Powered by Blogger.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිහැඩියාවට තිත තබමින් නවමු මාදිලියේ රසාන්විත මිහිරියාවක් එක්කරමින් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දෙටු දියණිය දනේෂා ගයත්‍රි කේමදාසයන් ශ්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයට එකතු වීම හා කේමදාස පදනමේ පැවැත්ම කෙබඳුද යන්න පිළිබඳ යන්න පිළිබඳව සුහද කෙටි පිළිසඳරකට පසුගියදා මා එක්වීමි. මේ ගයත්‍රි  අප හා දැක්වූ අදහස් බිඳකි.
කේමදාස පදනම රැකගන්න ලංකාවට ආවා කියලා මාධ්‍යයේ දක්නට ලැබුණා ඒක ඇත්තද ?
ඔව්, ඒක තමයි ප්‍රධානම හේතුව තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උපකාරය තමයි කේමදාස පදනම රැකගැනීම. ඒකට මගේ උපරිම උත්සාහය හා කැපවීම ලබාදෙනවා. ඒ වගේම මේ පදනම රැකගන්න මගේ පවු‍ලේ සාමාජිකයන් සියලු දෙනාගේම දායකත්වය ලැබෙනවා ඒක මට ඇත්තටම ලොකු හයියක්.

කේමදාස පදනම රැකගැනීමේ බලා‍පොරොත්තුව ?
මගේ තාත්තා හැම තිස්සේම බලා‍පොරොත්තු වුණේ සංගීත ක්‍ෂේත්‍රයට දක්ෂයින් බිහිකරලා එමගින් සංගීත ක්‍ෂේත්‍රය තුළ නවතාවක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රය ලොව පිළිගත් මට්ටමට ගෙනයන්න. මට තාත්තගේ අඩුව නම් පුරවන්න බෑ. ඒත් මම උත්සාහ කරනවා. තාත්තගේ ඒ ගත්ත උත්සාහයට සාධාරණයක් ඉටු කරන්න. ඒක මගේ යුතුකම ඒක තමා මගේ එකම බලා‍පොරොත්තුවත්.

කේමදාස මහත්මාණන්ගේ ගෝලයින් පිරිසක් සිටිනවා ඒ ගැන ඔබ මොකද හිතන්නේ ?
ඒ ගොල්ලෝ කරන දේ හරි කියලා හිතනවා. ඒ ඇරුණහම මට එහෙම ලොකු අදහසක් තාත්තගේ සිසු සිසුවියන් ගැන නැහැ.

නෙළුම් ‍පොකුණ විවෘත කිරීමේදී පෙන්වීමට සූදානම් කළ ඔපෙරාවට මොකද වුණේ. ?
ඒක නම් මුළු ලංකාවටම කළ ලොකුම ලොකු වරදක් වගේම අසාධාරණයක්. අපිට මුලින් කිව්වා මෙහෙම උත්සවයක් පැවැත්වෙනවා. ඒකට සූදානම් වෙන්න කියලා. ඒත් අපි රිහසලුත් කළාට පස්සේ අන්තිමට ඒක වැඩසටහනින් අයින් කරලා කියලා දැනගන්නට ලැබුණා. ඇත්තටම ලංකාවට ඔපෙරාව කියනදේ හඳුන්වා දුන්න කෙනාගේ නමවත් නැති එක ඔපෙරා හවුස් එකක් විවෘත කරන කොට දැනගන්නට නොලැබිම ඇත්තටම කනගාටුදායකයි. විශේෂංගයක් නෙමේ ආරාධනාවක්වත් උත්සවයට සහභාගි වීමට ලැබුණේ නෑ. ඇත්තටම හිතා ගන්න බෑ. මේ දේවල් කොහොමද කවුද මේ දේවල් කරන්නේ, වෙන්නේ කියලා. ජනාධිපතිවරයා නම් මේවා දන්නේ නෑ.

ලංකාවට ඇවිල්ලා සංගීත ක්‍ෂේත්‍රයේ වැඩ කරගෙන යනකොට ඔබට පැමිණි අභියෝග මොනවාද?
ලොකුම අභියෝගය තමයි තාත්තා අදහන්න බැරි විදිහට ක්‍ෂේත්‍රයේ වැඩකළ කෙනෙක් එහෙම කෙනෙක්ගේ දුවෙක් ලෙස ස්වාධීනව නමක් හදාගැනීම අපහසුයි. ඒ වගේම තමා ලංකාවේ වැඩ කරගෙන යන්න හරි අමාරුයි. නිර්මාණයට පුහුණුවීම් කටයුතු කරන්න භාරදුන්නයින් පස්සෙත් හැමදේම හොයලා බලන්න ඕනේ. වටේ වන සියලු දේ පිරික්සන්න ඕනි. අනික තමයි වෙලාවට වැඩ කරන්නෙම නෑ. ඒක නම් ලොකුම ලොකු ගැටලුවක්.

චෙක් ජනරජයේ ඉගෙන ගත්ත සංගීතය තුළින් ලංකාවේ සංගීතයට මොනවද කරන්න පුළුවන් ?
චෙක් ජනරජයේ ඉගෙන ගත්ත කියලා අමුතු සංගීතයක් නෑ. ඒත් ලංකාවේ ඉපදිලා, තාත්තගේ ඇසුරේ ඉඳලා ‍පොඩි කා‍ලේ ඉඳලා සංගීත ඇසුර ලබපු මම ලංකාවේ අලුත් වගේම රසිකයින් වැලඳගත්ත නිර්මාණ දායකත්වය ලබාදෙන්න තමා උත්සාහය.

ඔබගේ පුලාන් දේවි ඔපෙරාව ගැන මතක් කළොත්?
පුලාන් දේවි කතාව අසාධාරණය වුණ කාන්තාවකගේ ගැබ්වූ ශක්තිය හා අභිමානය අන්තර්ගත කතාවක්. ඉතිං මම ආස කළා එවගේ චරිතයක් ගැබ්වෙච්ච කතාපුවතක් මගේ ඔපෙරාවට දායක කරගන්න. ලංකාවේ සමහර මිනිස්සු හිනාවෙනවා. මේ මොකක්ද මේ කතාව කියලා. ඒත් ඇමෙරිකාවේ හා එංගලන්තයේ රසිකයන්ගෙන් අති විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම ජැෆ්නා මියුසික් ෆෙස්ටිවල් එකේදීත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම සතුටුයි. ඒ වගේ කතාපුවතක් මගේ නිර්මාණයට යොදාගන්න ලැබිම ගැන.

ලංකාවේ සංගීතය රසවිඳින මිනිසුන් ඔපෙරවා රසවිඳීම තුළින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
අනෙක් සංගීතයත් සමග සංසන්දනය කළාට හාත්පසින්ම වෙනස් සංගීතයක් තමයි ඔපෙරාව තුළ ගැබ්වෙලා තියෙන්නේ. ඒ වුණාට ඔපෙරාව රසවිඳින්නේ උසස් රසවින්දනයක් තියෙන අය. ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ලංකාවට ආවට පස්සේ ලැබුණ ප්‍රතිචාරවලින් තමයි ඒක මට තේරුණේ.

තාත්තගේ මතකයන් ගැන මතක් කළොත්
ඇත්තටම තාත්තගේ මතකයන් ගැන කියලා ඉවර කරන්න බෑ. තාත්තා උදේ පාන්දර 2.00ට නැගිටිනවා. 05.30 වෙනකොට මාවයි අක්කවයි කූද්දනවා. ඊට පස්සේ තාත්තා අපිවත් ළංකරගෙන පියානෝව වාදනය කරනවා. එහෙම තමා අලුයම ගත කරන්නේ. ඊට පස්සේ මාවයි අක්කවයි පාසලට එක්කරගෙන යනවා. මොන වැඩේ තිබුණත් තාත්තා අපි දෙන්නව වෙලාවට පාසලට එක්කන් යනවා. මාව කවදාවත් තාත්තා බස් එකක යවලා නෑ. එතරම්ම පරිස්සම් කළා. ඒ වගේම කිසිම දිනයක සැර කරලාවත් කතා කරලා නෑ. මම හිතන්නේ තාත්තාගේ සංගීතය ඉගෙන ගත්ත අය අතරින් මටයි අක්කටයි විතරයි කෑගහලා නැත්තේ. ඒ උගන්වන වෙලාවට කෑගහන්න වෙයි කියලා හිතන වෙලාවට තාත්තා මග ඇරලා යනවා ඇත්තටම ඒක පුදුම ආදරයක්.

ඒ වගේම මාවයි අක්කවයි විදේශගත කරන්න තාත්තට ලොකු වුවමනාවක් තිබුණා. ඒ වගේම තමා ලංකාවට එනකොට වගේම යනකොටත් තාත්තා ගුවන්තොටේ දොරටුව ගාව හිටගෙන බලාගෙන ඉන්නවා. ඒක අදටත් මට ගුවන්තොටු‍පොළේදී මැවිලා පේනවා. අපේ තාත්තා හරිම විනෝදකාමී කෙනෙක්. අපේ උපන් දිනයක් ආවම ඒ අතීතය මතක් වෙනවා. තාත්තා මගේ හැම උපන් දිනයකටම පවු‍ලේ කට්ටියත් එක්ක කතරගම වඳින්න එක්ක ගෙන යනවා. ඒ යනකොට තෑගි හංගලා තියලා කොළඹින් ලොකු කේක් එකක් ගෙනිහිල්ලා එහිදී සමරන්නේ ‍පොඩි ළමයි වගේ හරිම සතුටින්. ඇත්තටම ඒ මතකය අද හීනයක් වගේ.
තාත්තා අන්තිම කා‍ලේ මොනවද කිව්වේ.

තාත්තා හැම තිස්සෙම කිව්වේ ලියා අවසන් කළ නොහැකි සංවනියක් ලියන්න ඕනි කියලා. රෝහල්ගතවෙලා ඉන්නකොටත් කිව්වේ. ‘මට අද යන්න පුළුවන්නේද ඩොක්ට මම සංවනියක් ලියන්න තියනවා’ කියලා ඒක අවසන් කරන්න අක්කටයි මටයි භාර කරනවා කිය කිය හිටපු මගේ තාත්තා හිතපුවත් නැති විදිහට අපිව දාලා ගියා.

අධ්‍යාපනය ගැන කතා කළොත් එහෙම
මම පාසල් ගියේ කොළඹ 07 කාන්තා විද්‍යාලයට. සා.පෙළවලට සංගීත විෂයයට ‘ඒ’ සාමාර්ථයක් ලබාගත්තා, උසස් පෙළ කළේ කලා අංශයෙන් භාෂා විෂයන්ගෙන් ඊට පස්සේ විදේශගත වුණා. චෙක් ජනරජයේදී සංගීත විෂයේ උසස් අධ්‍යාපනය ලබාගත්තා.

විවාහකයි නේද ඔබ ?
ඔව්, එයා එංගලන්ත ජාතිකයෙක් එයාගේ නම ඩැරන් ලාජ්. එයා තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවේ නියතු වෙනවා. ඒ වගේම එයා සංගීතය කුඩා කල ඉගෙන තියෙනවා. ඒ වගේම එය හරිම ආසයි සංගීතයට.  එයා ඇත්තටම හරිම හොඳ කෙනෙක්.

විදේශගත පුද්ගලයෙක් තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණද?
එහෙම නෑ. එයාගේ හොඳ ගතිගුණ නිසා අපි දෙන්නට දෙන්නා සමීප වුණා. ඒ වගේම තමා එයා විදේශිකයෙක් කියලා නෑ. පවු‍ලේ හැම දෙනාටම හරිම සමීපයි. කොයි තරම්ද කියනවා නම් මගේ අම්මට එයා අම්මා කියලා කතා කරන්නේ. නි‍ලේන්ද්‍ර දේශප්‍රියගේ තණ්හා රතී රගා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරියගේ කාර්යභාර්ය පිළිබඳව කිව්වොත් ඇත්තටම ඒක අලුත් අත්දැකීමක්, නි‍ලේන්ද්‍ර දේශප්‍රිය මහත්මයත් එක්ක වැඩ කරන්න මට හරිම පහසුවක් වුණා. එතුමාට සංගීතය ගැන දැනීමක් තිබිම වෙන්න ඇති මේකට හේතුව.

එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව් සතුටුයි. දැන් හිතෙනවා මට මීට වඩා දෙයක් කරන්න තිබුණා හා කරන්න පුළුවන් කියලා. ඒක ඉතිං ලෝක ස්වභාවය ඒ වුණාට මට ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි.

සිරස සුපර්ස්ටාර් තරගාවලියේ පුහුණුවීම් කටයුත්තකට සහභාගි වුණා නේද?
ඔව්, තාත්තට කළ උපහාරයක් වෙනුවෙන් තමා මාව ඒ අවස්ථාවට සම්බන්ධ කරගත්තේ. ඇත්තටම හරිම අභියෝගයක් පැය දෙක, තුනකින් පුහුණුවීම් කටයුතු අවසන් කරලා මාධ්‍ය ඉදිරියේ ගායනයක් ඉදිරිපත් කිරීමට මගපෙන්වීම. තාත්තා හිටියා නම් මීට වඩා ඉඩ ප්‍රස්ථාව අරගෙන පුහුණුවීම් කටයුතු කරනවා නොඅනුමානයි. හැබැයි මට සතුටුයි. මගේ තාත්තව මතකයේ රැඳීම පිළිබඳව.

සිරස සුපර්ස්ටාර් වැනි රියැලිටි වැඩසටහනක තරග තීරකයකු ලෙස කටයුතු කරන්න අදහසක් එහෙම තියෙනවද?
අ‍පෝ නැහැ, සුපර්ස්ටාර්වල වගේ පුහුණුවීම් කටයුත්තකට ආරාධනාවක් ලැබුණොත් මිසක් මට එහෙම කිසිම අදහසක් නෑ.

ඔබ චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණ කාර්යය ඉදිරියට කරගෙන යාමට අදහසක් තියෙනවාද?
ඔව්, මම කැමැතිම ඒ වගේම අලුතින් ආරාධනා කිහිපයක්ම මට මේ වෙනකොට ලැබි තියෙනවා මම ඒක පස්සේ කියන්නම්.

චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා යොදාගන්නේ පියාගේ සංගීතයද? නැත්නම් ඔබේම ෙශෙලියක්ද?
ඇත්තටම මම යොදාගන්නේ මගේම ෙශෙලියක් අවස්ථාවට උචිත අන්දමට අවස්ථා තීව්‍ර කර පෙන්වීම මුල්කරගෙන මගේ රහට මම සංගීත අධ්‍යක්ෂණ කාර්ය කරනවා. චිත්‍රපට නිෂ්පාදකයාගේ සහයෝගයට අනුව.

අලුතින් දෙයක් කරන්න බලා‍පොරොත්තුවක් එහෙම නැද්ද
ඇයි නැත්තේ. මගේ අදහසක් තියෙනවා ලංකාවේ ශ්‍රේෂ්ඨ කාන්තාවන් පස් දෙනෙක් තෝරාගෙන පස් දෙනාගේ ජීවිත කතාව ඇතුළත්ව ඔපෙරාවක් සිදුකරන්න.

ඒ වගේම ජුනි - ජූලි මාස යන කාල සීමාව තුළ ඇමෙරිකාව හා කැනඩාව යන රටවල පුලාන් දේවි ඔපෙරාව නවමු  ලෙස නිර්මාණයක චරිත තුනක් පමණක් යොදා ගනිමින් නැවත නිර්මාණය කර එළිදක්වන්න කටයුතු සූදානම් කරනවා. ඒක නම් ලංකාවේ අයට අලුත්ම දෙයක්.

සංගීත ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාමට උදව් කරන අය මතක් කළොත්
අම්ම, අක්කා මගේ ආදරණීය, සැමියා, තාත්තගේ අක්කා (නැන්ද) ගොඩක් මට උදව් කරනවා. තාත්තට වගේම අම්මා මටත් පුදුම ධෛර්යයක් ලබාදෙනවා අක්කා තමා මට පියානෝව වාදනය කරන්න පුරුදු කළෙත්. එදා වගේම අදත් ඒ උදව් අඩුවක් නැතුව වැඩිපුර දෙනවා. ඒ වගේම මගේ සැමියා තමයි. මගේ හැම සංගීත වැඩසටහනක් අවසන් කළ ගමන්ම අහන ප්‍රථම රසිකයා. මගේ නැන්දත්, තාත්තා ඉන්න කා‍ලේ වගේම අදත් අපි ගැන හොයලා බලනවා.

ඔබට ලංකාවේ දක්ෂ අලුත් සංගීත පරපුරක් ගැන බලා‍පොරොත්තුවක් තියෙනවාද?
ඇත්තටම ඔව්, ලංකාවේ ගොඩක් දක්ෂ දරුවන් ඉන්නවා. ඒ වගේම මමත් ඒ අලුත් දක්ෂ සංගීත පරපුරක් ගොඩනගන්න උපරිම සහාය ලබාදෙනවා. දැනටමත් මම සංගීත පුහුණු කිරීමට පන්ති පවත්වාගෙන යනවා. මගේ අරමුණුත් හරිදේ කරන දැනුමෙන් ‍පෝෂිත දක්ෂ සංගීතඥයින් පිරිසක් බිහිකිරීමයි.
ඉන්දීවරී පෙරේරා
ඡායාරූප - ප්‍රදීප් දඹරගේ
http://www.rivira.lk/edition/images/2014/05/04/gayathri%20kemadasa%20(3).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය