Powered by Blogger.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බිමල්
පිළිමතලාවේ අදිකාරම් සනත්
කන්ද උඩරට රාජධානිය කේන්ද්‍රගතව මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සිදුවීම වූ 1815 උඩරට ගිවිසුම ක්‍රියාත්මක කිරීම හා තදාසන්න සත්‍ය සිදුවීම් අළලා කෘතහස්ත සිනමාවේදී ආචාර්ය තිස්ස අබේසේකරයන් කරන ලද තිර රචනයක් ඇසුරින් සම්මානලාභී සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ නිර්මාණය කරනු ලබන සෙංකඩගල රාජසිංහ ඓතිහාසික සිනමා නිර්මාණයේ රූපගත කිරීම් ලබන අගෝස්තු මස ආරම්භ කිරීමට නියමිතය.
විශේෂයෙන්ම උඩරට ගිවිසුම අත්සන් කර 2015 මාර්තු මාසයට වසර දෙසීයක් සම්පූර්ණ වීම නිමිතිකර ගනිමින් මෙම සිනමා නිර්මාණය මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීම මෙම නිර්මාණකරුගේ අපේක්ෂාවයි. මෙම සිනමා නිර්මාණයේ සමාරම්භක උත්සවය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරුන්, වියතුන්, ක්ෂේත්‍රයට සම්බන්ධ කලා කරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණි.
මෙම සිනමා නිර්මාණයට අදාළ සියලු රූපගත කිරීම් මහනුවර සහ සබරගමු පළාත් කේන්ද්‍ර කර ගනිමින් සිදුවන අතර රාජ මාළිගාව හා දළඳා මාළිගාව එදා පැවැති ආකාරයට රූපගත කිරීම සඳහා අවශ්‍ය පසුතල නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විටද ආරම්භ කර ඇත.
එච්.ඩී. ප්‍රේමසිරි ප්‍රමුඛ සෙරනිටි නිර්මාණ පියසත් ආචාර්ය රවි ලියනගේ ප්‍රමුඛ අර්ථපතීන් කිහිප දෙනෙකුත් එක්ව නිෂ්පාදනය කරනු ලබන ‘සෙංකඩගල රාජසිංහ’ සිනමා නිර්මාණය දේශීය සිනමා ඉතිහාසයේ ඉතා විශාලතම පිරිවැයක් දරමින් නිර්මාණය කරනු ලබන අති දැවැන්ත චිත්‍රපටයක් වනු ඇත.
සෙංකඩගල රාජසිංහ සිනමා නිර්මාණය සඳහා කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, අංග රචනයෙන් නලින් ප්‍රේමතිලක, කලා අධ්‍යක්ෂණයෙන් වෙලේගෙදර රණසිංහ, නිෂ්පාදන කළමනාකරණයෙන් නිමල් විජේසිරි සේනාධීර සහ රාජා රණසිංහ, සහාය අධ්‍යක්ෂණයෙන් අශෝක අතාවුදහෙට්ටි, සංගීත අධ්‍යක්ෂණයෙන් රෝහණ වීරසිංහ ඇතුළු ශිල්පීන් රාශියක් එක්වීමට නියමිතය.
මේ වන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චරිතය සඳහා බිමල් ජයකොඩි ද පිළිමතලාව මහඅදිකාරම් ගේ චරිතය සඳහා සනත් ගුණතිලක ද තෝරාගෙන ඇති අතර අනෙකුත් චරිත සඳහා රංගන ශිල්පීන් තෝරාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය