Powered by Blogger.

උදයකාන්ත වර්ණසූරිය කියන්නේ සිනමා ක්‍ෂේත්‍රය තුළ ඉන්න දැවැන්තයෙක්. ඔහුගේ කලා ආගමනය පිළිබඳ බොහෝ දෙනෙක් කතා කළත් ඔහුගේ පිටුපස සිට ධෛර්යය සපයන ඔහුගේ දයාබර බිරිඳ පිළිබඳ  වැඩි දෙනෙක් දන්නේ නැහැ.
උදයකාන්ත වර්ණසූරිය සහ ශාන්ති වර්ණසූරිය විවාහ වෙලා 25 වැනි සංවත්සරය යෙදෙන්නේ අද (11) දිනයටයි. සාර්ථක විවාහ ජීවිතය පිළිබඳ දැනගන්න අපි ඒ දෙපළට කතා කළා.

ඔබ දෙදෙනාගේ 25 වැනි විවාහ සංවත්සරය අදට යෙදෙනවා. අපි අතීතය මතක් කරමු..
මමයි උදයකාන්තයි විවාහ වුණේ යෝජනාවකින්. ඒ කා‍ලේ උදය  කලා ක්‍ෂේත්‍රයේ මේ තරම් දිගු ගමනක් ඇවිත් තිබුණෙ නැහැ. මම එයාව අඳුනගත්තේ හරිම සරල කෙනෙක් විදියට. ඔහු මාව බලන්න මුලින්ම ගෙදර ආපු දවසේ මට ඔහු පිළිබඳ විශේෂ හැඟීමක් දැනුණේ නැහැ. පස්සේ අපට කතාබහ කරන්න වැඩිහිටියෝ ඉඩදීලා තිබ්බා. ඒ අනුව අපි කතාබහ කරලා අපි දෙන්නගේ අදහස් පිළිබඳ අඳුනගත්තා. ඒ දවස්වලත් මම සැලොන් එකක් කරනවා. උදය මාව බලන්න සැලෝන් එකට ආවා. කොහොම හරි අවුරුද්දක් විතර ආශ්‍රය කරලා අපි විවාහ වුණා. ඒ විවාහ බැඳීම අදටත් ශක්තිමත්.

ඔහු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිර්මාණය පැත්තට යොමු වෙනවට ඔබ කැමැත්තෙන්ද හිටියේ?
උදය ඒ දවස්වල ඉඳලම කියනවා ටෙලි නාට්‍යයක් කරන්න ඕනෑ කියලා. ඒක ඔහුට තිබුණ හීනයක්. මගේ හිතේ තිබුණේ නැහැ සිනමාකාරයෙක් එක්ක විවාහ වෙනවා කියලා. නමුත් එයාගේ කැමැත්ත ඒක නම් මම ඒකට ඉඩදෙන්න හිතුවා. මම එයාගෙන් එකම ඉල්ලීමයි කළේ. ඒ තමයි කලාව පැත්තට ගියාට අනවශ්‍ය පුරුදු හෝ හැසිරීම්වලට යොමුවෙන්න එපා කියපු එක. එයා ඒ ඉල්ලීම පිළිගත්තා. ඒ නිසා එයාගෙ කැමැත්තට මම උපරිම සහාය දුන්නා.

 ඒ කා‍ලේ ඔබලා දෙදෙනාම තරුණ වයසේ. කලා ක්‍ෂේත්‍රයට ගියාම උදයගේ තරුණ හිත වෙනස්වෙයි කියලා බය හිතුණෙ නැද්ද?
මම ඔහුව දැඩි ලෙස විශ්වාස කළා. අනික එයා හරිම බුද්ධිමත්. ගොඩක් වෙලාවට රූගතකිරීම් තැන්වලට උදය මාව එක්කගෙන යනවා. ඔහුට සමාජය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. උදය මට කවදාවත් නීතිරීති දාලා නැහැ. මට නිදහස දීලා තිබුණා. ඒ වගේම මම උදයටත් එයාගේ වැඩ කරගන්න අවශ්‍ය නිදහස දුන්නා. මට උදයව ගොඩක් විශ්වාස නිසා මම කවදාවත් එහෙම බයකින් ජීවත් වුණේ නැහැ.

විවාහ ජීවිතය තුළ ඇතිවන ගැටුම්වලට කොහොමද මුහුණ දුන්නේ?
මමයි උදයයි ඇතැම් වෙලාවල්වල එකඟ නොවන අවස්ථා තිබුණා. උදය ඉතින් ‘බලමු බලමු’ කිය කියා ඉන්නවා. මාත් ඉතින් හරි බලමුකො කියලා ඉන්නවා. අන්තිමට බලනකොට උදයට ඕන විදියට වැඩේ කෙරෙනවා. ඒ වෙනකොට මගේ හිතෙත් විරුද්ධ අදහස නැතිවෙලා. මාත් ඒකට එකඟ වෙනවා.

උදයකාන්ත වර්ණසූරිය කියන පුද්ගලයාව ඔබ හඳුන්වන්නේ කොහොමද?
ඔහු හරිම සරල කෙනෙක්. කේන්ති යන්නෙම නැති තරම්. මගේ ජීවිතයට ඉවසීම කියන දේ එකතු වුණේ ඔහු නිසා කියලා තමයි මම විශ්වාස කරන්නේ. මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම ‍පොත් කියවන පුරුද්ද ඇතිකරගත්තේ ඔහුගෙන්. ජීවිතයට අලුත් දේවල් ගොඩක් එකතු වුණේ උදය නිසා. ඔහු වගේ කෙනෙක්ව ලබන්න ගැහැනියක් පින් කරලා තියෙන්න ඕනෑ. ඔහුගේ හැම කටයුත්තක්ම හරිම පිළිවෙළයි. ඒ පිළිවෙළත් මම ඔහුගෙන් ඉගෙනගත්ත දේවල්.

උදයකාන්ත බොහෝ සම්මානවලින් පිදුම් ලද කෙනෙක්. ඔහුගේ නිර්මාණයන්වලට නිසි ඇගයීමක් ලැබුණා කියලා ඔබ හිතනවද?
ඔහුට ගොඩක් අවස්ථාවල දී නිසි ඇගයීම් ලැබුණේ නැහැ. ඒ වෙලාවට සම්මානවලට වඩා දෙයක් ඔහුගෙන් අපේ පවුල් ජීවිතයට ලැබෙන බව මම උදයට කියනවා. මොන සම්මානෙ ලැබුණත් ගෙදර අපායක් නම් සම්මානවලින් ඇති වැඩක් තියෙනවද කියලා මම උදයට කියනවා. ඔහුගෙන් මට දරුවො දෙන්නට ලැබෙන ආදරය, රැකවරණය ගැන මම කියලා දෙනවා. ඒ ගැන හිතලා සතුටු වෙන්න කියලා මම උදයගෙ හිත හදනවා.

 ජීවිතයේ ඔහුගෙන් ලැබුණ වටිනාම තෑග්ග මොකක්ද?
මිල කරන්න බැරි ඔහු මට දුන්න තෑග්ග තමයි මගේ දුවයි, පුතයි. ඒ වගේම අපේ විවාහ ජීවිතයේ බැඳීම් නොබිඳෙන එකත් ඔහුගෙන් මට ලැබුණ සුවිශේෂී තෑග්ගක්.

 උදයකාන්ත වර්ණසූරිය කියන්නේ අතිශයින්ම කාර්යබහුල පුද්ගලයෙක්. ඒ කාර්යබහුලකම එක්ක දරුවන් හා ඔබ එක්ක ඔහුගේ තිබෙන බැඳීම් ගැන කිව්වොත්?
ඔහු පුළුවන් හැම වෙලාවෙම ගෙදර ඉන්නේ. දුව ඉපදුණු දවස්වල ඔහු එතරම් කාර්යබහුල වෙලා හිටියේ නැහැ. දුව එක්කමයි හිටියේ. ඒත් පුතා ලැබෙන කාලෙ වෙනකොට උදය කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙලා නිසා තරමක් කාර්යබහුල කෙනෙක්. නමුත් හැමදේම පිළිබඳ ඔහු සොයා බැලුවා. දැන් දරුවො දෙන්නම ලොකුයි. දුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවා. පුතත් ඉගෙන ගන්නවා. උදය ගෙදර ආපු ගමන් එයාලා ගැන අහනවා. අධ්‍යාපනය ගැන අවධානයෙන් ඉන්නවා. පුළුවන් හැම වෙලාවෙම අපි හතරදෙනා විනෝද ගමන් යනවා. මේ විදියට සුන්දරව පවු‍ලේ කටයුතුවලට එකතු වෙනවා.

 ඔබගේ සාර්ථක පවුල් ජීවිතය පිටුපස තිබෙන රහස මොකක්ද?
මම පවුල් ජීවිතය ගොඩනැගුවේ මගේ අම්මව ආදර්ශයට අරගෙන. අම්මා පවුල් ජීවිතය ගෙනියන විදිම මම දැක්කා. අපේ පවු‍ලේ 7 දෙනෙක් ඉන්නවා. ඒ හැමෝටම අම්මා එක වගේ ආදරය කළා. මගේ තාත්තා ඉංජිනේරුවෙක්. අම්මා නිතරම තාත්තට ධෛර්යය දුන්නා. ඒවා දැකලා මටත් ඕන වුණා ඒ වගේ පවුල් ජීවිතයක් ගෙනියන්න. මට හොඳ මහත්තයෙක් ලැබුණා. මමත් ඔහුට හොඳ බිරිඳක් වෙන්න හැම වෙලාවෙම උත්සාහ කළා. අදහස් නොගැළපීම් වුණත් ඒවා දුරදිග අරන් යන්නේ නැතුව අපි කතාවෙලා විසඳගත්තා. අපි අතර රහස් තිබුණේ නැහැ. උදය එයාගෙ අම්මට හරිම ආදරෙයි. අම්මට ආදරේ පිරිමි තමන්ගේ නෝනට ගොඩක් ආදරෙයි කියලා මම අහලා තිබුණා. උදයත් එක්ක විවාහ වුණාම ඒක ඇත්තක් කියලා මම දැනගත්තා. මේ හැමදේම මගේ පවුල් ජීවිතය තුළ තිබුණා. ඒ නිසා මම හරි වාසනාවන්ත බිරිඳක් කියලා මට දැනෙනවා.
උදයකාන්ත වර්ණසූරියගේ බිරිඳ සමග ඒ සොඳුරු කතාබහ නිමා කරලා කාර්යබහුලත්වයෙන් මොහොතකට මිදුන උදයකාන්ත වර්ණසූරියගෙනුත් අපි මේ පිළිබඳ අදහස් විමසුවා.

 වසර 25ක විවාහ ජීවිතය පිළිබඳ අද මොනවගේ හැඟීමක් ද තිබෙන්නේ?
ඒ කා‍ලේ අද ඊයේ වගේ කියලයි මට හිතෙන්නේ. ඇය සමග මම විවාහ වෙනකොට මම වෙළෙඳ දැන්වීම් අංශයේ සේවය කළේ. මධුර පත්තරේට චිත්‍ර ඇඳලා මාව තරමක් දුරට කට්ටිය අඳුනගෙන හිටියා.
මගේ බිරිඳ තමයි මං මේ තරම් ආපු ගමනට යෝධ ශක්තිය වුණේ. විවාහ වෙලා අවුරුද්දකට පස්සෙයි මම මගේ ප්‍රථම ටෙලි නාට්‍ය කළේ. ‘මැණික් කැටයම්’ කියලා. ඒ කා‍ලේ ඇයට ඒ පිළිබඳ ඒතරම් අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ඇයට වර්ණ සංයෝජනය ගැන පුදුම දැනුමක් තිබුණා. ඒ නිසා මගේ බොහෝ චිත්‍රපටවල ඇඳුම් නිර්මාණය කරන්නේ ඇය. ඇය තමයි මට ශක්තිය වුණේ එදා වගේම අදත්.

ඇය පිළිබඳ ඔබ එදා සහ අද දකින විදිය වෙනස් වෙලා ද?
නැහැ. එදත් අදත් ඇය මට එක වගේ. මම පටන් ගත්තේ පුංචි තැනින්. එදත් ඇය මට ශක්තිය දුන්නා. අදත් ඇය මට ශක්තිය දෙනවා. සමහර වෙලාවට අදහස් වෙනස් වුණත් ඒවා අවබෝධ කරගෙන අපි ජීවත් වුණා. වසර 25ක් අපි සතුටින් ජීවත් වුණේ.

විවාහ සංවත්සරයට කොහොමද සූදානම?
විශේෂ සූදානමක් නැහැ. මම ළඟදී පවු‍ලේ කට්ටියව යුරෝපා සංචාරයක් එක්කගෙන ගියා. ඒක තමයි සංවත්සර තෑග්ග හැටියට මම දුන්නේ. ගෙදර කට්ටිය එක්ක ‍පොඩ්ඩක් එළියට ගිහින් විනෝද වෙලා එන්න තමයි බලා‍පොරොත්තුව.
සමුදිකා සේනානි හීන්පැල්ල
http://www.rivira.lk/edition/images/2014/05/11/photo-(1).jpg
http://www.rivira.lk/edition/images/2014/05/11/photo-(2).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය