්. ලස්සන දේට ආකර්ෂණයවන යොවුන් වියේ චමත්කාරය එදා මා අත්දුටුවා. පාසල් බස් රථයේ සිටින ලස්සන කොල්ලන් එක්ක විහිළු තහළු කරගන්න යෙහෙළියන් මෙන්ම මමත් සැදී පැහැදී සිටියා. ඒ අය අතර ගොඩක් කැමති අයත් හිටියා. සමහර ප්‍රේම සම්බන්ධතා ඇති වී නැති වී ගියා. දැන් ඒ අයට මාව ටෙලි නාට්‍යවලත් චිත්‍රපටවලත් දැකලා හිනා යනවා ඇති. ලස්සන පිරිමි ළමයි අපේ ස්කූල් බස් එකට නගින කන් අපි බලන් ඉන්නවා”. චාන්දනී කිව්වේ “මේක දැකලා තාත්තා මොනව හිතාවිදැයි” යන දෙගිඩියාවෙනි.
චාන්දනීගේ මව මියගියේ මීට වසර දෙකකට කලිනි. මේ වන විට ඇය තම පියා සමග පන්නිපිටිය නිවසේ වෙසෙයි.
චාන්දනී වේදිකාවට පිවිසෙන්නේ ජයලත් මනෝරත්නගේ “පුත්‍ර සමාගමෙ”නි. ඇය රඟපෑ ටෙලි නාට්‍ය හා චිත්‍රපට චරිතවලට සම්මාන රැසක් ලැබි තිබේ. වරක් ඇය අධ්‍යක්ෂණය කළ “සුළං සීනු” ඒකාංගික නාට්‍යයට සුමති සම්මානයක් ද හිමි විය.
“මම ඒකාංගික නාට්‍ය දෙක තුනක් කළා. ඒත් ප්‍රාසාංගික ටෙලි නාට්‍යයක් කිරීම අපේ භාෂාවෙන් කිව්වොත් “කට්ටක්” කෑමක්. ඒකට ලොකු මහන්සියක්, කැපවීමක් අවශ්‍යයි. මට ඒ මහන්සිය දරන්න බැහැ. මගේ ජීවිතයේ පැවැත්ම එක රාමුවක හිර වුණු එකක් ‍නෙවෙයි. ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක මම “ටයිම් ටේබල්” එකකට වැඩ කළාට මට මගේ පෞද්ගලික ජීවිතයේ එහෙම එකක් නැහැ. මට පුරුදු අයා‍ලේ යන ජීවිතයකට.
“කොටින්ම මම වගකීමකින් ජීවිතය දකින කෙනෙක් ‍නෙවෙයි. මම ‍පොත පත, චිත්‍රපට බලන්න කැමතියි. චිත්‍රපටයක් නම් හොලිවුඩ්ද, බොලිවුඩ්ද කියල වෙනසක් නෑ. ‍පොත්පත් අතරින් මම “එමා බෝවාරි”ට කැමතියි.”
 “මම තනිකඩ වුණාට හුදකලා වෙච්ච චරිතයක් ‍නෙවෙයි. මම ඉන්නේ තාත්තා එක්ක. කතාබහ කරන්න, දකින්න කෙනෙක් නැතුව ඉන්න කෙනෙක් ‍නෙවෙයි මම. මම මාව හඳුන්වා ගන්නවා නම් මම සංකීර්ණ චරිතයක් කියන්නත් අමාරුයි. සමහරු කියනවා ගැහැනු කිහිප දෙනෙක් මා තුළ ඉන්නව කියලා. කොහොම වුණත් මම ජීවත් වන, ජීවත් වුණු ක්‍රමය ඉස්සරහට වෙනස් වේවි. මට මැරෙනකන්ම රඟපාන්න කියලා ආසාවක් නැහැ. මම ඉපදුනේ තනියෙන්. මට සහෝදර සහෝදරියන් නැහැ. මට දරුවෙක් මල්ලෙක් නැහැ. මේව සාමාන්‍යයෙන් සිදුවිය හැකි දේවල්. එතකොට මම හිතනව මාව මේ ලෝකෙට තනියෙන් නේද එව්වේ කියලා. ඉතින් මට හිතෙනව මට යන්න වෙන ගමනක් ඇති කියලා. මම මහණ වෙන්න හිතන්නේ නැහැ. මට හිතෙනවා මට ගැළපෙන දේ සමාජ සේවය කියලා. ඒක දේශපාලනය ‍නෙවෙයි. අද දේශපාලනය සමාජ සේවයක් ‍නෙවෙයි. ඒක පුද්ගලික සේවයක්. නමුත් සමාජ සේවය පැත්තට යොමු වෙන්න මම ආසයි. එදිනෙදා ජීවිතය තුළ ගැටලුවලට මුහුණ දෙන අය දැනුවත් කරන්න මම කැමතියි. දරුවන්ට රූප සුන්දරියන්, සුපිරි තරු නොවී ජීවත් වන හැටි කියා දෙන්න මම කැමතියි”. චාන්දනී අනාගතය ගැන කීවාය.

ඡායාරූප : නාලක කළුවිතාරණ
 ඒ.ඩී. රන්ජිත්
කුමාර

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය