Powered by Blogger.


 
ඝන කැළෑව මැදින් වැටුණු ගුරු පාර දිගේ, දිඹුලාගල විහාරභූමිය වෙත රජයේ ජීප් රථයක් වේගයෙන් ඇදී එයි. රියෙන් බට ත‍්‍රිකුණාමල දිසා ඇමැති හා පොළොන්නරුව එවකට මහජන මන්ත‍්‍රී එච්.ජී.පී.නෙල්සන් මහතා ඇතුළු රජයේ උසස් නිලධාරී පිරිසක්, දිඹුලාගල නාහිමිගේ දෙපා නමස්කාර කළහ. දෙවනුව කෙටි සාකච්ඡාවක් කරන්නට වුණි.
සැමගේ මුහුණු ප‍්‍රීතියෙත්, ජයග‍්‍රහණයේත් උද්දාමයෙන් එළිය වැටිණි. ටික දිනකින් දැලි පිහිය නුදුටු නාහිමිගේ සුදු රැුවුල රැුඳී කරුණාබර මුහුණ අව්‍යාජ සිනා රැුල්ලකින් දීප්තිමත් විය.
”ඔව් අපේ මහත්තයෝ එතුමා එන එක අපට විශාල ආඩම්බරයක්. සිංහල රජ කාලෙන් පස්සෙ මෙහාට එන පළමුවැනි රජතුමා එතුමා තමයි. මේක එතුමාගෙත් අපෙත් මහා වාසනාවක්”
පසුදින එනම් 1982 ජුනි මස 7 වැනිදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අධිපති මාතර කිතලගම සීලාලංකාර හාමුදුරුවන් බැහැ දුටුවේය.
”සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, පොල්කටු නිකාය, බඩකඩුත්තු නිකාය, මේ අමන වචනවලට මම කැමැති නෑ මහත්තයෝ. බුදුහාමුදුරුවෝ අපට ඉගැන්නුවෙ පොදු ක‍්‍රමයක්. සාංඝික ක‍්‍රමයක්. මේ උතුම් ඉගැන්වීමට හින්දුකාරයින්ගෙ කුලභේද අර නිකායවලින් තහවුරු කරනවා. බුදුහාමුදුරුවන්ගෙ ඉගැන්වීමට අර වචන කොයිතරම් විරුද්ධද? මේක බුද්ධාගම වෙන්න බැහැ. අපේ කොල්ලො මේව දැනගෙන තමයි පංසලට නොඑන්නෙ. මම කිසිම කෙනෙකුට මහණ වෙන්න කියලා නැහැ. කියන්නෙත් නැහැ. ආවොත් මහණ කරනවා. ලැබෙන මුදල්වලින් ආරාම පන්සල් හදනවා. ඉතිරිවා නිකාය බේදයකින් තොරව දනට දෙනවා. සතයක්වත් බැංකුවල දාන්නෙ නැහැ. මගේ ක‍්‍රමේ තමයි  ඕක. ඒක හරිද අපේ මහත්තයෝ”
නැගෙනහිර පළාතේ සිංහල පවුල් 45,000 ක් පදිංචි කරමින් ආරාම 40 ක් ඉදි කරමින් (1980 වන විට) කුල දරුවන් 265 ක් සසුන් ගත කරමින් මහ වික‍්‍රමයක් කළ සීලාලංකාර නාහිමියන් එසේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ඇසීය.
” දිඹුලාගල මහ වැද්දා” යන සුරතල් නමින් ආමන්ත‍්‍රණය කළ මේ උදාර සිංහලයා දෙස අභිමානයෙන් බැලූ ජේ.ආර්. තමන් දිඹුලාගල ආ කාරණය ද හාමුදුරුවන්ගේ කණට කෙඳිරුවේ ඔහු තව තවත් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් කරමිනි.
මනුෂ්‍ය ඝාතකxප‍්‍රභාකරන්ගේ අවසානයේ ආරම්භය ”මහවිල්ආරු සොරොව්ව” වූවා මෙන් ජේ.ආර්. ජයවර්ධනයන්ගේ ජනාධිපති පදවිප‍්‍රාප්තියේ මල් වරුසාව ද මාදුරුඔය ව්‍යාපාරයයි. පදවිප‍්‍රාප්තියෙන් තුන් මසක් යන්නට මත්තෙන් ජේ.ආර්. දිඹුලාගලටම ආවේ එවැනි ප‍්‍රාතිහාර්යයක් කරන්නට නම් ප‍්‍රාදේශීය ජාතික නායකත්වයක දැනුම වගකීම ඉහළින්ම අත්‍යවශය නිසාය. එය එදා ජේ.ආර්. ආණ්ඩුවේ ප‍්‍රථම සංවර්ධන ව්‍යාපාරය විය.
දිඹුලාගල හිමියන් සාමාන්‍ය හිමිනමක් වශයෙන් පොළොන්නරුව කදුරුවෙල ප‍්‍රදේශයට මාතරින් ආවේ 1948 වැනි ඈත යුගයකදීය. එකල ඞී. එස්. සේනානායක කාගම, ඇළහැර, බකමූණ ආදී ප‍්‍රදේශවල සිංහල ජනපද බිහිකිරීමේ මූලික සංකල්පය රෝපණය කර තිබුණේය. සීලාලංකාර හිමියන්ද එම සමකාලීන යුගයේ දේශපාලන ශක්තියක් ලෙස කටයුතු කළ නිසා ජේ.ආර්. යළිත් කොළඹ ආවේ උන්වහන්සේට නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ සංඝනායක පදවිය පිළිබඳ අක්තපත‍්‍රයද පිළිගැන්වීමෙන් අනතුරුවය.
මෙහිදී අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝ මෙසේ ප‍්‍රකාශ කළහ.
”මෙම වටිනා සිද්ධස්ථානය පිළිබඳව මට පළමුවෙන්ම අසන්නට ලැබුණේ 1954 දී. වජිරාරාමවාසී මහා සංඝයාද විශාල දායක පිරිසක්ද කැටුව 1957 දී දිඹුලාගල ආරණ්‍ය දැක බලා, දිඹුලාගල අවට අසරණ වැදි ජනතාවටද නන්අයුරින් සංග‍්‍රහ කොට සතුටු වීමි.
වගවළසුන්ගේ නිජබිමක් බවට පත්ව තිබූ එම ඓතිහාසික සිද්ධස්ථානය මෑතක් වනතුරු වැද්දන්ගේ දඩබිමක්ව පැවතිණි. සියවස් ගණනාවක් තිස්සේ මිසදිටුවන්ගේ කෙළිබිමක් ද විය. වටිනා පුරාවස්තු විනාශ මුඛයට පත්වෙමින් තිබුණු අවධියක සෞභාග්‍යයෙන් පිරි රුහුණේ සිට මෙහි පැමිණි විල්පිට ආරණ්‍ය සේනාසනාධිපති උඩුපීල්ලේගොඩ පඤ්ඤාලංකාර නාහිමිපාණන්ගේ අනුග‍්‍රහය ශිෂ්‍ය රත්නයක් වු මාතර කිතලගම සීලාලංකාර ආයුෂ්මතුන් වහන්සේගේ අප‍්‍රතිහත ධෛය ර්‍්‍යය පෙන්වන කැඩපතක්වන් ජාතිකවූත් ආගමිකවූත් සේවාවන් මගේ මවිතය දනවන්නට හේතු විය.
පසු කාලයකදී මඩිහේ හිමියන්ද සීලාලංකාර හිමියන්ද උතුරු නැගෙනහිර ජනගහණය වැඩිකිරීමේ ‘‘ධර්ම ප‍්‍රචාරක’’ කටයුතුවලටද අතගසා තිබීම, ජේ.ආර්.ගේ අමනාපයට හේතු විය. ‘‘වර්ගයා බෝවීම ස්වභාවිකව සිදුවිය යුතුයි. එය බලහත්කාරයෙන් සිදුකිරීම අනවශ්‍යයි” ඔහු කීය.
ඊට ප‍්‍රතිප‍්‍රහාරයක් දුන් දිඹුලාගල හිමියෝ කදුරුවෙල මහජන රැුස්වීමකදී මෙසේ පැවසූහ.
”දැන් ඉතින් වළ පයයි. ගොඩ පයයි. සිංහල පවුල් පදිංචි කරනවාට අකමැති නම් දෙන්න නායකත්වය පේ‍්‍රමදාස මහත්තයට”
ජේ.ආර්. ලංකාවට ජනාධිපති වුවද දිඹුලාගල හිමි බුද්ධ රාජ්‍යයේ බලවතෙක් නිසා දෙදෙනාම ඇතැම් අවස්ථාවලදී කැත්තට පොල්ල මෙන් කර කියා ගත්හ.
”ඔය හාමුදුරුවො නයා වගේ ආපු ගමන් පරක්කු නොකර ඇතුළට එන්න දෙනවා.” ජේ.ආර්. සිය ජනාධිපති මන්දිරයේ නිලධාරීන්ට කියා තිබිණි.
” දිඹුලාගල මහවැද්දා ඇවිල්ලයි කියනවා” හාමුදුරුවෝ සැරයටියත් කුඩයත් පාත්තරයත් රැගෙන පැමිණ නිලධාරීන්ට කියන්නේ එපමණකි.
1924 දී මාතර කිතලගම උපත ලද (දිඹුලාගල හිමියන්ගේ) ගිහි නම හේවාදුලිගේ චාර්ලිස්ය. මව හා පියා පිළිවෙලින් ගාල්ලගේ සයිනහාමි හා එච්.ඞී. දියෝනිස්ය. ස්ථිර නිවාසයක්වත් නොමැතිව දැනටත් දිඹුලාගල හිමියන්ගේ සහෝදරයා, (85 වියැති) එච්.ඞී. රයිනාහාමි තිහගොඩ වෙසෙන අතර හිමියන්ගේ බෑනා වන නන්දදාස මදනසිංහ කිතලගම ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළැයි පැවසේ.
1950 ගණන්වල සිටම දිඹුලාගල හිමියන්ගේ පරපුර ප‍්‍රබල එජාප ආධාරකරුවන් වන අතර පසු කාලයකදී තමන් වහන්සේට ත‍්‍රිකුණාමලය දිසා ඇමැතිව බොහෝ ආධාර උපකාර කළ එච්.ජී.පී. නෙල්සන්ද මාතර/තංගල්ලෙන් නැගෙනහිර ප‍්‍රදේශයට පර්යටනය වුවෙකි.
කුඩා කළ පටන් ඉතා නිදහස් කෙළිලොල් දිවියක් ගත කළ චාර්ලිස් කොලූවා ඉගෙනීමට කිසිම ආකාරයක උනන්දුවක් දැක්වූයේ නැත. පාසලේ ඩෙස් පුටු බැංකු අතර දුව පැනයමින් ක‍්‍රීඩා කළා මිස ඔහුගේ සිත ධර්මයට තබා අකුරු ශාස්ත‍්‍රයටවත් ආකර්ශනය වූයේ නැත.
යම්තම් වයස 12 දී පමණ වර්ෂ 1936 දී චාර්ලිස් පන්සලේ ලොකු හාමුදුරුවන් සමග වන්දනා ගමනකට එක්වන අතර මුළුමනින්ම පා ගමනින් මාස ගණනාවක් කළාවූ මෙම චාරිකාව අවසන් වූයේ පොළොන්නරුවෙනි.
පන්සලක පැවිදිව භික්ෂුන් වහන්සේ කෙනෙකු වන්නට නම් අකුරු ශාස්ත‍්‍රයද කියවීම, ලිවීම අත්‍යවශ්‍ය බව චාර්ලිස් අදහන්නට පටන් ගත්තේ එදාය.
ඉන්පසු මාතර අකුරැස්සේ කඹුරුපිටිය අතර පිහිටි විල්පිට ආරණ්‍ය සේනාසනයේ (උඩුපීල්ලෙගොඩ පඤ්ඤාලංකාර හිමියන් යටතේ) පැවිදිව 1948 දී රජරට පොළොන්නරුවට වැඩම කළහ.
පොළොන්නරුව, කදුරුවෙල ශ්‍රී බුද්ධජයන්ති විහාරස්ථානයට පැමිණි උන්වහන්සේ, ප‍්‍රදේශවාසීන් විසින් භක්ත්‍යාදරයෙන් පිළිගත් අතර භාවනානුයෝගීව වාසය කිරීමට පළුගස්දමනට නුදුරු සුසාන භූමියක් තෝරා ගත්හ.
එහි වූ නුග සෙවනක් යට භාවනාවේ යෙදෙමින් මිනී වළවල් අතර සක්මනේ යෙදෙමින් පිණ්ඩපාතිකව යැපුණාහ.
ප‍්‍රදේශය  ක‍්‍රමයෙන් ජනාවාස වීම නිසා සිය භාවනාවට පළිබෝධ පැමිණියෙන් දිඹුලාගල ප‍්‍රදේශයට එන්නට කල්පනා කළහ.
ප‍්‍රදේශයේ තිබුණූ විශාලම වැව වූ ‘‘හඳපාන්විල’’ තරණය කර දින ගණනක් දන් වේලක් නැතිව තැල්කොළ, බතලකොළ,  ඕළුගෙඩි වළඳමින් ආ උන්වහන්සේට කිරි කඳක් ගෙන යන ගැමියෙකු හමුවිය. හාමුදුරුවන්ගේ ගිලන් ස්වරූපය ගැන කම්පා වූ ගැමියා කිරිකඳ උන්වහන්සේට පූජා කළෙන් දිනක් දෙකක් යැපීමට කිරි පරෙස්සම් කර ගැනීමෙන් හාමුදුරුවෝ හෙමිහිට සොරවිලට පැමිණියහ.
ඒ වන විට එහි සිටියේ කොහොඹ කොළ හා බුරුල්ල කොළ අඳින වැදි ජනතාවයි. ජීවත්වුණේ සතුන් දඩයම් කිරීමෙනි.
කටකළුවා, දිය පොළඟා, කබර මාපිලා හා නාග මාපිලා වැනි විෂඝෝර සර්පයින්ද බහුල මහ මූකලානේ ‘‘කොටරාගල’’ නමැති ස්ථානය තම වාසය සඳහා තෝරා ගනිමින් සීලාලංකාර හිමියන් කලක් එහි එකළාව වාසය කළහ.
භාවනානුයෝගීව ගතකරන ජීවිතය තාවකාලිකව නතරකොට සිංහල ජාතිය හා සිංහල බෞද්ධ සමාජය වෙනුවෙන් අමරණීය සේවයක් වහාම ආරම්භ කළ යුතු යැයි සිතුණේ මෙහිදීය.
ශ්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ දමිළ බලය ශීඝ‍්‍රයෙන් වැඩිවීම හා ඔවුන් රට අභ්‍යන්තරයට වැදී සිංහල ජනතාවට විරුද්ධව සටන් කිරීමත් නිසා බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දමා විනාශ කරන්නට වූ නිසාත් සිංහල රජවරුන්ගේ බලය ක‍්‍රමයෙන් පිරිහීම නිසාත් අනුරාධපුර රාජධානියේ සිටි ඇතැම් රජවරු පොළොන්නරුවට පැමිණ වාසය කරන්නට වූහ. මේ නිසා සතුරු කරදරවලින් මිදීමට සහ එවැනි අවස්ථාවල විවේක සුවයෙන් ගත කිරීම සඳහා පොලොන්නරුව රජවරුන්ගේ නිවාඩු නිකේතනයක් වූ බව පෙනී යයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පොළොන්නරුව රාජධානියක් හැටියටද පරිවර්තනය විය.
බුද්ධ ධර්මය ව්‍යාප්තිය සඳහා ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ කරන ලද බෞද්ධ මධ්‍යස්ථාන අතුරෙන් බෞද්ධ ධර්ම ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් වු දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ද එකක් විය. කුන්තගත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ අළුවිහාරයේදී ත‍්‍රිපිටක ධර්ම සංගායනාකොට ග‍්‍රන්ථාරූඪ කිරීමෙන් පසුව කුන්තගත්ත තිස්ස මහරහතන් වහන්සේ දිඹුලාගලට වැඩම කර පරිනිර්වාණය දක්වාම එහිම වැඩ සිටියහ. උන්වහන්සේගේ පටන් මලියදේව මහරහතන්වහන්සේ දිඹුලාගල වැඩ සිටි අවදියෙන් පසු දිඹුලාගල බෞද්ධ මධ්‍යස්ථානය අන්ධකාරයට පත්වූ බව මහාවංශය හෙළි කරයි.
ශ්‍රී ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ වශයෙන් සැළකෙන මලියදේව මහරහතන්වහන්සේ දිඹුලාගල විහාරයේ වැඩවිසූ බව සද්ධර්මලංකාරයේ ද සඳහන් වේ. මෙම ඓතිහාසික පසුබිමේ සිටිමින් සීලාලංකාර හිමියන් ‘‘ධර්ම සමය’’ උදෙසා එළඹි සිටි සිහියෙන් ඉදිරියට ආවද අතෙහි තඹ පිච්චියක්වත් නොතිබිණි.
ඒ හැරුණු කොට එම වකවානුවේදී දිඹුලාගල, මනම්පිටිය, වැලිකන්ද අරලගංවිල, යක්කුරේ, අල්ලෙවැව යන ගම්වලින් සමන්විත වූ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් එගොඩපත්තුව ප‍්‍රදේශයේ පදිංචි 3000 ක් වූ ජනගහණයෙන් සිංහලයින් සිටියේ 8 දෙනෙකි.
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බවත් එය උපයෝගී විය යුත්තේ සුද්දන් සනසන රට හිනස්සන හෝටල් කැසිනෝ අධිවේග අපභ‍්‍රංශවලින් නොව ගොවිතැන් ඵලදාව  හා දේශීය නිෂ්පාදන සංවර්ධනය කිරීමෙන් යන ඞී.එස්. හා  ඩඞ්ලි එජාපයේ මූලික දර්ශනය අනුව යැයි උන්වහන්සේ අධිෂ්ඨාන පූර්වකව සිතුවේය.
එම පළාත්වල සිංහල ජනගහණය වැඩි කළ යුතු යැයිද ජනතාවගේ සිතුම් පැතුම්වල පවතින  ඕලාරික අඳුර විනිවිද යා යුතු බවද වැඩිදුරටත් තේරුම් ගත්හ. එතුමන් ගොවිජනපද ව්‍යාප්ත කරන්නටත් කොළණි ක‍්‍රමයෙන් වුවද ජනගහණ වර්ධනය ඉස්මතු කරන්නටද පියවර ගත්හ.
දියබෙදුම, හිඟුරක්ගොඩ, මින්නේරිය, 305, 314, 313, 312, 400 පොළොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ තඹාල, කවුඩුල්ල, බුද්ධයාය,  ඕණෑගම, සෝමාවතිය, පු¥ර්, පලූගස්දමන, සේවාගම, තඹලවැව, සත්ව ගොවිපළ, පී.එස්.කොළණිය ආදී ගොවි ජනපදවල හා එගොඩපත්තුවේ සිටින බෞද්ධ ජනතාව සීලාලංකාර හිමියන්ගේ වටිනාකම අගය කරන්නේ මෙම දුරදර්ශී අමිල මෙහෙය නිසාය.
සීලාලංකාර හිමියෝ සොරවිල ගමේ ජනතාව යහමග යැවිම සඳහා ගත් උත්සාහය කිසියම් විප්ලවයක් වැන්න. සිංහල පාසලක් ආරම්භ කිරීම නිසා දරු පරපුරට අකුරු උගනීමට හා මුළුගැන්වීමෙන් තොරව පාසල් ජීවිතය තුළින් සමාජය වෙත යොමු කිරීම පහසු විය. ගතානුගතික හා පාරම්පරික සිරිත් විරිත්වලට ඇබ්බැහිව සිටි ගම්වැසියන් එයින් මුදු යහපත් සිතිවිලි හා සිතුම් පැතුම් ඔස්සේ හැඩ ගැස්වීය. පාසල් යාමට පෙර වුවද පොල් ගැසීම, කෝවිලට යාම ආදී කටයුතුවලට පෙළඹුණ ඔවුන් කෝවිල් දේවාල හා යක්ෂයින්ට පුද පුජා පවත්වමින් ඉරහඳ ඇදහීම ආදී නොයෙකුත් ඇදහිලි ක‍්‍රමවලට කොටුවී සිටියහ. 
මේ අනුව සීලාලංකාර හිමියන්ගේ ධර්ම ශාස්ත‍්‍රීය මෙහෙය හරහා මිල්ලාන, දලූකාන, ගිනිදමන, ඇල්ලෙවැව, අරලගංවිල, අලවකුඹුර, වැලිකන්ද වැනි ගම්මාන පුනරුත්ථාපනය විණි.
ආණ්ඩුවේ සෙනෙහස හෝ කරුණාව දැනෙන්නට පෙර ලංකාවේ විශාලතම පළාත් පාලන ආයතනයද වන වර්ග සැතපුම් 550 ක් වන එගොඩපත්තුව සම්පූර්ණයෙන්ම පාලනය කළේ කිතලගම සීලාලංකාර හිමියන් යැයි කීම අතිශයොක්තියක් නොවේ.
අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නායක ධුරන්ධර කොළඹ, බම්බලපිටියේ වජිරාරාමවාසී විද්‍යා විශාරද මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්වහන්සේ හමුවූ සීලාලංකාර හිමියෝ කරුණු පැහැදිලි කරදීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දායක පිරිස සහල් රෙදි, පොල්අතු ගල්ලෑලි ආදිය ලොරි ගණන් ගෙනවිත් සිංහල මෙන්ම වැදි ජනතාවද අතර බෙදා දුන්හ.
එගොඩපත්තුව වනාහි නැගෙනහිර පැත්තෙන් ගලා බසින මහවැලි නදියත් මඩකළපුව, ත‍්‍රිකුණාමලය හා අම්පාර යන දිස්ත‍්‍රික්කයන්ටත් සීමාවූ බලප‍්‍රදේශයකි. එතෙක් ගම්සබා කොට්ඨාස 13 කට සීමා වී තිබූ බලය කොට්ටාස 30 කට වැඩිකොට අවුරුදු 30 ක පමණ කාලයක් පළාතේ බලය අල්ලාගෙන සිටි දෙමළ ජාතික සභාපතියන්ගෙන් බේරාගෙන ප‍්‍රථමවරට සිංහල ජාතිකයෙකු ගම්සභාපතිවරයකු ලෙස ගෙනාවේද දිඹුලාගල හිමියෝය.
මේ පියවර සීලාලංකාර හිමියන් දියත් කළ දමිළ ‘‘නිජභූමි’’වල සිංහලයින් පදිංචි කරවීමේ කාර්යය සාර්ථකව කරගෙන යාමට මහත් අනුබලයක් විය.
එගොඩපත්තුවට සිංහලයෙකු සභාපතිවරයෙකු කරන්නට පෙර දමිළ ‘‘මොරාලය’’ බිඳීමට හාමුදුරුවන් ගත්තේ කෞටිල්‍යමය උපක‍්‍රමයන්ය.
හිටපු සහභාපතිවරයා සිය බලයේ ඉදිද්දී මනම්පිටිය නගරයේ හරක්මස් කඩයක් හා අරක්කු තැබෑරුමක් විවෘත කරන්නට උත්සාහ කිරීමේදී හාමුදුරුවන් ඊට විරුද්ධ විය.
”මේක අපේ රාජ්ජේ අපේ පැත්ත අපට  ඕනෑ විදියට මිසක් වැඩ කරන්නේ නැහැ” යි සභාපති උරුට්ටු ඇල්ලූවේය.
හොදින් කී දේට අවනත නුවූ නිසා හාමුදුරුවන් කළේ අතේ තිබුණු ශක්තිමත් කුඩය අමෝරාගෙන මද්දහනේම මහමග සභාපතිවරයාට තඩි බෑමය.
ඔහු එයින් භීතියට පත්වූ අතර හාමුදුරුවන්ගෙන් සමාව අයැද හරක්මස් කඩ, තැබෑරුම් ඇරීම අවලංගු කර මනම්පිටියේ සිට පාරක් කපා දීමටත් ආරණ්‍යයට නාන ළිඳක් කපා දීමටත් පොරොන්දු විය. එපමණකින් නොනැවතී ඔහු ආරණ්‍යයට දන් පිළිගන්වන හොඳ බෞද්ධයෙකු වූ බවද පැවසේ.
”මට නම්බුනාම  ඕනෑ නෑ. මට සල්ලි  ඕනෑ නෑ. මට හොඳ වටින පටසිවුරු  ඕනෑ නෑ. මට අනවශ්‍ය විදියට සැප පහසුකම්  ඕනෑ නෑ. මට  ඕන මම කරන වැඩවලට හොඳ හිතින් දෙන සහයෝගය විතරයි. වචනයකින් හරි දක්වන සහයෝගය මම අගය කරනවා” උන්වහන්සේ නිතර නිතර පැවසූ සේක.
නායක හාමුදුරුවන්ට හැමදාම  ඔය විදියට පයින් වඩින එක හරිම අමාරු ඇතිනෙ. වාහනයක් ගත්ත නම් මීට වැඩිය වැඩ ටිකක් කරගන්නත් පුළුවන්නෙ. මේ ගිනි අව්වට පිච්චි පිච්චි දුවිලි කාගෙන නායක හාමුදුරුවො කරන වැඩ ටික වෙන කෙනෙකුට නම් කරන්න බැහැ. වරක් එජාප ඇමැතිවරයෙක් ඉතා නිහතමානීව කීය.
”මට ජීප් තෑගි කරන්න කීප දෙනෙක් ඇහුවා. කාර් එකක් අරන් දෙන්නත් ඇහුවා. කවුරු නුදුන්නත් මට කාරෙකක් අරගන්න බැරිකමක් නැහැ. මේ පැත්තෙ ඔය කාර් බස් යන්න නැති කාලෙත් මම පයින් ගියා. අදත් යනවා. හෙටත් යනවා. මම කරන්නේ, දෙන්නේ මිනිසුන්ට ආදර්ශයක්. ඔවුන් යහමගට හරවා ගත්තේ පයින් අවිදලා. මම මේ විදියට ගත නොකළාට හොඳට සැප විඳින්න පුළුවන්. ඒ වුණත් මේ ජීවිතයට පත්වුණේ ආශාව අත්හැරලා සසර කෙටි කර ගන්න. ඒ නිසා මගේ සැප විහරණ මේ අහිංසක ජනතාවගේ සැපත වෙනුවෙන් කැප කරනවා. ඊට පිළිතුරු වශයෙන් නායක හිමියන් එසේ පැවසූහ.
පොතේ නීතියට වඩා අවංක හෘදයාංගම හා අවස්ථානෝචිත යුක්ති ධර්මය හැමවිටම අගය කළ එතුමා යම් යම් අවස්ථාවලදී ‘‘රොබින්හුඞ්’’ කෙනෙකු ලෙසද ක‍්‍රියා කර ඇත.
1978 වර්ෂයේ නොවැම්බර් මස 23 වැනි දින රාත‍්‍රියේ නැගෙනහිර පළාත සුණු විසුණු කරමින් දහස් ගණනක් මරුමුවට පත් කරමින් හමා ගිය සුළි සුළඟ ලක්වැසියාට ස්වභාව ධර්මය පිළිබඳව භීතියක් ගෙනාවේය.
මෙම තත්ත්වය යටත් නොතෙමී යම්තම් හෝ ආරක්ෂාවීමට තිබුණෙ දිඹුලාගල පන්සලේ නොකැඞී ඉතිිරි වූ ගොඩනැගිලි කීපය පමණි. කඩාවැටී බිම වසාගෙන තිබණු ගස් කොළන්වලින් සහ වෙනත් සුන්බුන්වලින් පැන පැන පැදුරකින් වැස්සට ආවරණය වී නායක හිමියෝ වහ වහා පොළොන්නරුවට වැඩියහ. අතරමගදී දුම්රිය සේවකයෙක් විසින් දුන් වැහිකබායක් ඇතිව පාගමනින්ම දුෂ්කර ගමනක් ගිය නායකහිමියෝ උසස් නිලධාරීන් හමුවී වහාම ආධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. නමුත් නිලධාරීන් ‘‘නීති රීති’’ ගැන තළුමැරුවා විනා මහජනතාවගේ කුසගින්න හෝ ආරක්ෂාව ගැන නොසිතූහ.
සුළි සුළඟ නිසා විපතට පත් දිඹුලාගල විවිධසේවා සමුපකාර සමිතියේ තොග ගබඩාවෙහි ලක්ෂ ගණනාවක් වටිනා ආහාර තොග තෙමී විනාශයට පත්ව තිබෙන හැටි බැලූවේය. කැඳ උගුරක් හෝ නොමැතිව ක්ලාන්තව ඇදවැටෙන ජනතාවට කෙසේ හෝ ආහාර ටිකක් සපයා දීමේ ක‍්‍රමයක් සිතුහ.
හාමුදුරුවෝ ක්ෂණික සංවිධානයක් ඇති කර ගත්හ. ඊට පසු දිඹුලාගල සමුපකාරයේ හාල්, පිටි, ලූණු ආදිය වැස්සට තෙමී අපතේ යමින් තිබියදී එම සමිතියේ ම අය ඒවා දීමට මැලිවෙද්දී ලියවිල්ලක් දී තමන් වහන්සේ ගන්නා බඩුවලට සමිතියට බැරිනම් පෞද්ගලිකව හෝ ගෙවන බව පවසමින් එම බඩු ට‍්‍රැක්ටරයක පුරවාගෙන පාරට ගෙනවිත් විපතට පත් දහස් ගණනකට ? දවල් නොතකා වතුර බිබී කුසගින්නේම බෙදා දුන්හ. අපි ඒවා කෑවා නොවෙයි දහස් ගණනක් මැරෙන්න යද්දී ඔවුන් ජීවත් කරන්නයි බෙදා දුන්නේ. ගෙවන්න කියනවා නම් ගෙවනවා. නැත්නම් හිරේ යනවා.
නාහිමියන්ගේ උත්සාහයත් අප‍්‍රතිහත ධෛර්යත් නිසා මෙතෙක් වන ගහනය තුළ සැඟවී බොදුණුවන්ගේ නෙත නොගැටී තිබුණු දකුණු දළදා වහන්සේ නිධන් කරන ලද සෝමාවතී චෛත්‍යය සොයා ගැනීම හා එහි සංවර්ධන කටයුතුවලට මූලාරම්භය සිදුවූ ආකාරයද ඓතිහාසික සිද්ධියක්.1980 ජුලි මස 05 වැනි දින දිඹුලාගල නායක හිමියන් ප‍්‍රදාන කොටගත් ඒ කණ්ඩායමේ විස්තරය එදා රිවිරැුස පුවත්පත වාර්තා කර තිබුණේ මෙසේය.
”සෝමාවතී අභය භූමියට අයත් අලි කොටි වළසුන් ගහන මහ වන මැද පිහිටි ඉපැරණි චෛත්‍යක් සොයාගෙන එය එළි පෙහෙළි කර වැඩි දියුණු කිරීමේ කටයුතු දිඹුලාගල නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිණි. මෙම චෛත්‍ය ඉපැරණි සෝමාවතී චෛත්‍යයැයි සිතනු ලැබේ”
දින එකහමාරක් තිස්සේ ඝන වනාන්තරය තුළට කිඳා බැස ගිය ඔවුනට අවට ලැහැබ කපා පිළිස්සීමෙන් අනතුරුව අඩි 500 කට වැඩි විශ්කම්භයකින් යුත් අඩි 40 ක් පමණ උස ගරාවැටුණු චෛත්‍ය හමු විය.
පසුව සිරිල් මැතිව් මැතිතුමා විසින් ශ්‍රී මහා බෝධි අංකුරයක්ද, සෝමාවතී චෛත්‍යයට නුදුරින් රෝපණය කරවන ලදී. 
සත් වසක සාපය නිමා කරමින් 1977 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙද්දී ප‍්‍රදේශවාසී ජනතාවගේ ඉතාම උග‍්‍ර ප‍්‍රශ්නය වූ වතුර පිළිබඳ තද උවමනාව කියන්නට ජේ.ආර්. ජයවර්ධන හමුවිය. මාදුරුඔය සංවර්ධනය කොට එම අර්බුදයට විසඳුම දිය හැකි බවත් එවකට පොළොන්නරුව එජාප අපේක්ෂකු වූ එච්.ජී.පී. නෙල්සන් ඊට ඉතාම සුදුසු මැදිහත්කරු බවත් පෙන්වා දුන් උන්වහන්සේ මාදුරුඔය ඉතිහාසය ගැනත් ජේ.ආර්. ජයවර්ධනයටන චිත්තාකර්ෂණීයව විස්තර කළෝය.
”මාදුරාගල’’ නමින් එයට මුලින්ම නම් තැබුවේ විජයබාහු රජතුමා බවත් ඒ අද්දරම ඇති පිඹුරත්තෑව නොහොත් ‘‘සරනේරු’’ වැවෙන් ද මුළු ප‍්‍රදේශයම සශ‍්‍රික කළ හැකි බවත් සනාථ කළෝය. වැවත් දාගැබත් සංකේතවත් කරමින් මාදුරුඔයට සම්බන්ධ එක කන්දක් වන ‘‘කන්දේගම’’ නමැති ස්ථානයේ අඩි 37 ක් දිග පිළිමයක්, විශාල දාගැබක්, ගල්කුටි 150 ක්, ළිං පොකුණු ආදියද පිහිටා ඇති බවත් පුරා විද්‍යාඥයෙකු සේ අනාවරණය කළහ. බලයට පැමිණීමෙන් පසු උන්වහන්සේගේ අනුශාසනා පරිදි මාදුරුඔය සංවර්ධනය කළ යුතු යැයි එච්.ජී.පී. නෙල්සන්, ජේ.ආර්. ජයවර්ධනයන්ගෙන් කළ ඉල්ලීම එදා එතුමා ආදරයෙන් පිළිගත්තේය.
රජය පිහිටුවා තෙමසක් ගතවීමට පෙර රජයේ පළමු සංවර්ධන ව්‍යාපාරය ලෙස ‘‘මාදුරුඔය ව්‍යාපාරය’’ ආරම්භ විය. එය ඇරැුඹීමට පෙර දිඹුලාගල හිමි එච්.ජී.පී. නෙල්සන්, ජේ.ආර්. ජයවර්ධන, ඇන්.ඇම්. පෙරේරා කොල්වින් ආර්. ද සිල්වා ද විශේෂ සාකච්ඡුාවකට පැමිණ සිටියහ.
මෙම යෝජනා ක‍්‍රමයෙන් මුළු තමන්කඩුවම සශ‍්‍රික කළ හැකි යැයි පවසමින් දිඹුලාගල හිමියෝ අනුශාසනාවක් ද කළහ.
‘‘මෙතෙක් බිහි වූ සෑම රජයක්ම අමතක කර නොසලකා හැර තිබූ මේ ප‍්‍රදේශයේ අසරණ ජනතාව රැුක ගන්නට ඉදිරිපත්වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට ස්තුති කරන්න මට වචන නැහැ. මෙය ශ්‍රේෂ්ඨ පිංකමක්. මේ සිතුමිණ අපේ ප‍්‍රදේශයට ලබාදීම නිසා ජනාධිපතිතුමාට සියළු දෙව් රැුකවරණ ලැබෙනවා ඒකාන්තයි’’.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය