Powered by Blogger.

සැවැත්නුවර... නම නොදන්නා ජනපදයක මං බලාගෙන හිටියා. බොහෝම සශ්‍රීක පුරවරයක්... ගහවැල, පවා හිටියේ සොම්නසින්... කහ පාට, කොළ පාට එක්කාසු වුණු වෙල් ගොයම සුළඟට නැළවුණේ සාරවත් තාලෙට... ගොවිලියන්, ගොවියන් පවා හුස්ම ගත්තේ මේ ලොව වසන ප්‍රීතිමත්ම මිනිසුන් ලෙසින්...
ඔරලෝසුවේ ‍පොඩි කටුව ටිකක් එහාට ගිහින් ලොකු කටුව වටභාගයක් කැරකෙන්න ඇති. මට හුස්ම ගන්න අමතක වුණා. කඳුළු තිබුණේ වැටෙන්න ඔන්න මෙන්න ඊළඟ තත්පරේ දී මගේ කඳුළු සීතලට මිට මොළවාගෙන හිටපු අත්දෙක උඩට වැටුණා.
මගේ කඳුළ මතින්... තාරාගේ නික්ම යාම මතින් තිරය වැහුණා.

ඊළඟ මොහොතෙ දි මං හිටියේ වේදිකාවේ... කඳුළු ඇස් වහන් කරගන්න මට ඕන වුණේ නැහැ...
“නියමයි.”
මගේ මුවින් පිටවුණා
“ඒ කියන්නේ අපේ රඟපෑම සාර්ථකයි.”
රුක්සලා මැද්දේගොඩ කිව්වා.
“ඔයත් විශිෂ්ටයි”
ඊළඟට මං ගියේ ධාරක වුණු කපිල පළිහවඩන ළඟට...
“බොහෝම ස්තුතියි...”
කපිල් පළිහවඩන පැවසුවේ සිනාමුසුව..

“තාරා... ධාරක විදියට නෙළුම් ‍පොකුණෙන් නැවත උත්පත්තියක් ලබා ගන්න හේතු වුණු මූලයන් මොනවාද?” මම අහුවා.
“මං පුංචි කා‍ලේ ඉඳන් නර්තනයට හරි කැමැතියි... මම විතරක් ‍නෙවෙයි, මගේ සොයුරාත්, සොයුරියත් දෙන්නම... උසස් පෙළ වෙනකම් පාසල් අධ්‍යාපනයත් ලැබුවට පස්සේ තමයි මට තේරෙන්නේ මගේ ඇඟේ තියන්නේ නර්තනය කියලා. ඉන්පස්සේ මං දිගටම නර්තන සම්ප්‍රදායන් පුහුණුවීම්වල යෙදුණා. ඒ කාලෙදි තමයි අරකවිල නර්තන පදනමට ගුරුවරියක් විදිහට සම්බන්ධ වෙන්නේ. එතනදී ජානකී අක්කා මට ආරාධනා කළා පටාචාරා වේදිකා නාට්‍යයට මගේ දායකත්වය ලබා දෙන්න කියලා. ඊට පස්සේ පටාචාරා ගැන ලියැවුණු බෞද්ධ සාහිත්‍යය කියවලා, ජානකි අක්කාගේ තිර රචනයට ගැළපෙන්න ප්‍රේක්ෂකයාට විවිධත්වයක් ඇතිවෙන ආකාරයට නර්තන අංග ගණනාවක් නිර්මාණය කළා. ඊට අමතරව  මගේ භාවමය ඉරියව්, හැඟීම් රංගන වින්‍යාසය අනුර අයියා (අනුර ද සිල්වා) ජානකී අක්කා සෑහෙන්න මුවහත් කළා.”

රුක්සලා කතාව නතර කළේ ධාරකට ඉඩ දෙමින්.
“මම පාසල් යන කාලෙදිම තමයි අවබෝධ කරගත්තේ මං ඉපදිලා ඉන්නේ නටන්න කියලා. නමුත් මම මුල ඉඳන්ම ආසාවුණේ බැ‍ලේ නර්තන සම්ප්‍රදායට... දිගින් දිගටම බැ‍ලේ නර්තන පුහුණුවීම් කරන අතරතුරේ මට ජර්මනියේ නූතන නර්තන පුහුණුවකට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඊට පස්සේ ලංකාවට ඇවිත් “නටන්ඩ” නර්තන ඇකඩමිය පවත්වාගෙන යද්දී තමයි ජානකී මට ධාරකගේ චරිතයට ආරාධනා කළේ. ධාරකගේ චරිතයට පණ ‍පොවන ගමන් අංග කිහිපයකින් නර්තන නිර්මාණ දායකත්වයක් පටාචාරාට ලබා දෙන්න මට පුළුවන්කම ලැබුණා.”

කපිල පැවසුවේ ධාරකගේ කළල සමය සිහි කරමින්.
“ප්‍රේම් ජොෂුවාගේ, ආන්ද්‍රෙගේ සජීවී සංගීතමය අත්දැකීම් තිබුණට මේ තරම් අග්‍රගණයේ නර්තනයත් සමග මුසුවුණු වේදිකා නාට්‍යක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා තාමත් මට සැක සහිතයි. වෙනත් නිර්මාණයන් හා සැසඳීමේදී.
“ඇත්තටම ඒක අපේ කැපවීම හා උනන්දුව, ආශාව. ඒ වගේම ජානකී අක්කා ඇතුළු පටාචාරා කණ්ඩායමේ දක්ෂතාව. අපේ නර්තනය ගැන විතරක් ‍නෙවෙයි, ආලෝකය, වේදිකාව, ඇඳුම් පැලඳුම්, කටහඬ, රංගනය මේ හැමදේම ගැනම විශාල පරාසයක පුහුණුවක් අපිට ලැබුණා. අපි එකිනෙකාගේ අඩුපාඩු හදන්න පුළුවන් වෘත්තීය මට්ටමෙන් ප්‍රවීණ කලාකරුවන් කණ්ඩායමක් වේදිකාව පිටිපස්සේ හිටියා.”

රුක්සලා පැවසුවේ ආඩම්බරයෙන්.
“ඉන්දියානු සංස්කෘතිය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රහට පුරුදුවුණු ප්‍රේක්ෂකාගාරයක දිගහරිද්දී අභියෝගයක් වෙයි කියලා හිතුණේ නැද්ද?”“මෙහෙමයි අපි වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පීන් ලෙස විවිධ කලා සම්ප්‍රදායන් ඇසුරු කරනවා. එහිදී ඉන්දියාවද යුරෝපයද කියලා වෙනසක් නැහැ.  එකම දේ අපේ ඇඟේ හැඩතල හා රිද්මය හසුරුවන ආකාරය ඉරියව් භාව ප්‍රකාශනයන් සමග. අනික මොන සම්ප්‍රදාය ආභාසය කරගත්තත් අපේ ඇඟෙන් ඒක පිටවෙන්නේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් හා අපිටම ගලා යන වින්දන වපසරියක් එක්කයි.” කපිල පැවසුවේ බොහෝම පැහැදිලි හඩින්.

“මොහොතකටවත් හිතුණේ නැද්ද පටාචාරාට සාධාරණයක් ඉෂ්ට කරන්න බැරිවෙයි කියලා.”
මුලදී බය හිතුණා. මොකද මං අරකවිල නර්තන පදනමේ නර්තන ගුරුවරියක් වගේම ගිණුම් අංශය භාර මටයි. එතකොට වියදම් වන හැම රුපියලකටම වගකියන ගමන් පුංචි දරුවන්ගේ නර්තන අංගයන් නිර්මාණය කරමින් පටාචාරා ලෙස මගේ භූමිකාව කළ යුතුව තිබුණා. එතැනදී මං දැනගෙන හිටියා මං අසාර්ථක වුණොත් වෙන අලාභය හා කලා හානිය ගැන. මොකද පටාචාරා කියන්නේ ජානකී අක්කගේ ජීවිතයේම කඳුළු හා දහඩිය මතින් බිහිවුණු කළලයක්... පීටර් හිල් ඒ සඳහා මුදල් දායකත්වය ලබා දෙන්නේ. විදේශිකයෙක් විදිහට ගැමි දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා... මේ හැම මිනිසකුගේම අවංක උත්සාහය මගේ භූමිකාව තුළින් අඩපණ කරන්න මට ඕන වුණේ නැහැ.

පටාචාරා විදිහට ඇඳගෙන වේදිකාවට පිවිසෙන්න හදද්දී මට ලොකු ශක්තියක් හිතට ආවා. හැම ගැහැනියක්ම නියෝජනය කරන්න ලැබුණා කියලා ආඩම්බරයක් දැනුණා.”
රුක්සලා පැවසුවේ දිලිසෙන ඇස් දෙකින්...
“ධාරක විදිහට වේදිකාවට එන අවසාන තත්ත්පරේ දී මොකද හිතුණේ”

මම නිර්මාණයක් සඳහා වේදිකාවට නගින හැම අවස්ථාවක්ම අලුත් අත්දැකීමක්. පටාචාරා වෙනුවෙන් සෑහෙන්න කැපවීම් පුහුණුවීම් කළා. මුලදී මමත් ජානකීට කිව්වා මට නටන්න පුළුවන් වුණාට රඟපාන්න බැහැයි කියලා. ඒත් එයාට සුවිශේෂී හැකියාවක් තියෙනවා. අපෙන් එයාට අවශ්‍ය රංගන වින්‍යාසය ලබා ගන්න. කොහොමටත් මං ඒ කා‍ලේ ගත කළේ ධාරක විදිහට. චරිතයට අවතීර්ණ වෙන හැම මොහොතකම මං හිතනවා සිටු කුමරියක්, දුප්පත් දර පළන්නෙක් සමග පලා යන්න එන්න හිතෙන්න තරම් ඒ පිරිමියාට මොනතරම් පෞරුෂයක්, විශේෂත්වයක් තියෙන්න ඕනිද කියලා. ඒ වගේ සිතුවිලි ධාරාවක් මගේ ඔළුව ඇතුළේ නිතරම වැඩ කළා.”

කපිල කිව්වේ ධාරකගේ හටගැන්ම ගැනයි.
“ඇත්තටම පටාචාරා කියලා හිතුණේ නැද්ද?”
මං ඇහුවේ රුක්සලාගෙන්...

“බබෙක් හම්බවෙන්න ඉද්දී ඉන්න හැටි, තරුණිය ගැහැනිය, මවක් වුණාම වෙනස්වෙන සියුම්ම  ඉරියව්ව පවා අනුර අයියා - ජානකී අක්කා මට කියලා දුන්නා... ධාරකගේ මළමිනිය බදාගෙන අඬද්දීයි, දරුවා ගඟේ ගහගෙන යද්දීයි මට ඒ හැම පුහුණුවීමක්ම යටගිහින් ඇත්තටම ඇඬුණා. මං කෑගැහුවේ හදවතින්මයි.”

වෙන්න ඇති, ඒ අවස්ථාවලදී මගෙත් හදවත වෙව්ලුම්කෑවා. තාරාගේ විලාශයට ඇස් දෙක ඉරිතැළුවා....” මගේ හිත කිව්වා
“මටත්.... ඒ මොහොතේදී මොහොතකට අමතක වුණා මේක රංගනයක් බව... මට ඇත්තටම දැනුණේ නයෙක් දෂ්ට කරලා, මාව මැරුණු බව. ඇඟ සීතල වෙලා අත පය පණ නැතිකරගන්න පුළුවන් වුණේ රංගනයට එහා ගිය යථාර්ථයක් ආත්මයටම දැනුණ නිසයි.” කපිල පැවසුවේත් හැඟීම්බරව.

ජානකී... ඔබයි පටාචාරාගේ තිඹිරිගෙය. ගෙවූ ජීවිතයේම කැපකළ විශිෂ්ටතම නිර්මාණය. ගර්භාෂයක් ඇතුළේ පටාචාර බිහිවුණු හැටි, පහසු මගක් නම් නොවෙන්න ඇති.? පීටර්, රුක්සලා, කපිල, අනුර ද සිල්වා, ශ්‍රී ලාල් පෙරේරා මිථුන් ගුප්තා ඇතුළු මුළු පදනම ම ඒ සඳහා වගකිවයුත්තන්. ඔවුන්ගේ හැම දහඩිය බිංදුවක්ම පසුගිය කාලයේදීම කැප කළේ පටාචාර වෙනුවෙන්. හැමෝම එක වගේ වෙහෙසුණා. රුක්සලා වගකීම් රාශියක් දරමින් නර්තන නිර්මාණය කළේ විශිෂ්ට ආකාරයට. කපිල, අනුර, ශිලාල් එකතුවෙලා මගේ පටාචාරා එළීම විවිධත්වයක් ඇතිව ප්‍රේක්ෂකයාට කම්මැලි නැතිව බලන්න කල්පිතය යථාර්ථයක් මට්ටමට ගෙන එන්න නර්තන අංගයන් නිර්මාණය කළා. ආමග දුෂ්කරයි, ඒත් ප්‍රතිඵලය අති විශිෂ්ටයි. ජානකී අවසාන වශයෙන් පැවසුවේ සතුටු සුසුම් මැදින්...

දුප්පත් - ‍පොහොසත්
ආදරය - විරහව
ඇතිවීම - නැතිවීම
එකම ලෝක චක්‍රය - විවිධ කාලවල කැරකෙනවා
ටකස්- ටකස් - රුක්සලා - පටාචාරද
කපිල - ධාරකද
මොහොතකට එකම වේදිකාවේ
පාෂාණභූත වෙනවා
ධාරකගේ හද ගැස්මට - මගේ පපුව ගැහෙනවා
තාරාගේ වැඳුම් කෙඳුරුම් - මගේ මුවින් ගිලිහෙනවා
සියලු දේ අනිත්‍යයි - තිරය වැහෙනවා
සියලු දේ අනිත්‍යයි - මටත් මෙනෙහි වෙනවා
විශිෂ්ටයි - රංගනයට එහා ගිය පටාචාරාට කරන්නට
හැකි වූ මේ විප්ලවය - අනිත්‍ය බව
දීර්ඝකාලීන බණ - භාවනාවලින් තොරව
මේ තරම් ඉක්මනට වටහා දුන්නාට
ගැහැනියකගේ - පිරිමියකුගේ
සෝ සුසුම් ඉඟි බිඟි මැදින්...
යන සංසර ගමනේ...
ඉතිං අපේ යුගයේ නැවතත් අවුරුදු 2500 කට පෙර සිටි පටාචාරා මගේ දෘෂ්ටිවිතානය මත මොහොතකට පෙර ප්‍රතිබිම්භ ගත වූ බව පමණක් ලියා තබමි.
රුවන්ති පෙරේරා
ඡායාරූප-මැන්කන් ගුණසේකර
http://www.rivira.lk/edition/images/2014/05/18/patachara%20drama%20(2).jpg
http://www.rivira.lk/edition/images/2014/05/18/patachara%20drama%20(3).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය