Powered by Blogger.

රෙබෙකාගේ ප්‍රශ්න පත්‍රයට කුසුම්ගෙන් පිළිතුරු

දැන් ඒ ගැන හිතෙනකොට ලැඡ්ජයි - කුසුම්

ශ්‍රියන්ත අයිය ගැන ඉරිසියා හිතිල නැද්ද? - රෙබෙකා



ඔවුන් බොහෝ දෙනෙක්‌ ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනියන් දෙපළක්‌. ඇය වෙදහාමිනේ ලෙසින් කවුරුත් ආදරය කළ රෙබෙකා නිර්මලී. රෙබෙකාගේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳි ඇය කුසුම් රේණු. මේ මිතුරියන් දෙපළට කතා කරන්න බොහෝ දේ තිබුණා. එයින් අංශු මාත්‍රයක තොරතුරු හිතමිතුරු සුළඟ ඔස්‌සේ මෙවර මෙලෙසින් දිගහැරෙනවා.


 * දැන් ආච්චි කෙනෙක්‌ නේද? තමන් ආච්චි කෙනෙක්‌ වුණා කියන හැඟීම හිතට දැනුණෙ කොහොමද?

ඒ හැඟීම වචනවලට පෙරළන්න අමාරුයි. මට දරුවෙක්‌ ලැබෙනකොට දැනුන දේ නෙමෙයි දුව දරුවෙක්‌ බිහිකරද්දී මගේ හිතට දැනුණෙ. එතන ආදරයන් දෙකක්‌. දුවට තියෙන ආදරයත් එක්‌ක එයා දරුවෙක්‌ බිහිකරන්න විඳපු දුක දැක්‌කම මට ඒ ආදරේ වැඩි වුණා. මම ශක්‌තිමත් දරුවෙක්‌ ලෝකයට බිහිකරල තියෙනව නේද කියන හැඟීමත් එක්‌ක ලොකු ආඩම්බරයක්‌ ඇතිවුණා.

 * කුසුම් අක්‌කට ශ්‍රියන්ත අයියා හම්බවුණේ කොහොමද?

වේදිකාවෙදි. ශ්‍රියන්තටත් මටත් එකම වේදිකා නාට්‍යයක රංගනයට අවස්‌ථාව ලැබුණා. එතැනදී ඇතිවුණු ප්‍රේමය තමයි අපි මේ තරම් දුර ගෙනාවෙ.

 * ඇත්තටම කවුද ඔය මංගල සීනුව ඉස්‌සෙල්ලම හැෙ`ඬව්වෙ?

මගේ මතකයේ හැටියට ශ්‍රියන්ත අයියා තමයි මුලින්ම මට ආදරය ප්‍රකාශ කළේ. ඉන් අනතුරුවයි, මගේ ආදරය කැමැත්ත ඔහුට කියන්නෙ.

 * එදා වේදිකාවෙ ඔබ දෙපලගෙ චරිත වුණේ දීඝගාමිණී සහ උන්මාද චිත්‍රානෙ. දීඝගාමිණී උන්මාද චිත්‍රාව සොයාගෙන ආවා කියා හිතනවද?

මෙහෙමයි උන්මාද චිත්‍රාට දීඝගාමිණී ආදරේ කළා කියල තමයි එදා හිතුණෙ. තාමත් නොකැඩී තියෙන්නෙ ඒ ආදරය තමයි. එදා ඉඳන් ශ්‍රියන්තත් මමත් විවිධ නිර්මාණවල සැමියා හා බිරිඳගෙ භූමිකාව නිරූපණය කර තිබෙනවා. මම හිතනවා මේක සාංසාරික බැඳීමක්‌.

 * වේදිකාව නිසා ඔය දෙන්න එක පවුලක්‌ වුණාට ඊට පස්‌සෙ ඔයා රඟපෑවෙ නැති තරම් නේද?

අපේ පවුලෙ ජීවන පසුබිමට හොඳ අඩිතාලමක්‌ දාන්න ඕන කියන තැන මම හිටියා. හැම වෙලාවෙම මම අම්ම කෙනෙක්‌ විදියටත් ගැහැනියක්‌ ලෙසත් හිතන්නෙ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා. ගෙදරට වෙලා දරුවො රැකගන්නයි එදා මට ඕන වුණේ. මම අනුව දරුවන්ව හැඩගස්‌සන්නයි මට ඕන වෙලා තිබුණේ.

 * ඔය කිව්වට ඒ කාලෙ ඔයා රඟපාන්න එනවට ශ්‍රියන්ත අයියා බයයි නේද?

බයට නම් නෙමෙයි. ඇත්ත එයා කැමැති වුණෙත් නෑ. මම රඟපානවට එයාලගෙ ගෙදරින් ඒකට කැමැති වුණෙත් නෑ. ගෙදරක බිරිඳක්‌ රඟපානවට විරුද්ධ මතයක තමයි, ශ්‍රියන්තගෙ දෙමාපියො හිටියෙ. මට ඒ තීරණවලට පිටුපා යන්න අවශ්‍යතාවක්‌ තිබුණෙ නෑ.

 * ශ්‍රියන්ත අයියත් එක්‌ක වෙනත් කෙනෙක්‌ ප්‍රේම ජවනිකා රඟපානකොට ඔයාට ඊරිසියා හිතුනෙ නැද්ද?

ඇත්තටම එහෙම දැනුණා. නිකන් ලෝභකමක්‌ වගේ. මට දැන් මෙයා නැති වෙන්න යන්නෙ වගේ හැඟීමක්‌ වගේ අමුතු දෙයක්‌ මට එදා දැනුණා. ඒත් එදා ගැන හිතනකොට මට අද ලැඡ්ජත් හිතෙනවා.

 * ශ්‍රියන්ත අයියට කලින් පෙම්වතුන් ඉඳල නැද්ද?

අපෝ... හිටියා. ආදරේ කළා. ඉස්‌කෝලෙ යන කාලෙ. මම දන්නෙ නෑ ඒක එහෙම්මම ගිලිහී ගියා.

 * කොල්ලො අමාරුවෙ දාලා තියෙනවද?

අපොයි ඕන තරම් අමාරුවෙ දාල තියෙනවා. හැබැයි නරක විදියට නෙවෙයි.

 * දැන් ආගමික ජීවිතයට ඔය තරම් නැඹුරුවෙලා තියෙන්නෙ ජීවිතය ගැන කලකිරිලද?

ඕකට ඉක්‌මනින්ම දෙන්න පුළුවන් පිළිතුර තමයි කලකිරුණු කෙනෙක්‌ට ගැඹුරු දහමක්‌ තේරුම් ගන්න බෑනෙ. මේක මැදුම් පිළිවෙතක ඉඳල අවබෝධ කරගන්න තියෙන දහමක්‌. මගේ ජීවිතේ කවදහරි අවසන් කාලය ගෙවෙන්නෙ මෙහෙණින් වහන්සෙ කෙනෙක්‌ වෙලා. ඒකට මම ජීවිතේ හැඩගස්‌සවමින් ඉන්නෙ.

 * මහණ වෙන්න ගෙදරින් ඉඩ දෙයිද?

මම හිතන්නෙ ඒකට ගෙදරින් විශාල කැමැත්තක්‌ අවශ්‍ය වෙන්නෙ නැති දවසක්‌ එයි. ජීවිතේ එක්‌තරා අවධියක්‌ වෙනකොට මට ලොකු බලපෑමක්‌ කරන්න බැරි විදියට දරුවන්ටත් එයාලගෙ වැඩ කටයුතු ගැන බලා ගන්න වෙන කාලයක්‌ එයි.

 * තවමත් ඇඟ සහ පෙනුම ගැන ලොකු සැලකිල්ලක්‌ දක්‌වනවා නේද?

අනිවාර්යයෙන්ම. මම රංගන ශිල්පිනියක්‌ ලෙස මගේ සෞඛ්‍යය ගැන හිතන්න ඕන. කලාකරුවක්‌ කියන්නෙ රටට අයිති පිරිසක්‌. අපි යමක්‌ රටට කරන්නෙ රූප මාධ්‍යයෙන් නෙ. එතැනදී විෂුවල් බියුටි එක තියාගන්න ඕන. වයසට උචිත පියකරු බව තියාගන්න ඕන. ඒ හැර මම මනුස්‌සයෙක්‌ ලෙසත් නිරෝගිභාවය රැකගන්න හරි උත්සාහවන්ත වෙනවා.

 * ඔයාට කොයි තරම් දුරක්‌ එක දිගට දුවන්න පුළුවන්ද?

කිලෝමීටර් දෙකක්‌ තුනක්‌ අතර දුරක්‌.

 * ජීවිතේ අවසන් කාලේ ගෙවීමට බලාපොරොත්තු වන ජීවිතයත් එක්‌ක වර්තමාන ජීවිතය පරප්සර විරෝධී නැද්ද?

කිසිසේත් නෑ. මෙහෙම හිතන්න. මට හොඳට එරමිණියා ගොතාගෙන භාවනා කරන්න බැරි සෞඛ්‍ය තත්ත්වයක්‌ තිබුණොත් මගේ බලාපොරොත්තු සුන් වෙනවා. නිරෝගී මනසක්‌ ශරීරයක්‌ තියෙන්න ඕන දහම අවබෝධ කරගන්නත්.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය