Powered by Blogger.

- ප්‍රවීණ කලා ශිල්පී ජයලාල් රෝහණ

මූලික වශයෙන් නළුවෙක් ලෙස අප ඔබව දුටුවත් ඔබ ඊට වඩා පැතිරුණු අයෙක්. කලා ක්‍ෂේත්‍රය තුළ ඔබේ භූමිකාව කුමක්ද?
මම ගවේෂකයෙක්.
 ගවේෂකයෙක් වෙන්නෙ රංග කලාව අරභයාද සමාජය අරභයාද?
මම විශේෂයෙන්ම හොයාගෙන යනව ලෝකයේ ප්‍රාසාංගික කලාව පිළිබඳව. ඒ ගැන අපට යාවත්කාල වෙන්න පුළුවන් කාරණා මොනවාද? මේ උගන්වන දේවල් ඔක්කොම ඇත්තමද? යන කාරණා ගැන.
ඇත්තටම උගන්වන දේවල් ඔක්කොම ඇත්තද?
ක්‍රිෂ්ණ මූර්ති පඩිතුමා ලස්සන කතාවක් කියල තියෙනවා. අධ්‍යාපනය යනු ගුරුවරයා පන්ති කාමරයේ උගන්වන දේ ඒකම කට පාඩම් කරගෙන නැවත වරක් තවත් තැනකදී වැමෑරීම නොව ගුරුවරයා අපට උගන්වපු දේ හරිදැයි නැවත සොයාබැලීමේ අයිතියයි කියල.
 ශ්‍රී ලංකාවේ ගුරුවරයෙක් විදියට අපේ ඉගැන්වීම ඔබ දකින්නේ කොහොමද?
හැබැයි ලංකාව තුළ අපි දකිනව ඒ විදියට අලුත් දේ සොයාගෙන ගියොත් බොහෝ වේලාවට අධ්‍යාපන ලෝකෙන් ඉවතට විසි වෙන බව. අපට උගන්වපු දේවල් ගැන මත ගොඩක් තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා.
අපි හිතමු ලිඛිත ඉතිහාසය ගැන. ඒ ගැන හොයන කොට ලොකු ගැටලු අපට ඇති වෙනවා.
 මොන විදියේ ගැටලුද ඒ?
ඒ කියන්නේ ඒවා අප ඉදිරියේම එකකට එකක් ගැටෙන අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථාවල ඇත්ත මොකක්ද කියල අපි හොයනවා.
 ඒ හොයපු ඇත්ත සමාජය පිළිගන්නවද?
ඒක තමයි ප්‍රශ්නය. සමාජය පිළිගන්න අච්චුවක් තියෙනවනෙ. සත්‍යය හුඟක් වෙලාවට ඒ අච්චුවට වඩා වෙනස්. එහෙම සත්‍යය හොයාගෙන ඉදිරිපත් කළොත් ඒ අච්චු හදපු මිනිස්සුන්ගෙන් අපට දඬුවම් විඳින්නයි සිදුවෙලා තියෙන්නෙ.
 උදාහරණයක් කියන්න.
ලංකාවෙ නාඩගම් කලාව යටපත් වෙලා නූර්ති කලාව එනවා. එතකොට මේ තත්ත්වය ගැන අපට උගන්වන්නෙ නාඩගම් පිරිහීමට ලක්වෙලා නූර්ති බිහිවුණාය කියල. ඒ බව උසස් පෙළ උත්තර පත්‍ර බලන නිරීක්ෂණ පත්‍රය, ලකුණු දීමේ පටිපාටිය ආදියෙත් සඳහන් වෙලා තියෙනව. “නාඩගම්කරුවෝ බිමතින් හැසිරුණාහ” ඒ වගේම “නාඩගම්කරුවෝ යාවත්කාල නොවූහ” ආදී වශයෙන් මෙන්ම ඒවා අලුත් නොවීම නිසා මිනිසුන්ට ගෝචර වූවේ නැත ආදී වශයෙන්. හරි නම් අප මෙය ඇත්තමද කියා සොයා බැලිය යුතුයි. නමුත් අපට අපේ දරුවන්ට උගන්වන්න වෙන්නෙ ඔතන ඉඳල. නැතිනම් ඒ ළමය පාස්වෙන්නෙ නැහැනෙ. දරුවව සමත් කරගැනීමේ උවමනාවෙන් අපිත් ඒ දේම වමාරලා තියෙනවා. නමුත් ගුරුවරයා පන්ති කාමරයේ ඉගැන්වූ දේ හරිදැයි සොයා බැලීම අධ්‍යාපනයේ අයිතිය නිසා මේ ගැන සොයා බැලීමේදී නාඩගම් කලාව යට වුණේ ඇයි දැයි කියන හේතුව පෙනී යනවා.
 කුමක්ද ඒ හේතුව?
මාකටිං නිසා. නිෂ්පාදන බලවේගවල වෙනස්වීම නිසා.
 ඔබ උගන්වන විෂයන් මොනවාද?
මම විෂයන් කීපයක් උගන්වනවා.
 එතනදී සාම්ප්‍රදායික ඉගැන්වීමෙන් පිට පනින්න ඔබ උත්සාහ කරනවද?
සම්ප්‍රදායෙන් පිට ගිහිල්ල ඉගැන්නුවොත් වෙන්නෙ අපේ දරුවො අසමත් වෙන එක. හැබැයි මෙන්න මෙහෙම ප්‍රයෝගයක් මම අනුගමනය කරනවා.
මොකක්ද ඒ ප්‍රයෝගය?
දරුවනේ මෙන්න මෙහෙම ඇත්තකුත් තියෙනවා. නමුත් සමත්වෙන්න නම් ඔබට ලියන්න වෙන්නෙ මෙන්න මේකයි කියා පෙන්වල දෙනවා. අධ්‍යාපනය සම්බන්ධව අපේ විභාග සම්බන්ධව ඇති කටුක යථාර්ථයත් ඒ සමග කියල දෙනවා.
 ඔබ දැන් ප්‍රකාශ කළ නිසා අපි ඔබව
ගවේෂකයෙක් ලෙසත් දකිනවා. නමුත් ඔබ කලා ක්‍ෂේත්‍රයේ විවිධ ඉසව්වල ප්‍රාමාණිකයෙක්. ඒ ඉසව් අතර ප්‍රධාන වී තිබෙන්නේ කුමක්ද?
මගේ කලා ජීවිතයේ සම්මාන ආදිය ලැබි තිබෙන්නේ රංගනයට වඩා අංග රචනය, රංග භුමි අලංකරණය, පිටපත් රචනය ආදී කාරණාවලට. නමුත් රටේ ජනප්‍රියම මාධ්‍යය රූපවාහිනිය නිසා රටේ වැඩි ජනතාවක් මාව දන්නේ රූපණ ශිල්පියෙක් විදියට.
 ඔබේ රංගනය අරභයා ජනතා ප්‍රතිචාර කොයි ආකාරද?
අද මම කෝච්චියේ එනකොට එක් අයෙක් ඉසුරු යෝගය ගැන කතා කරල මගෙන් අහනවා වාහනයක් නැද්ද කියලා. මං කිව්වා තියෙනවා. ඒත් රුපියල් 50කට පානදුරේ සිට කෝච්චියේ ගණේමුල්ලට එන්න පුළුවන්කම තියෙද්දී රුපියල් දෙදාහක විතර පෙට්‍රල් ගහගෙන මට වාහනය පෙන්නන්න යන්න ඕන නැහැ කියල. එයා ඒ කියමනට අසතුටු වුණා.
ඔබ හිතන්නෙ ඒ කුමක් නිසාද?
දේශපාලනඥයෙක් කෝච්චියේ ගියොත් ඒ අවංක නිහතමානීකමට. අපි වාගේ කෙනෙක් කෝච්චියේ ගියොත් අපිට තියෙන නැතිකමට. ඒකත් එක විදියක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්.
 අද ලංකාවෙ වැඩිම පිරිසක් ආශ්වාදනය කරන බහුජන කලාව වී තිබෙන්නේ ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍ය කලාව පවතින තත්ත්වය ඔබට පේන්නේ කොහොමද?
කොච්චර වළපල්ලට ගිහින්ද කියනවා නම් කුණු රහටවත් එකක් නැති තත්ත්වයට අද පත්වෙලා තියෙනවා.
 ඔබ ටෙලි නාට්‍ය වළපල්ලට
ගිය කතාවක් කිව්වා. එහි තේරුම මීට කලින් හොඳ ටෙලි නිර්මාණ ධාරාවක් තිබූ බවද?
කොච්චර හොඳ ඒවා තිබුණද? අපේ ධම්ම ජාගොඩ මහත්තයා, පරාක්‍රම නිරිඇල්ල, ධර්මසේන පතිරාජ, අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි, බර්ට්‍රම් නිහාල් ඇතුළු තවත් කීපදෙනෙක් කොච්චර හොඳ නිර්මාණ කළාද?
 එතකොට බහු ජනතාව පහළ රසවින්දනයක් සහිත ටෙලි නාට්‍ය බලන්න යොමු වුණේ කොහොමද?
අධ්‍යක්ෂවරු කියල කට්ටියක් අලුතින් බිහිවීම.
 ඉතින් කලිනුත් අධ්‍යක්ෂවරු හිටිය නේද?
ඒ අධ්‍යක්ෂවරු කලාකාරයොනෙ. මම කියන්නෙ එහෙම නැතුව අධ්‍යක්ෂවරු කියල කියා ගන්න අය ගැන.
මේ අධ්‍යක්ෂවරු බිහි වුණේ කොතනින්ද?
ටෙලි නාට්‍යයක තේ අදින්න එන ගමන්. කැමතිනම් පිළිගන්න සමහර නළු නිළියන්ගෙ ගෙවල්වලට හාල්, ‍පොල් ඇදපු අයත් අධ්‍යක්ෂවරු වෙලා ඉන්නවා.
 ඒ කියන්නෙ නළු නිළියන්ට පුළුවන් අධ්‍යක්ෂවරු පවා බිහිකරන්න කියන එකද?
අනේ ඔව්
 සමහර ටෙලි නාට්‍ය ටික දවසක් යද්දී ප්‍රධාන නළුවා, නිළිය, අධ්‍යක්ෂ ආදීන් නැතිවී ගොස් වෙනත් අය බිහිවන කතාව ඇත්තද?
අනේ ඔව් මටත් එහෙම වෙලා තියෙනවා. දිගින් දිගටම ඇදෙන ටෙලි නාට්‍යයක රඟපෑවා ඇති වුණාට පස්සෙ, ඊළඟ කොටසෙ මගෙ චරිතය මරා දාල තිබුණා.
මෙවැනි තත්ත්වයකට පසුබිම මොකක්ද?
පළමුවැන්න කුණුහරුපයක් බවට පත්වුණු විවෘත ආර්ථිකය. දෙවැන්න ඒ නිසා ඕනෑම කෙනෙකුට මේ කාර්යයේ නියැලෙන්න අවස්ථාව තිබිම.
ඔබ මෙරට සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකු ලෙස ටෙලි නාට්‍ය බලන්නෙක් යැයි සිතුවහොත් මේ තියෙන ටෙලි නාට්‍ය ඔබට එපාවෙන්න බලපාන මූලිකම කාරණය මොකක්ද?
ඉස්සෙල්ලම මේව මේ ලෝකෙ සිද්ධවෙන දේවල්ද කියල ප්‍රශ්නයක් එනවා. අනේ මේ මිනිස්සු කරන්නෙ කොච්චර බොරුවක්ද, කියල කල්පනාවකුත් ඇතිවෙනවා.
 ඒක බලන් ඉන්න බැරි වෙන්නෙ ඇයි?
ස්වභාවික හැසිරීමක් නැතිකම. ව්‍යාජ බව ඉස්මතුවීම.
 ඔබ හැසිරීම යනුවෙන් හැඳින්වූවේ රංගනයද?
ඔව් රංගනය තමයි රංගනය වෙනම පුරුදු පුහුණු විය යුතු දෙයක්. ඒ හැර කලාව සම්බන්ධ සියලු දේවල් පුරුදු පුහුණු විය යුතු දේවල්. නමුත් මේ කිසිම පුරුදු පුහුණුවීමක් අවශ්‍ය නැහැ ලිංගිකත්වය මුල් වෙනවා නම්. මෙය හැමදෙනාටම අදාළ නැතත් අද ටෙලි නාට්‍ය නුපුහුණු පිරිස් රඟන නීරස දෙයක් බවට පත්වන්න එයත් හේතුවෙලා. කාර් එකේ බොනට්ටුව මත තබාගෙන මෙගා ටෙලි නාට්‍ය ලියන රටක බලා ඉන්න පුළුවන් ටෙලි නාට්‍ය බිහි වෙනවද? කලාව ජීවිතය රැකගන්න කිරීමත්, ජීවීන් උදෙසා කිරීමත් එකක්. අද ටෙලි නාට්‍ය ජීවිතය රැකගන්න කරන කටයුත්තක්. රූපවාහිනී නාලිකාවල ඉන්න අයත් මාකටිං කියන්නෙ මෙන්න මේවට.
ඉහළ සිට පහළටම ටෙලි නාට්‍ය ගැන තීරණයක් ගන්නෙත් ඒ ගැන පුරුදු පුහුණුවක් නැති අය. ඒ තීරණවල ප්‍රතිඵලත් මේ ටෙලි නාට්‍ය කලාවේ පරිහානියට හේතු වෙලා තියෙනවා. හරියට තෝරා බේරා ගන්න පුළුවන් අය ඉන්නව නම් අපූරු වස්තු විෂයන් මේ රටේ තිබෙනවා. නිර්මාණ ශිල්පීන් ඕනෑ තරම් මේ රටේ ඉන්නවා.
 ටෙලි නාට්‍ය රංගනයේ ප්‍රධානතම දුබලතාවයන් වශයෙන් ඔබ දකින්නේ මොන මොන කාරණාද...?
රඟපානවා වෙනුවට රඟ නොපාන්නේ කෙසේද යන්න ගැන පෙන්වා දීම යන කාරණය.
 ඒ රංගනය පැත්තෙන්, වෙනත් අංශ ගැන ඔබේ අදහස මොකක්ද..?
ජම්ප් කට් ලොරියයි, වම දකුණ කැපෙන තැන් අධ්‍යක්ෂවරයා දන්නෙ නෑ. නළුවටත් කරන්න දෙයක් නෑ.
හුඟක් ටෙලි නාට්‍යවල අධ්‍යක්ෂවරයාගේ කටයුත්ත කරන්නේ කැමරා ශිල්පියා. සමීප රූපය, දුර රූපය කියන එකවත් දන්නේ නැති ඒ ඒ රූපරාමුවලදී චරිත නිරූපණයෙ යෙදිය යුත්තේ කොහොමද කියා නොදන්නා නළුවනුත් අධ්‍යක්ෂවරුනුත්
පිරුණු ක්‍ෂේත්‍රයක හොඳ ටෙලි නාට්‍ය බලා‍පොරොත්තු වෙන්නෙ කොහොමද...?
ඔබට ඔය වගේ අධ්‍යක්ෂවරු යටතේ ලැබුණු අත්දැකීම් නැද්ද...?
අනේ  මම එහෙම අය යටතේ රඟපාන්න යන්නෙ නෑ. සුසිරන්ද සිල්වා වගේ
අධ්‍යක්ෂවරු මට හම්බවෙලා තියෙනවා. මම ජීවත් වෙන්න ටෙලි නාට්‍යවල රඟපාන්නෙ නැහැ. මට රැකියාවක් තියෙනව.
කලා ක්‍ෂේත්‍රයේ ඔබේ ආත්ම ප්‍රකාශනය සඳහා වැඩියෙම හුරු කුමන මාධ්‍යයද...?
වේදිකාව.
රූපවාහිනී ටෙලි නාට්‍යය වැනි බහුජන කලාවක ගුණාත්මක භාවය ඇති කිරීම ඒ තරම් අසීරු කාරණාවක්ද...?
ඕනෑකම තියෙනව නම් සීයට දාහකින් පුළුවන්..මම කියන්නෙ මට අවස්ථාවක් දෙන්න මම වැඩක් කරල පෙන්නනවා.
ඔබට එවැනි අවස්ථාවක් නොලැබුණේ ඇයි...?
මේ ක්‍ෂේත්‍රය ඇතුළෙ වළල්ලක් හදාගෙන කඳන් පණුවො වගෙ කඳ කාගෙන යන පණුවො ගොඩක් ඉන්නවා. ඒ අය අපි වගේ මිනිස්සු වැඩක් කරනවට කැමැති නෑ.
ඔබ ටෙලි නිර්මාණකරණයට සම්බන්ධ වෙලා නැතිද..?
1987 දී අඳුකොළ නමැති ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂණයට සම්බන්ධ වුණා. ඒ කටයුත්ත කළෙත් ඕ.සී.අයි.සී. පාඨමාලාව හදාරාල ඉගෙන ගෙනයි.
ඔබේ ආරම්භය වුණෙත් වේදිකාවද..?
ඔව්  අවුරුදු 13 දී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙ වේදිකා නාට්‍යයක තමයි මුලින්ම රඟපෑවේ.
 අද තරම් අපේ රටේ ප්‍රධාන පෙළේ කලාකරුවන් රජය සමග සිටින කාලයක් නැති තරම්. ඉතින් අපට මේ බහුජන කලාව බැබලෙන තත්ත්වයකට ගේන්න බැරි ඇයි...?
සත්‍ය වශයෙන්ම ඔවුන්ට සතපහක උවමනාවක් නැහැ.
 කලාකාරයො ආණ්ඩුවට කඩේ යාම ඉතා සාමාන්‍ය දෙයක්. ඔබට කතා කළේ නැද්ද...? කතා කරල ගියෙ නැද්ද...?
යනව නම් හොඳට යන්න තිබුණා, නමුත් මම කලාව භාවිතා කරනවා නම් කිසිම දේශපාලන පක්ෂයකට නොයා යුතුයි කියල තේරුම් අරගෙනයි ඉන්නේ.
 මෙම තේරුම් ගැනීම සිදුවුණේ කොහොමද...?
සන්ධානය සඳහා වර්ෂ 2000 දී සහ 2005 දී මම වේදිකාවට නැග්ගා. 2000 දී කලාකරුවෝ ජනතාව අමතයි කියල නුගේගොඩ සුපර් මාර්කට් එක ඉදිරිපස රැස්වීමක් තිබ්බා. එතකොට තිබුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඒ මොහොතෙ ජනතා කලාකරුවො වෙනුවෙන් කතා කරන්න හිටියෙ පස්දෙනයි.
 කවුද ඒ පස්දෙනා.
ෂෙල්ටන් පයාගල, සුනිල් මාධව ප්‍රේමතිලක, ලූෂන් බුලත්සිංහල, ගුණදාස කපුගේ, පරාක්‍රම කොඩිතුවක්කු සහ මම. ෂෙල්ටන් පයාගල මහතා එතනට පැමිණියාට කතා කළේ නැහැ.
මම එදා පැයක් කතා කළා. ජනතාවට කලාකරුවො කතා කරන විදියට. මේ ‍පොදු සතුරාගෙන් අපි ජයගත යුතු බව අපි අවධාරණය කළා.
මේ රැස්වීමට පහුවදාම වගෙ පරාක්‍රම කොඩිතුවක්කු මහතා තමා මෙයින් ඉවත් වන බවට රාවයට ප්‍රකාශයක් දී තිබුණා. ජනතා කලාකරුවො වෙනුවෙන් කතා කරපු දේ ගැන දුක්වන බවත් එතුමා කියා තිබුණා. ප්‍රේමසිරි කේමදාස මහතා එන බව ‍පෝස්ටර්වල තිබුණත් අසනීප තත්ත්වය නිසා නොඑන බව දන්වා තිබුණා.
අන්තිමට කතා කරන්න ඉතිරි වුණේ අපි පස්දෙනා විතරයි. කතා කරද්දිත් යටින් ඇවිත් කියනව පරිස්සමින් කතා කරන්න කොහෙන් ඇවිත් ගහයිද දන්නෙ නෑ කියලා.
 මේ රැස්වීමෙන් ඔබ නැවතුණාද...?
නැහැ.  2005 දී නුගේගොඩම තව රැස්වීමක් තිබුණා ජනාධිපතිවරණයට. රේණුකා බාලසූරියයි, මමයි තමයි නිවේදන කටයුතු කළේ. එදත් සුනිල් අයිය හිටියා. කපුගේ මහත්තය ආවෙ නැහැ. මුල් පස්දෙනා අතර නොහිටියත් රොජර් සෙනෙවිරත්න ඇවිත් හිටියා. එදා ක්වීන්ලන් සිනමා ශාලාව අසල හදල තිබුණ වේදිකාවේ ඇඟිල්ලක් ගහන්න ඉඩ මදි.
 ඇයි..? වේදිකාවට එහෙම සෙනග පිරුණේ...?
සෙනග නොවෙයි, මාර ජනතා කලාකරුවො තොගයක්. ඇවිල්ල ඉන්නව පුටු නෑ. ලොකු වැඩක්. ආචාර්යවරු මහාචාර්යවරු පවා. දැන් වැඩේ හරිනෙ. වැඩේ ඉවර වෙලා අපිත් ගෙදර ආවා. ඒ ඡන්දෙනුත් සන්ධාන ආණ්ඩුව ආවා.
 ඊට පස්සේ...?
එච්චරයි... අර මුලින් හිටපු පස්දෙනා මෙන්න පැත්තකට විසි වෙලා.
ස්ටේජ් එකේ හිටපු අය..
මෙන්න මොනවදෝ වගයක් සිද්ධ වෙනවා. ජනතා කලාකරුවො අතරින් ආණ්ඩුකාරවරු බිහිවෙනවා. අමුතු අමුතු තනතුරු දෙනවා.
ඔබලාට මොකුත් ලැබුණේ නැද්ද...?
ඒ අතරින් අපි තුන්දෙනෙකුට එනම් ඩබ්.එස්.විජේසිංහ, ෂෙල්ටන් පයාගල සහ මම කියන තිදෙනාට අධ්‍යක්ෂ මණ්ඩලයකට දාන්න සූදානම් කියලා දැනුම් දුන්නා. අපි සිළුමිණ පුවත්පතට ලිපියක් යැව්වා අපි මේ කැපවීම කළේ ජනතා කලාකරුවන් වශයෙන් මිසක් මේ හරහා තනතුරු ලබා ගන්න නොවෙයි කියලා. ඒකත් එතනින් ඉවරයි.
 ඔබලා ජනතා කලාකරුවන් ලෙස බලා‍පොරොත්තු වුණේ මොනවාද...?
කලාවේ සමෘද්ධිය..
 එය නොලැබුණේ ඇයි...?
මොකක්දෝ විකෘතියක් වෙලා සියල්ල කණපිට හැරුණා.
 2005 දී නුගේගොඩ ස්ටේජ් එක හවුස් ෆුල් කළ අයත් ජනතා කලාකරුවෝ නේද...?
අනේ  එහෙම කියනවා. මොකද ඒ අය පඩි ගන්නෙ ජනතාවගේ සල්ලිවලින්නෙ..

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය