Powered by Blogger.



ලෝක නර්තන දිනය සමරමින් ශ්‍රී ලංකාවේ පැවැති ජාතික නර්තන උළෙල පසුගියදා පවත්වනු ලැබුවේ යාපනය වීරසිංහම් ශාලාවේදී ය. මෙහි සුවිශේෂත්වය වූයේ ජාතීන් අතර සුහදතාව වර්ධනය කරමින් දකුණේ සිංහල නර්තන ශිල්පීන් මෙන්ම උතුරේ දෙමළ නර්තන ශිල්පීන් ද එකම වේදිකාවේ මනස්‌කාන්ත නර්තන අංග ඉදිරිපත් කරමින් අපූරු සුහදතාවකින් යුතුව එම උළෙල සාර්ථක අයුරින් පැවැත්වීමයි. සිංහල එක වචනයකුදු නොතේරුණ ද දෙමළ එක වචනයකුදු නොතේරුණ ද ප්‍රේක්‍ෂකාගාරයේ සිටි උතුරේ දෙමළ ප්‍රේක්‍ෂකයන් සහ දකුණේ සිංහල ප්‍රේක්‍ෂකයන් එකට අසුන් ගෙන වේදිකාව මත මැවූ එකී නැටුම් ගැයුම්, වැයුම් රැඟුම් සියල්ල කිසිදු බාධාවකින් තොරව ඇස්‌ කන් පුරා රස විඳි අයුරු අගනේය.

දකුණෙන් උතුරට ගිය සිංහල නර්තන ශිල්පීන්, උඩරට, සබරගමු නර්තන සම්ප්‍රදායන්ට අයත් අපූරු නර්තන අංග ඉදිරිපත් කරද්දී උතුරේ දෙමළ දරුවන් ඉදිරිපත් කළ භරත නාට්‍ය අංග හමුවේ දකුණේ සිංහල ප්‍රේක්‍ෂකයන්ගේ දෙනෙත් සතුටු කඳුළින් පිරී ඉතිරිණි.

සංස්‌කෘතික කලා කටයුතු අමාත්‍යාංශය, සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්‌ඩලය, රාජ්‍ය නර්තන අනු මණ්‌ඩලය එක්‌ව සංවිධානය කළ මෙම උළෙලේදී සිංහල භාෂාවෙන් ප්‍රධාන දේශනය කිරීම සඳහා වේදිකාවට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කලා මණ්‌ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා, එහි රැස්‌ව සිටි සිංහල දෙමළ සියලු දෙනා විශ්මයට පත්කරමින් සමස්‌ත දේශනය ම දෙමළ බසින් සිදු කළේය. දෙමළ භාෂාවෙන් දේශනයක්‌ ලීලාම්බිගෙයි මහත්මිය විසින් ද සිදු කළාය.

නර්තන කලාව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක්‌ ඉටු කළ චෛරමුත්තු ශිවරාමලිංගම්, ක්‍රිෂාන්ති රවීJද්‍ර හා විමල් නයනානන්ද යන ශිල්පීන්ට මෙහිදී ජීවිතයේ එක්‌ වරක්‌ පමණක්‌ පිදෙන ගෞරව සම්මාන ද පිරිනැමිණි. එසේ සම්මානයෙන් පිදුම් ලැබු මේ වන විට වයස අවුරුදු අසූව ද ඉක්‌මවා සිටින ශිල්පී විමල් නයනානන්දයන් මෙහිදී තරුණ ශිල්පීන් අභිබවමින් මොනරෙකුගේ විලාසය නිරූපණය කරමින් අපූරු නර්තනාංගයක්‌ ද ඉදිරිපත් කළේය.

කලාවට ජාති ආගම් කුල භේදයක්‌ නැත. එකිනෙකා අතර සන්නිවේදනය පුළුල් කර ගැනීමට කලා නිර්මාණ තරම් විශිෂ්ට මාධ්‍යයක්‌ මේ මිහිපිට තවත් ඇත්තේ නැත. එසේ නම් බිම් අගලකට එකිනෙකා මරා දමමින් ලේ සොලවමින් නොදරුවන්ට අනාගතය අහිමි කරන ලෝකවාසී සියලු සත්ත්වයන් සියල්ල අතහැර කලාව රසවිඳිය යුතුය. එවිට ඔබත්, මමත් අපි හැමෝමත් එකම ගම්මානයක එක පවුලක මවුපිය දූ දරු ඥති හිතෛශීන් ලෙස එකිනෙකා වැළඳ ගනු ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය