Powered by Blogger.


සම්බුදු පහස ලද ඓතිහාසික පුද බිමකි, දීඝවාපී රජමහා විහාරය. බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතුවලට යොමුවන සොළොස්‌මස්‌ථාන අතර මෙම පුදබිමටද සුවිශේෂී තැනක්‌ හිමි වේ.

අම්පාර නගරයේ සිට කිලෝමීටර් 6 ක්‌ අක්‌කරපත්තුවට දිවෙන පාරේ ගොස්‌ වරිපතන්ෙච්න (රජගම) හන්දියෙන් හැරී කිලෝමීටර් 13 ක්‌ පමණ ගිය විට මේ පුදබිම හමුවේ.

දීඝවාපී ඉතිහාසය ක්‍රි.පූ. හයවැනි සියවසේ ලොව පහළ වූ ගෞතම බුදුරදුන් දවසට පියමං කරයි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මස උදාවූ දුරුතු පොහොය දිනයේ මහියංගනයට වැඩම කළ සේක. ඉන්පසු මිණි පළඟට යුද වැදුණ චුලෝදර මහෝදර දෙදෙනාගේ යුද්ධය දිවැසින් දැක බුද්ධත්වයෙන් පස්‌වැනි වර්ෂයෙහි බක්‌ මාසයේ කළුවර පොහෝ දිනයේ නාගදීපයටද වැඩම කළ සේක. එහි වැඩම කළ අවස්‌ථාවේදී මණිඅක්‌ක නා රජු දහම් අසා පැහැදී බුදුරජාණන් වහන්සේට තම භවනට වැඩම කරන ලෙස ආරාධනා කර ඇති අතර එම ඇරැයුමට අනුව බුදුරජාණන් වහන්සේ පන්සියයක්‌ රහතන් වහන්සේලා සමඟ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි වෙසක්‌ පුන් පොහෝදා කැලණිය වෙත වැඩම කළ සේක. අනතුරුව සමනළ කඳු මුදුනේ සිරිපා පිහිටුවා දීඝවාපියට වැඩි බව ඓතිහාසික මූලාශ්‍රයන්හි දැක්‌වේ.

දීඝවාපිය ශ්‍රී ලංකා ධර්මද්වීපයෙහි නැගෙනහිර පළාතට අයත් පූජනීය ස්‌ථානයකි. ගල්ඔය මිටියාවතෙහි දිගාවැව අසබඩ පිහිටි මෙම පූජනීය ස්‌ථානය කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සිව් බුද්ධෝත්තමයාණන් වහන්සේලාගේ පිවිතුරු පාද ස්‌පර්ශය ලද පූජාභූමියකි. බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක්‌ වන් ඉමහත් ගෞරවාදරයට පාත්‍රවූ සොළොස්‌මස්‌ථාන අතරින් හයවැනි ස්‌ථානය හිමිවන්නේ ද දීඝවාපී රජමහා විහාරස්‌ථානයටයි. දීඝවාපී චෛත්‍යයරාජයාණන් වහන්සේ තුළ නිධන්කොට ඇත්තේ ජීවමාන ගෞතම බුදු රජාණන් වහන්සේගෙන් ලැබුණි නිය ධාතුවයි. නියධාතුව තැන්පත් කළ බැවින් අතීතයේ මෙම වෙහෙරට නඛසෑය නඛාවෙහෙර යයි ව්‍යවහාර කළ බව කියති.

කාවන්තිස්‌ස රජුගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත් ගැමුණු කුමරුගේ මූලික අභිප්‍රාය වූයේ අනුරාධපුරය නිදහස්‌ කරගෙන රට එක්‌සේසත් කොට බුදු සසුන නඟාසිටුවීමයි. මෙම යුද්ධයේදී ගැමුණු කුමරුගේ මහත්වූ සේනාවට අවශ්‍ය ආහාරපාන සැපයීම සඳහා වගකීම පැවරුණේ ගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්‌සයන්ටය. දිගාමඩුල්ල කෙත්වතුවලින් සංවර්ධනය කළේ සද්ධාතිස්‌සයන්ය. විශාල වාරිපද්ධති ආරම්භ කරමින් මේ ප්‍රදේශය සංවර්ධනය කළ අතර දිඝාවැවද සාදන ලදී.

දුටුගැමුණු රජුගේ අභාවයෙන් පසු රජ පැමිණි සද්ධාතිස්‌සයෝ අනුරාධපුරයෙන් එපිට දීඝවාපිය දක්‌වා යොදුනෙන් යොදුන වෙහෙර විහාර සාදන ලද බව ක්‍රි.පූ. 137 - 119) මහා වංශයේ සඳහන් වේ. මේ වෙහෙර විහාරවල නටබුන් අදද දැකිය හැකියි. පසුකාලීන දීඝවාපී නමින් හැඳින්වූ නඛා විහාරය මේ ප්‍රදේශයේ පමණක්‌ නොව රටේම ධර්ම ප්‍රචාරක මධ්‍යස්‌ථානය විය. දෙවනපෑතිස්‌ රජු ඉදිකළ අනුරාධපුරයේ මහාවිහාරය මෙන් දීඝවාපී විහාරයද ධර්ම ප්‍රචාරක මධ්‍යස්‌ථානය විය.

සද්ධාතිස්‌ස රජු විසින් ඉදිකළ දීඝවාපී චෛත්‍යය බොහෝ කාලයක්‌ දහම් සුවඳින් විරාජමාන වුවද සමහර අවස්‌ථාවන්හිදී අන්තරායකාරී තත්ත්වයන්ට ගොදුරු විය. වළගම්බා රජුගේ කාලයේ ඇති වූ බැමිණිතියා සාගතය කාලයේදී වසර 12 ක්‌ තුළ පැවැති නියඟයෙන් දිගාමඩුලු පුද බිම පෙදෙස ජන ශුන්‍ය විය. වැව් සිඳී ගිය අතර මිනිසුන් ජීවිතක්‍ෂයට පත්විය. මෙහි වාසය කළ භික්‍ෂුන් වහන්සේලාද පුදබිම අත්හැර දමා කඳුකර ප්‍රදේශවලට ගිය බව කියති.

1747 - 1781 දී රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නැවත දීඝවාපිය සංවර්ධනය කර භික්‍ෂුන් වහන්සේලා පදිංචි කර ප්‍රදේශය දියුණු කර ඇත. චෛත්‍යය ප්‍රතිසංස්‌කරණය කර විහාරස්‌ථානයේ අධිපති ධුරයට බණ්‌ඩිගොඩේ නිග්‍රෝධ නම් නායක හිමියන් පත්කර ඇත.

1815 වර්ෂයේදී ඉංග්‍රීසි පාලකයන්ගේ දරුණු අසාධාරණකම්වලට හා තාඩන පීඩනවලට මේ ප්‍රදේශය පත්විය. සිංහලයන් සතු ඉඩම් කොල්ලකන ලදී. ඉංග්‍රීසි ආණ්‌ඩුව විසින් ගෙන එන ලද පනතකට අනුව දීඝවාපී විහාරස්‌ථානය සතු ඉඩම් සහ වටිනා ගොඩනැඟිලි සියල්ල රජය සතු කර ගන්නා ලදී. රාජ්‍ය අංශයට අවශ්‍යව තිබුණ කළුගල් ගඩොල් ආදිය මේ පුද බිමේ ගොඩනැඟිලි කඩා වෙහෙරද කඩා ලබාගන්නා ලදී. වාරිමාර්ග කටයුතුවලට අවශ්‍ය ඇළ වේලි සඳහාද වෙහෙරේ ගඩොල් යොදා ඇත. මිනිස්‌ වාසයක්‌ නැත. පුදබිම විනාශ විය. දාගැබ වන හැබක්‌ විය. මුස්‌ලිම් අයගේ පදිංචි ස්‌ථානයක්‌ බවට දීඝවාපී ප්‍රදේශය පත්විය.

1916 වර්ෂයේදී කොහුකුඹුරේ ශ්‍රී රේවත මා හිමිපාණන් විසින් වෙහෙරේ ගඩොල් ගෙන යන මුස්‌ලිම් ජාතීන් පන්නා, පුදබිම ආරක්‍ෂා කරන්නට කටයුතු කර ඇත. උන්වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් දීඝවාපිය රැකගෙන කටයුතු කරද්දී 1950 ඔක්‌තෝබර් 13 වැනි දින මුස්‌ලිම් ජාතිකයෙකුගේ වෙඩි පහරින් අපවත් වූහ.

අද මෙම දීඝවාපී විහාරස්‌ථානයේ අධිපතිකම් දරන්නේ අපවත්වී වදාළ නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක්‌ වූ නන්නපුරාවේ බුද්ධරක්‌ත හිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ ශිෂ්‍ය පූජ්‍ය මහඔය සෝභිත ස්‌වාමීන් වහන්සේ "දිවයින"ට අදහස්‌ දක්‌වමින් වර්තමාන විහාරස්‌ථානයේ දියුණුව ඇති කළේ අපේ නායක හාමුදුරුවන් දැඩිලෙස ගිලන්ව සිටින උන්වහන්සේ නොසිටින්නට අපට දීඝවාපියක්‌ ගැන කතාකරන්නට දෙයක්‌ ඉතිරිවන්නේ නෑ. විහාරස්‌ථානයට ඒමට සුදුසු මාර්ගයක්‌ නොතිබුණු යුගයක උන්වහන්සේ මෙහි කටයුතු ආරම්භ කළා. එදා මෙහි පැමිණ ඇත්තේ සමන්තුරේ වාහන නවතා පා ගමනින්. වන්දනාවේ පැමිණෙන බැතිමතුන් මෙන්ම භික්‍ෂුන් වහන්සේලා දැඩි අපහසුතා ඇතිවයි මෙහි පැමිණ ඇත්තේ. වගකිව යුතු නිලධාරීන්ට මේ ගැන දැනුම් දී තාර දැමූ පාරක්‌ සාදාගෙන 1956 ශ්‍රී බුද්ධ ජයන්තිය වෙනුවෙන් උත්සවයක්‌ද පවත්වා තිබේ. එම උත්සව දිනයේදී ඉතා දුර බැහැර සිට කේබල් යොදා විදුලිය ලබාගෙන ඇත. පසුව විදුලිබල ඇමැතිව සිටි සී. පී. ද සිල්වා මහතා මේ පුදබිමට විදුලි බලය ලබාදී ඇත. සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් උත්සව ශාලාවක්‌ද රජය මගින් සාදා දී තිබේ. ගරා වැටී තිබුණු චෛත්‍යයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ එදා සිට තවමත් සිදු කෙරේ. ඒ ආරම්භය සිදුව ඇත්තේ 1964 වර්ෂයේය.

ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත්වෙමින් පැවැති දීඝවාපී පුදබිමට 1980 දශකයේ ඇතිවූ ත්‍රස්‌තවාදී තර්ජන නිසා නැවතත් කණකොකා හඬන්නට විය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ඇතිකර ගත් සාම ගිවිසුමෙන් පසු නැවතත් දීඝවාපී පුද බිමේ සංවර්ධන කටයුතු ආරම්භ වී තිබේ. චෛත්‍යය වැඳ පුදා ගැනීමට පිරිස්‌ පැමිණීම ආරම්භ විය. 2009 මැයි මාසයේ ප්‍රභාකරන්ගේ පාලනය බිඳවැටීමත් සමඟම ඇතිවූ සාමකාමී වාතාවරණය උඩ නැවතත් දීඝවාපිය සංවර්ධනය විය. බැතිමතුන්ගේ පැමිණීම වැඩි විය. පොසොන් සමයට මෙම පුදබිමට එන අයගේ පහසුව සඳහා විශ්‍රාම ශාලාවක්‌ද පහසුකම් සහිතව ඉදිකර තිබේ. ධර්මශාලා මන්දිරය සාදා දී අත්තේ එම්. එච්. එම්. අශ්රµa ඇමැතිතුමා විසින්ය. දයා සමූහ ව්‍යාපාරයේ අධිපති දයා ඩී. ගමගේ මහතාගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක්‌ වියදම්කර බුද්ධ මන්දිරයක්‌ ඉදිකර ඇත. මෙහි ඇති ඓතිහාසික බෝධීන් වහන්සේද බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්‌වේ.

දීඝවාපී පුදබිම වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ පූජා භූමියක්‌ වී සංවර්ධනය වේ. සිංහල පවුල් තවමත් මෙහි පදිංචිව ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. ඒ නිසා මෙහි පැමිණෙන බෞද්ධ බැතිමතුන්ගේ ආධාර උපකාර ඇතිව නේවාසික භික්‍ෂුන් වහන්සේලාගේ දාන මාන කටයුතු පිළියෙළ කරගන්නා බවද කියකි. පරිපාලන දිස්‌ත්‍රික්‌කය අම්පාර වුවද මුස්‌ලිම් ජනතාව වැඩියෙන් ඇති කලාපයක්‌ බැවින් අනුරාධපුරය, පොලොන්නරුව, මහියංගණය, කැලණිය මෙන් දියුණු බෞද්ධ පසුබිමක්‌ මෙහිදී අපේක්‍ෂා කළ නොහැකි බවද පෙනේ. දීඝවාපී පුද බිමේ අනාගතය ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවද පෙන්වා දෙනු කැමැත්තෙමි.

අප අතීතයෙන් ඉගෙනගත් පාඩම් මෙහිදී සිහිපත් කළ යුතු අතර බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් දීඝවාපී පුදබිමේ අනාගතය සුරැකිය යුතුව ඇත. සම්බුදු පහස ලද ඓතිහාසික පුදබිම් රැකගැනීම ජාතික අවශ්‍යතාවකි.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය