Powered by Blogger.


අංගුලිමාල මිනීමරුවෙක්‌ කළේ වෛරී සිත් ඇති ඔහුගේ ගුරුවරයාය. එමෙන්ම ගුරුවරයාගේ දඬුවම පිළිබඳ වෛරී සිත් ඇතිව ඔහුගෙන් පළිගන්නට ගිය සිසුන් පිළිබඳ කතා ජාතික පොතේ පැනේ. ගුරුවරුන් හා සිසුන් අතර ඇතිවන මෙවැනි ගැටුම් මිනිස්‌ ඉතිහාසය පුරාම තිබිණි. අදත් පවතී. එවැනි සිද්ධි විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඇසේ. මේ තොරතුරු මහත් අභිරුචියෙන් වාර්තා කිරීමට මාධ්‍යකරුවෝ රුචි වෙති.

ඉකුත්දා ත්‍රිකුණාමලය සේරුනුවර, කාවන්තිස්‌සපුර විදුහලෙන් සිදුවීමක්‌ වාර්තා විය. සපත්තු නොපැළඳ පැමිණි දැරියකගේ ගෙලෙහි ඇය පැළඳ ආ සෙරෙප්පු යුගල එල්ලීම ගැන ගුරුවරියකට චෝදනා එල්ල විය. ඒ සිදුවීම දකින්නට අපි පසුගියදා සේරුනුවරට ගියෙමු.

කාවන්තිස්‌සපුර විදුහලේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දියණියට එම විදුහලේගුරුතුමිය දුන් දඬුවම පිළිබඳ තවදුරටත් කතා කිරීම පලක්‌ නොවේ. මේ කියන්නේ අප ඇසින් දුටු ඒ සිද්ධියට පාදකවන පසුබිම් කතාවය.

ත්‍රිකුණාමලයේ අතිදුෂ්කර ගම්මානයකි සේරුවිල. කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කෑ ගොවි ජනතාව ගම්බිම් අතහැර දමා ගොස්‌ යාන්තමට තමන් අතහැර දැමූ ගම්මානවලට තවමත් එමින් සිටිති.

පසුගිය දිනවල කථාවට ලක්‌වූ එම දැරිය හා ගුරුතුමියද ජීවත්වන්නේ එකම ගමේය. එනම් අති දුෂ්කර ගම්මානයක්‌ වන සුමේධංකරපුරය. සේරුනුවර සිට ගමනාගමනයක්‌ නොමැති මෙම ගම්මානය වටා ඇත්තේ කර්කෂ කැලෑවකි. දැඩි නියඟයෙන් වේලී ගිය කැලෑ පළු වැනි විශාල ගස්‌ කීපයක්‌ පමණක්‌ අතරින් පතර ඇත. නැවත පදිංචි කල මෙම ගම්මානයේ පවුල් 160 ක්‌ සිටිනමුත් නැවත පදිංචි වූවන්ට නිසි ලෙස යටිතල පහසුකම් සැලසී නැත. එම පදිංචි කිරීම්ද නිසි ක්‍රමවේදයකටද සිදුවී නැත.

ත්‍රිකුණාමලයේ සිට කින්නියා මුතුර් තෝපුර් හරහා සේරුවිල සුමේධංකරපුරට ගිය අපට දිය පොදක්‌ පවා රිසි සේ පානය කිරීමේ පහසුකම් තිබුණේ නැත.

අප සිද්දිය වූ දැරිවියගේ නිවස සොයා ගත්තේ බොහෝ ආයාසයෙනි. දිවා කාලයේ ගමේ බොහෝ අය කුලී රැකියාවලට හා ගොවිතැන් කටයුතුවලට ගොස්‌ සිටියහ. අවසානයේදී ඒ දුගී පැල්පත සොයා ගතිමු.

ඉටි කොළ ගැසූ කුඩා නිවසේ පොඩි බලු පැටියෙක්‌ ගෙවත්තට ඇතුල්වීමට නොදී බුරන්නට විය. ගෙයි සිටි වැඩිහිටි දියණියක්‌ පැමිණ අප නිවසට කැඳවා ගෙන ආවාය.

අඩි 10 ක කාමරයක්‌ ටකරන් වලින් හා ඉටි කොලවලින් වෙන්කරගෙන ඔව්හු ජීවත් වූහ. හරියාකාරව ජීවිකාවක්‌ කර ගැනීමට නොහැකිව දුක්‌ විඳින ආර්. එම්. ඉන්දුමතී මැණිකේ අපට එහිදී හමුවූවාය. ඇය අප සමග ඇගේ කතාව කීවාය

මගේ මහත්තයා වස පානය කර මිය ගියා. මමත් දරුවන් සිවුදෙනාත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. එක පුතෙක්‌ උසස්‌පෙල විභාගය කරනවා. අනිත් දුව සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. මගේ පොඩි දුව තමයි කාවන්තිස්‌සපුර විදුහලට යන්නේ. දුවගේ සපත්තු දෙක කැඩිලා. දුව කැඩිච්ච සපත්තු දෙක දාගෙන පාසල් ගියේ. ලොකු චීටර් මේ සපත්තු දෙක මහගෙන දාන්න කියලා තියෙනවා. නමුත් සිකුරාදා වෙනකම් ඒ දෙක මහන්න බැරිවුණා. මම සේරුවිල පූජා භූමියේ කඩයක්‌ අරගෙන වෙළ¹ම් කරනවා. මගේ ලොකු පුතා මහරගම ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක වැඩ කරනවා. දරුවාට සපත්තු දෙකක්‌ අරන්දෙන්න බැරි වුණා.

උදේ මම දරුවට කෑම අරන් පාසලට ගියාම දරුව අඬන්න පටන් ගත්තා. සපත්තු දෙක නැති නිසා සෙරෙප්පු දෙක බෙල්ලේ දාගන්න කියාල ටීචර් කිව්වා කියලත් කිව්වා. මට ගොඩක්‌ දුක හිතුනා. ඒ ගුරුතුමිය අපේ ගමේම කෙනෙක්‌. අපි ගැන හොඳටම දන්නවා. අපිත් සමග කිසිත් අමනාපයක්‌ නෑ. මට දරුවා ගැන දුක හිතුනා. මම පොලිසියට ගිහින් පැමිණිලි කළා. පස්‌සේ පොලිසියෙන් මගෙන් ඇසුවා අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න ඕනද කියලා මම එපා කිව්වා.

නමුත් තවත් ළමුන්ට මේවාගේ දෙයක්‌ කරන්න එපා කියලා අවවාද කරන්න කිව්වා. ගුරුතුමිය සමහර දවස්‌වලට අපේ දරුවන්ව ගේ ළඟට ගෙනත් ඇරලවනවා. එයා එහෙම ගුරුවරියක්‌. මෙවැනි දෙයක්‌ සිදුවීම ගැන මටත් දුකයි. මට ගෙයක්‌වත් හරියට නැතිව තමයි දරුවන් හදන්නේ. මම නම් මේ කිසිදෙයක්‌ ජනමාධ්‍යයට දුන්නේ නෑ. කොහොම හරි මේ වග දැන් රටම දැන ගෙන.

අපේ පොලිසියේ ස්‌ථානාධිපතිතුමා මගේ දරුවට සපත්තු දෙකක්‌ අරන් දුන්නා. දරුවා මානසිකව දුක්‌ විඳින නිසයි මම පොලිසියට ගියේ. නැතිව මේවා ලෝකෙට කියලා කවුරුත් අපහසුතාවට පත් කරන්න නෙමෙයි.

සිද්ධියට මුහුණ දුන් පී. ඒ. පියුමි වත්සලා දියණිය නිවසේ දුව පැන ඇවිදිමින් සිටි අතර ඇයට දුවේ කියා මා කථා කළ සැනින් අප වෙත දිව ආවාය. පුංචි දියණිය තවමත් කිසිදෙයක්‌ සිදු නොවුනු ලෙස සෙල්ලම් කරයි. ඇගෙන් මා ගුරුතුමිය ගැන ඇසුවාම කියා සිටියේ zzලොකු ටීචර් හොඳයිZZ කියාය. ඇය සමග පාසලේම ළමුන් සිටින්නේ 35 දෙනකු පමණයි. ගුරුවරුන් 6 දෙනකු සිටී.

සිද්ධිය වූ දින විදුහල්පතිතුමිය නිවාඩු ලබා සිටි අතර, නියෝජ්‍ය විදුහල්පතිතුමියද එදින රාජකාරියට පැමිණ නැත. ඒ වෙනුවට පාසල් පරිපාලනය භාරව කටයුතු කර ඇත්තේ මෙම ගුරුතුමියයි. ඇය පාසල් විනය සොයා බැලීමට පත්කර ඇත. නිතරම දරුවන්ගේ පිරිසිදුකම ගැන සොයා බැලූ ඇය පෙරදින සියලු දරුවන්ට සපත්තු දමා එන ලෙස දන්වා ඇත. නමුත් දරුවන් තිදෙනකු සපත්තු නොමැතිව පැමිණි බවත් එම දරුවන්ට සුළු දඬුවමක්‌ දුන් බවත් අප සමග කීවාය. ඇය අප සමග පැවසුවේ කිසිම තරහකින් මෙම දඬුවම නොකල බවයි. ළමුන් බියකර ගෙවල්වල තිබෙන සපත්තු ඊළඟ දින පැළඳ ඒමට පොළඹවනු සඳහා මේ දඬුවම දුන් බවත්ය. නමුත් සිද්ධිය චෙච්චර දුර යයි කියා තමන් නොසිතූ බවයි.

උපාධිධාරිනියක්‌ වන ඇය උපාධි ගුරුපත්වීම් ලබාගෙන දැනට වසර තුනකි. කර්කෂ පරිසරයේ ඉතාමත් දුෂ්කර ජීවිත ගත කරමින් උසස්‌පෙළ සමත්කරගත් ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය රැගෙන තම ගම්මානයේ අහිංසක දරුවන්ගේ නෙත් පෑදීමේ ෙච්තනාවෙන්ම ගමේ පොඩි පාසලට පැමිණිබව අප සමග පැවසීය. කිලෝමීටර් 05 ක්‌ පමණ ගමට ගිනි අව්වේ පයින් යන දරුවන් තමන්ගේ යතුරුපැදියේ තබාගෙන ගිය වාර අනන්ත බව ඇය අප සමග පැවසීය.

මේ සිද්ධිය විවිධ පැති ඔස්‌සේ අවුස්‌සමින් පාසලේ අනාගතය විනාශ කරන්න කටයුතු කරන පිරිස්‌ විවිධ කට කතා පතුරන බවද අප සමග පැවසීය.

නදීකා ප්‍රියදර්ශනී මේ තරුණ ගුරුවරිය ඇය වැඩිදුරටත් අපට මෙසේ පැවසීය.

zzසිද්ධිය වූ දිනේ වැඩබලන විදුහල්පති මමයි. මම දරුවන්ට ආදරෙයි. මේ දියණියත් මම හොඳින් දන්නවා. මේ අයගේ දෙමාපියන් සමග මගේ කිසිම අමනාපයක්‌ නෑ. දරුවාට සුළු දඬුවමක්‌ දුන්නේ ළමයාගෙන් පලිගන්නවත් ළමයාගේ මානසික තත්ත්වය වට්‌ටවන්නවත් නෙමෙයි. දරුවාට තිබෙන අසීමිත ආදරයටයි. මේ දරුවාට සපත්තු දෙකක්‌ තියෙනවා. ඒක ගෙවිල නෑ. මැහුම් ගැලවිලා තිබුණේ. මහගෙන දාන්න කියලා සඳුදා කිව්වා. නමුත් සිකුරාදා වෙනතුරු එය කර තිබුණේ නෑ. ඒ නිසයි මම දරුවට දඬුවම් කළේ. විනාඩි 10 ක්‌ වත් හිටියේ නෑ. අම්මා ඇවිත් දරුවා බලෙන් පාසලෙන් අරන් ගියා. කාගේ හරි පලි ගැනීමේ අවශ්‍යතාවකුට මේ දේ කළේ.

මම දන්නවා ඇත්ත හෙලිදරව් වුණාම කවුරුත් මා ගැන තේරුම් ගනියි. ඇය එසේ පැවසීය.

මේ ප්‍රදේශවල ගුරුවරුන් ඉන්නේ නෑ. ගුරුවරු ඉන්නේ ටික දෙනයි. අපිටත් ඕන මේ ප්‍රදේශයේ අධ්‍යාපනය දියුණු කරලා. අපේ ප්‍රදේශවල උගත්තු වැඩි කරන්නයි. එසේ පැවසුවේ. එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පති තුමිය වන එම්. යූ. එස්‌. ප්‍රියදර්ශනීය.

ඇය පවසා සිටියේ පාසලේ දක්‍ෂ ගුරුවරියකට මෙසේ මාධ්‍යවලින් පහර දෙන්නේ ඇයි කියායි. පාසලේ අපෙන් හා ගුරුවරියගෙන් කිසිදු ප්‍රකාශයක්‌ ගන්නැතිව දන්නැති දේවල් දන්නවා වාගේ ලිවීමෙන් මොනතරම් විනාශයක්‌ මේ මිනිස්‌සු කරනවාද? ඇය අපෙන් ප්‍රශ්න කළාය.

දැරියගේ නිවසට නිවාස 10 කට පමණ ඈතින් තිබෙන එම ගුරුතුමියගේ නිවසට යනවිටත් ඇයගෙන් ශිල්ප ඉගෙනීමට පැමිණ සිටි දරුවන් අපහට දක්‌නට ලැබිණි.

සිද්ධිය සම්බන්ධව විදුහල්පති එල්. එම්. එච්. ජී. සී. මැණිකේ මහත්මිය අප සමග මෙසේ පැවසීය.

මගේ ගුරු ජීවිතය වසර 24 ක්‌ වෙනවා. මේ මෙහෙම සිද්ධියක පළමු ඇත්දැකීම. මේ ගුරුතුමිය ඉතාමත් දක්‌ෂ ආර්ථික විද්‍යා උපාධියක්‌ තිබෙන ගුරුවරියක්‌. මම නිවාඩු හිටියේ. මට ආරංචි වෙන කොට සිද්ධිය දුරදිග ගිහින්. දරුවා අසරණ කරන්න බෑ. දරුවන් රකින දෙමාපියන් විශේෂයෙන් දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේ පාසල කාලයක්‌ වැටිච්චි පාසලක්‌. ගුරුමණ්‌ඩලය දරුවන් දෙමාපියන් එකතුව මේ පාසල දියුණු කරන්න ඕන. දැන් වෙච්චදේවල් වෙලා ඉවරයි.

මේ සම්බන්ධව නැගෙනහිර පලාත් අධ්‍යාපන ඇමතිතුමාගේ උපදෙස්‌ පිට නැගෙනහිරපලාත් අධ්‍යාපන ලේකම් පී. ඒ. ඒ. පුෂ්පකුමාර මහතා විසින් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා පරීක්‍ෂණය සඳහා පත්කර ඇති අතර මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. සිද්ධිය සම්බන්ධ ගුරුතුමිය සේරුවිල සෝමාදේවි විදුහලට ස්‌ථානමාරු කර තිබේ. විමර්ශන කටයුතු සිදුකරමින් ඇත. මේ විමර්ශනයේ අවසන් ඵල අප දන්නේ නැත. අප දකින්නේ හැඟීම් මත හැසිරෙන දෙමාපියන්ය. ගුරුවරුය. මේ එකිනෙකා වෙතින් පිටවන්නේ ඔවුන් පෙළෙන සමාජ පීඩාවය. එහි අවසන් ෙ€දවාචකයට මුහුණ දෙන්නේ අපේ නොදරුවන්ය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය