Powered by Blogger.

විවිධවූත් නැවුම්වූත් කතන්දර චිත්‍රපට කර්මාන්තයට එකතු කරන සිනමාපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණකුලසූරිය  හාස්‍ය උත්පාදක චිත්‍රපටයක් පසුගියදා සිනමා කර්මාන්තයට එකතු කළා. ‘බහුභූතයෝ’ හාස්‍ය චිත්‍රපටයෙන් පසු උදය කාන්තගේ හාස්‍ය උත්පාදන නිර්මාණය වෙන්නේ කොස්තාපල් පුඤ්ඤසෝමයි. කොස්තාපල් පුඤ්ඤසෝමට පණ ‍පොවන ඔහුත් රංගන ක්‍ෂේත්‍රයේ සිටින දැවැන්තයෙක්. පරිපූර්ණ රංගධරයෙක්. ඔහු නමින් මහේන්ද්‍ර පෙරේරායි.
මහේන්ද්‍ර රංගනයට පෙම් බඳින්නේ ගාමිණි ෆොන්සේකා මහතාගේ රංගන වින්‍යාශය නිසයි. රංගන ශිල්පියෙක් වෙන්නට හීන දකින මහේන්ද්‍ර ජයන්ත චන්ද්‍රසිරියන්ගේ වේදිකා නාට්‍යයකට පිවිසීමෙන්් නළු හීනය සැබෑ කරගන්නට හැකියාවක් ලැබෙනවා. පසුව 1993 දී නෙළුම් හා සමන්මලී චිත්‍රපටයේ චරිතයක් රඟපාමින් සිනමා නළුවකු වන ඔහු බඹරවලල්ල, මිල්‍ලේ සොයා, ගාමිණි, සුපර් සික්ස්, මචං,  හාට් එෆ් එම්, බහුභූතයෝ, අභිනික්මන, ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපට බොහෝමයක විවිධ චරිත සඳහා පණ ‍පොවන්නත් ටෙලිනාට්‍යවල රඟපාන්නත් අවස්ථාව උදාකර ගන්නවා.

ඔහු දැන් අති දක්ෂ රංගධරයෙක් මෙන්ම කටහඬ හා රංගනය පුහුණු කරන හොඳම ගුණය.මේ දිනවල වැඩිපුරම ප්‍රතිචාර ලබන පුඤ්ඤසෝම ගැන කතා කරන්න අපි කල්පනා කළේ ඒ නිසයි. රංගනය ගැන කතා කරන මහෙන්ද්‍රගේ තොරතුරුයි මෙසේ පෙළගැසෙන්නේ.

මහේන්ද්‍ර මේ දිනවල ප්‍රතිචාර ලබන්නේ පුඤ්ඤසෝම නමින් නේද?
ඔව්. හුඟක් ප්‍රතිචාර ලැබෙනවා. හුඟක් අය කතා කරන්නේ පුඤ්ඤේ කියලා. උදායකාන්තගේ බහුභූතයෝ චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා මේ චරිතයටත් ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවා. ඒත් මේ තරම් ප්‍රතිචාර බලා‍පොරොත්තු වුණේ නැහැ. මේ චිත්‍රපටය සරල සුන්දර කතාවක්. අවංක ‍පොලිස් නිලධාරියෙක් වයිෆ්ට ආදරෙයි. ඒ දේ තුළ හාස්‍යය කියන දේ මතු කරන්න උත්සාහ ගන්නේ මගේ ශරීර කූඩුවේ තියෙන හැකියාවෙනුයි. වචනවල ලොකු හාස්‍යයක් නැහැ. සිදුවීම් හරහා තමයි ඒ හාස්‍ය මතුවෙන්නේ. ඉතිං මිනිසුන්ට සමීප වෙන්නේ ඒ නිසා වෙන්න ඇති.

උදයාකාන්ත වර්ණකුලසූරිය කියන්නේ රංගන ශිල්පියකුගේ උපරිම රංගන වින්‍යාසය කැමරාව ඉදිරියේ තබන්න උත්සාහ දරන කෙනෙක්. ඔහු ඔබේ රංගනය ගැන තෘප්තිමත් වුණාද?
 මගේ රංගනය ගැන මම සියයට සියයක් තෘප්තිමක් වුණා. ඒ චරිතය මවපු උදයකාන්තත් ඒ විදිහටම තෘප්තිමත් වෙන්න ඇති.  මොකද ඔහු ඔහුට ඕන ෂොට් එක එනකල් රංගන ශිල්පියෙක් වේවා රංගන ශිල්පිනියක් වේවා ඔවුන්ගේ රංගනය ස්ථීර කරන්නේ නැහැ. දර්ශන වාර කීයක් ගියත් ඔහුට ඕන දේ ගන්නවාමයි. මම හිතනවා මගෙන් ගන්න ඕන රඟපෑම ඔහුගේ අධීක්ෂණය තුළදී ඔහු ගත්තා. ඔහු සාර්ථක අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ ඒ නිසයි. මම මේ තරම් ප්‍රතිචාර ලබන්නේ ඔහුගේ තෘප්තිමත්භාවය හරහායි.

හාසේ‍යාත්පාදක චිත්‍රපටකරණය තුළ එදා හා අද ලොකු වෙනසක් දක්නට ලැබෙනවා. ඒ වෙනස ගැන ඔබ දරන අදහස කොයි වගේද?
එදා හාස්‍ය උත්පාදනය කළේ නිරායාසයෙන්. අද බොහෝ රංගන ශිල්පීන් හාස්‍ය උත්පාදනය කරන්නේ ආයාසයෙන්. එදා ප්‍රයෝගයන් උපයාගෙන තිබුණා. මෑතකදී බිහිවුණ නිර්මාණවල  හෝ ඒවායේ රඟපෑ අයගෙන් බහුතරයක් ආයාසයෙන් හාස්‍ය නිපදවනවා. පරණ සිනමාවේ විදිය දැන් පරම්පරාවට මතු කරන්න ඇත්තටම අමාරු වෙලා තියෙන්නේ ඒ නිසයි. යුගය වෙනස් වෙලා. එතැනදී විශිෂ්ට කියන දේ අද විවිධ විදිහට භාවිත කරනවා. ඒ නිසා අලුත්ම විදිහක් අද හොයාගෙන යන්න වෙලා.
ඒ වගේම කියන්න ඕන අපි හිතන දේට හිනා නොවන අපි නොහිතන දේට හිනාවෙන පිරිසක් ඉන්නේ. එතනදීත් හාස්‍ය කොයි විදිහටද භාවිත කරන්නේ කියන ප්‍රශ්නය මතු වෙනවා. කොහොම වුණත් එදා හාස්‍ය නිර්මාණ අදට වඩා ප්‍රමිතගතයි. අද හිනාව රැඳුන නිර්මාණය තුළ රසවින්දනය හුඟක් බාල වෙලා. එතැනයි ගැටලුව තියෙන්නේ.

එදා යුගයට වඩා වර්තමානය තුළ හාස්‍ය නිර්මාණකරණට වෙළෙඳ‍පොළක් නැහැ කිව්වොත්?
හැමදෙයකටම වඩා මිනිස්සු කැමති හිනාවෙන් ජීවත් වෙන්නයි. ඕනෑම නිර්මාණයක හාස්‍ය කියන දේ ‍පොඩ්ඩක් හෝ අඩංගුව වෙන්නේ ඒ නිසයි. මිනිසුන්ගේ අවධානය නිර්මාණය තුළ රඳවා ගත්න හිනාව එකතු කරනවා.  ඒ නිසා හිනාවට හාස්‍ය නිර්මාණවලට හොඳ වෙළෙඳ‍පොළක් තියෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා.

මොට වූ රසවින්දනයක් තිබෙන ටෙලි පිටපත් බිහිවෙනවා කියන චෝදනාව නිසාද ඔබේ රංගනය ටෙලි නාට්‍ය තුළ අඩුවෙන් දකින්නේ.පුංචි තිරයට බිහිකරන අතළොස්සක් නිර්මාණ හොඳයි. නමුත් රසවින්දනය බාල වුණ මොට වුණ නිර්මාණ අතරින්පතරින් දක්නට ලැබෙනවා. මට වේදිකාව, චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය කියන වර්ගවලින් එකක් ඕන කියන  මේනියාවක් නැහැ.

කෙසේ හෝ රඟපාන්න ඕන කියන මේනියාව විතරයි තියෙන්නේ. මේ දවස්වල හොඳ නිර්මාණ ටිකකට සම්බන්ධ වෙනවා. චෙස්, සත්පියවරු, ගිනිඅවි සහ ගිනිකෙළි, සුළඟ මහ මුහුදක් වගේ නිර්මාණ.ඒවා එකිනෙකට වෙනස් විවිධත්වයක් දකින නිර්මාණ. ඒ නිසා හුඟක් ප්‍රතිචාර ලබනවා.

ඔබ වේදිකාව අතහැරලද?
වේදිකාව අතඇරියා. විවිධ හේතු නිසා මගේම කලකිරීම නිසා. ඒ ගැන මම කතා කරන්නත් අකමැතියි.

ශ්‍රී ලංකාව තුළ කටහඬ හා රංගනය පුහුණු කරන හොඳම ගුරා ඔබයි. ලංකාවේ රංගන පාසලක් නොමැතිකමේ හිඩැස මේ හරහා ඔබට පුරවන්න පුළුවන්ද?
මම රඟපෑම ඉගෙන ගත්තේ ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතාගෙන්. පසුව මම ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය වගේ රටවල නාට්‍ය පුහුණුකරුවන්ගෙන් ඉගෙන ගෙන තියෙනවා. මම ඒ ඉගෙන ගත්ත දේ ඊළඟ පරම්පරාවට කියලා දෙන්න උත්සාහ කරනවා. රඟපෑම උගන්වන්න බැහැ. හොයාගෙන යන්න ඕන. දුර්වල තැන් හඳුනාගෙන රංගනය ප්‍රමිතියකට කරන්න ඕන. රංගන පාසල් නැහැ. වැඩමුළු නැහැ. ඒකයි අහේනියට කාරණාව. ඒ වගේම කලාව වළපල්ලට යනවා. මගේ හිතට දුක ඒකයි.

කාර්යබහුල ජීවන රටාවක් එක්ක පවුලට මුල්තැන දෙන්න ඔබට කාලවේලාව තියෙනවද?
ඇත්තටම මම පවුල රකිනවා නමෛයි. පවුල මාව රකිනවා. ඒ තරම්ම කාර්යබහුලයි. මගේ බිරිඳ තක්ෂිලා දමයන්ති. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා උචින් ගයන්ත. දෙවැනියා නවින් චන්දුල, අන්තිම පුතා ප්‍රවීන් නිශ්ශංක, පවු‍ලේ හැමෝම සතුටින් ජීවත් වෙනවා.

ඔබේ රංගනයට ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මගේ නිර්මාණ දරුවෝ වගේම බිරිඳ අගය කරනවා. ඒ වගේම දරුවෝ බුද්ධිමත්. ඒ අය නිතරම ජාත්‍යන්තර නිර්මාණ නරඹනවා. ඒවා දැකලා අපේ නිර්මාණ දකිද්දි අපේ නිර්මාණ බාලයි, ප්‍රමිතියක් නැහැ කියලා හිනාවෙන අවස්ථා තියෙනවා. ඇත්තටම අගය කිරීම වගේම විවේචනය වැඩිපුරම ලැබෙන්නේ දරුවන්ගෙන් තමයි.

පුතණුවන් තිදෙනාව රඟපාන්න යොමු කරන්න අකමැති ඇයි?
මගේ අකමැත්තක් නැහැ. ඒ අය ගිටාර් ගහනවා. සිංදු කියනවා. ඒවා කරන්නේ විනෝදයට. කවදාවත් දරුවෝ මාත් එක්ක ෂූටින් කරන්න ගිහින් නැහැ. තාත්තේ මට රඟපාන්න ඕන කියලා බලකරලා නැහැ. ඒ නිසා මම ඒ ගැන හිතන්නේ නැහැ.
හර්ෂණී වීරරත්න
සේයාරූ - ප්‍රදීප් දඹරගේ
http://www.rivira.lk/edition/images/2014/05/18/mahendra%20perera%20(1).jpg
http://www.rivira.lk/edition/images/2014/05/18/mahendra%20perera%20(2).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය