Powered by Blogger.

නිරූපණය තම විනෝදාංශය කරගත් ඔහු මේ වන විට නිරූපණ ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වය එකලෙස රඳවාගත් නිරූපණ ශිල්පියෙක්.
මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු වුවත් ඔහු පෙම්බඳින්නේ කලාවටය. නිරූපණයෙන් රංගනයටත්, නිවේදනයටත් පිවිසු ඔහු නමින් සමීර වීරසිංහයි. මේ ඔහු සමග කළ සොඳුරු කතාබහය.

මිස්ටර් ශ්‍රී ලංකා ලෙස ඔබට ලංකාව නියෝජනය කරමින් අන්තර් ජාතික තරග කිහිපයකට ආරාධනා ලැබුණු බව අපි දැක්කා?
ඔව්. අවස්ථා කිහිපයක් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ තරගවලට සහභාගිවෙන්න මට අවස්ථාව ලැබුණත් තාම අනුග්‍රහකයෙක් ලැබිලා නෑ. ඒ වියදම් තනිවම දරන්න තරම් වත්කමක් නෑ මට. ඒත් මම බලා‍පොරොත්තුවෙන් ඉන්නවා කවුරුහරි මට මේ සඳහා අනුග්‍රහය ලබාදේවි කියලා.

පසුගියදා ඔබ අන්තර්ජාතික වශයෙන් විශේෂ ඇගයීමකට ලක්වුණා. මුලින්ම ඒ ගැන මතක් කළොත්
තායිලන්තයේ පැවැත්වුණු මිස්ටර් ග්ලෝබල් තරගයට ලංකාව නියෝජනය කරමින් සහභාගිවෙන්න මට අවස්ථාව ලැබුණ. ඒ වගේම ඒ තරගයේ මිස්ටර් ‍පොපියුලර් වුණේ මම. ලංකාව නියෝජනය කරමින් ඒ ජයග්‍රහණය ලබන්න පුළුවන්වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.

සමීරට කොහොමද නිරූපණ ක්ෂේත්‍රයට එකතුවෙන්න අවස්ථාව ලැබෙන්නෙ?
මම මීට අවුරුදු හයකට කලින් තමයි නිරූපණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට එකතුවෙන්නෙ. මොකද මගේ සහෝදරිය නිරූපණ ක්ෂේත්‍රයේ රැඳී සිටිය කෙනෙක්. ඒ නිසා මට ‍පොඩිකා‍ලේ ඉඳන්ම හීනයක් තිබුණා තරුවක් වෙන්න. රොසෑන් ඩයස් මහත්මිය යටතේ මම නිරූපණය පිළිබද ඉගෙන ගෙන තමයි නිරූපණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට එකතුවෙන්නෙ.

 වෘත්තිය මට්ටමේ නිරූපණ ශිල්පියෙක් ලෙස ඔබට වෙනම අනන්‍ය තාවක් ගොඩනගාගෙන ද තියෙන්නේ?
මම මටම අනන්‍යතාවක් ගොඩනගාගෙන තියෙන්නෙ. මම කාවවත් අනුකරණය කරන්නෙ නෑ. අද ගොඩක් වෙලාවට කරන්නෙ කෙනෙක්ව කොපි කරන එක. මම අඳින්නෙ, පලඳින්නෙ මටම විශේෂ විදිහකට.

 සමීරට මේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි තියෙනවද?
මට ගොඩක් කැපිලි කෙටිලි තියෙනවා. තමන් පැත්තකට වෙලා පාඩුවේ ඉන්නවනම් කැපිලි කෙටිලි නෑ. අපි තරගකාරී මට්ටමක ඉන්නව නම් අනිවාර්යයෙන් මේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි තියෙනවා. ඒකෙන් වෙන්නෙ මම තවත් ශක්තිමත් වෙන එක. ඒ නිසා මම කැපිලි කෙටිලි අභියෝගයක් කියලා හිතල ඒවා ජයගෙන ඉස්සරහට යනවා.

 නිරූපණ ක්ෂේත්‍රය තුළ සහයෝගයක් නෑ කියලද සමීර කියන්නෙ?
ගොඩක් වෙලාවට සහයෝගයක් නෑ. ඒ අය කැමැති නෑ අනිත් කෙනාට උදව්කරන්න. මම හිතන්නෙ අනිත්කෙනා ඉස්සරහට යයි කියන ඊර්ෂ්‍යාව නිසා කියලා. මම මේ ක්ෂේත්‍රයේ අනිත් අයට උදව් කරනවා. ඒනිසා මම කැමතියි අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩකරන්න.

අද මේ ක්ෂේත්‍රයට එකතුවෙන පිරිස විශාල ලෙස වැඩිවෙලා. ඒ නිසා හැමෝටම මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න අවස්ථාව තියෙනවද?
හැමෝටම රැඳෙන්න හැකියාව ලැබෙන්නෙ නෑ. මොකද අද තාක්ෂණය ගොඩක් දියුණුයි. ඒ නිසා ඕන කෙනෙක්ට මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන්. ඒත් රැඳෙන්න අමාරුයි. ඒ නිසා අපි අපිට වෙනම වටිනාකමක් හදාගන්න ඕනි. එතකොට දිගු ගමනක් යන්න පුළුවන්.

මේ ක්ෂේත්‍රයේ ඉන්න අය වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගන්නෙනෑ කියලා සමාජයේ මතයක් තියෙනවා නේද?
නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම එහෙම නෑ. ඒත් සමහර අයකරන වැරදි වැඩ නිසා වෘත්තීය ගරුත්වය නැතිකරගන්න අවස්ථා තියෙනවා. ඒ සමාජ මතය ඇතිකරගෙන තියෙන්නෙ මේ ක්ෂේත්‍රයේ ඉන්න අයමයි.

නිවේදනයට වගේම ඔබට රංගනයටත් ආරාධනා ලැබිල තියෙනවා නේද?
නිවේදනයටයි රංගනයටයි දෙකටම මට ආරාධනා ලැබුණා. එක් චිත්‍රපටයක රූගතකිරීම්වලට මේ දවස්වල සහභාගිවෙලා ඉන්නෙ. ඒ වගේම නිවේදනයට රූපවාහිනී නාළිකා දෙකකින් අවස්ථාව ලැබුණා.

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ටෙලි නාට්‍යවලට වැඩි කැමැත්තක් නෑ. ගොඩක්ම කැමැති සිනමාවට. රැකියාවේ වැඩක් එක්ක ටෙලි නාට්‍යවලට වෙලාවක්  වෙන්කරන්න අමාරුයි.

බැංකු නිලධාරියෙක් ලෙස රැකියාවේ යෙදෙමින් කොහොමද කලා කටයුතු සඳහා කාලය වෙන්කරගන්නෙ?
මම වැඩකරන ආයතනයෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මට විවේකය ලැබෙන හැම තත්පරයකින්ම මම උපරිම ප්‍රයෝජනයක් ගන්නවා. හැම වැඩක්ම බාරගන්නේ කාලය නිසි ලෙස කළමනාකරණය කරගෙන. තාම මට ගැටලුවක් ඇතිවෙලා නෑ.

මේ හැමදේටම අමතරව ඔබ ගැන හොයාබලන විශේෂ කෙනෙක් ඉන්නවද?
මගේ වැඩත් එක්ක මට පෙම්වතියකට වෙන්කරන්න තරම් කාලයක් නෑ. ඒ නිසා තාම මම ගැන විශේෂයෙන් හොයලා බලන්න මාව බලාගන්න කෙනෙක් නෑ.

පවු‍ලේ විස්තර ගැන මතක් කළොත්
අම්මයි, තාත්තායි, අක්කයි, අයියයි, මමයි තමයි පවු‍ලේ ඉන්නෙ. ඒ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
තිළිණි මධුවන්ති
ඡායාරූප- මධුසංඛ සිරිවර්ධන
http://www.rivira.lk/edition/images/2014/05/04/sameera%20weerasinghe%20(2).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය