Powered by Blogger.

සුවිනීතා වීරසිංහ
මම දැන් වැඩිපුරම කාලය ගත කරන්නේ ආගමික කටයුතු සමඟින්. එය මට කුඩා කාලයේ පටන්ම හුරු වූ දෙයක්. මගේ හැම කටයුත්තකදීම හෙනැල්ල වගේ සිටි මගේ අම්මා දැන් එක්තැන් වෙලා ඉන්නේ. ඇයට වයස අවුරුදු 95 ක්. අම්මා බලා ගනිමින් අම්මාගේ නිරෝගි සුවය පතා මම පුණ්‍ය කටයුතුවල නියැළෙනවා.
මේ සතිය බෞද්ධයන් වන අපට සුවිශේෂතම සතියක්. වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වුණා.
ඊට අමතරව මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා. එදාට මහියංගනය චෛත්‍යයට බුද්ධ පූජාවක් පවත්වන්න සූදානම් වෙනවා. ඒ ගමන අතරතුර මාවරගල සේනාසනයේ නායක ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න, ඖෂධ පූජා කරන්නත් බලාපොරොත්තු වෙනවා. දාන, සීල, භාවනා සමඟින් බොහොම නිස්කලංකව ජීවිතේ ගෙවනවා.
 





සාහිත්‍ය මාසයට දැනටම වැඩ

සාහිත්‍ය අනු මණ්ඩලයේ මහාචාර්ය සමන්ත හේරත්
රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ සභාපති විදියට වගකීම් රාශියක් මා මත පැවරිලා. සැප්තැම්බර් මාසයේ පවත්වන්නට නියමිත රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ කෘති සමීක්ෂණය කිරීමේ කටයුතුª මේ වනවිට ආරම්භ කරලා.
මේ දවස්වල මූලික වශයෙන් කෙරෙන්නේ ඒ කටයුතු සංවිධානය කිරීම හා මෙහෙයවීමයි. ඒ කටයුතු අතර රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය මඟින් මාසිකව සිදු කරන ‘මාසික සාහිත්‍ය සංකථන’ නම් ශාස්ත්‍රීය මට්ටමේ විශේෂ තේමාවක් යටතේ පවත්වනු ලබන දේශන ත්‍රිත්වය පිළිබඳ වැඩසටහනටත් සූදානම් වෙනවා. ඒ සාහිත්‍ය වැඩසටහන අවසානයේ එදින දේශනය සඳහා සහභාගි වන දේශකයන්ගේ දේශනා ත්‍රිත්වය කෘතියක් ලෙස දේශනය අසන්නට එන්නන් වෙත ලබාදීමටත් අප සූදානම්.
මගේ ලේඛන දිවියේ කෙරෙන නවතම කටයුත්ත වන්නේ ‘නූතන සිංහල කාව්‍ය අධ්‍යයනය’ නමින් පොතක් ලියමින් සිටීමයි. ඒත් සමඟම මුද්‍රණයෙන් පළ නොවූ මා ලියූ කවි එකතුª කර පොතක් එළි දැක්වීමේ අදහසෙන් තමයි මා කාලය ගත කරන්නේ.


මං සිංඤෝ තීරු ලිපි ලියනවා

සරසවිය හිටපු කර්තෘ අනුර බණ්ඩාර රාජගුරු
මේ දවස්වල මම ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයෙහි සිංඤෝ ගේ චරිතයට පණ පොවනවා. ‘ආත්මා’ ටෙලි නාට්‍යයෙහිත් චරිතයකට රංගනයෙන් දායක වුණා. ධර්මසේන පතිරාජගේ ‘සක්කාරං’ චිත්‍රපටයෙත් චරිතයක් සඳහා මට ආරාධනා ලැබුණා.
ඒ රඟපෑම් කටයුතුත් අවසානයි. ළඟදීම ආරම්භ කිරීමට නියමිත කේ. ඩී. නිකලස්ගේ චිත්‍රපටයකටත් රංගනයෙන් සහභාගිවීමටත් මට කතා කළා. ඒ චිත්‍රපටයේ මගේ බිරිය විදියට රඟපාන්නේ ගයත්‍රි ඩයස්.
මේ සියලු වැඩ කටයුතු අතර මා ලියූ තීරු ලිපි එකතුවක් ළඟදීම එළිදැක්වීමේ අදහසකුත් මට පහළ වුණා. ඒ නිසා එහි කටයුතුත් සමඟ සිටින නිසා මා බොහොම කාර්යබහුල කෙනෙක් වෙලා.
 





අලුත් කාර් එකක්

රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන
ස්විට්සර්ලන්තයේ රූගත කිරීමකට සහභාගි වෙලා පසුගිය සතියේ තමයි මම ලංකාවට ආවේ. මේ සතියෙත් තව අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීමකට සහභාගි වෙන්න තියෙනවා. ඒ හැරුණාම මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය දහයක් විතර විකාශය වෙන්නත් නියමිතයි.
පෞද්ගලික ජීවිතයත් විවාහයත් වගකීම් සමඟ බොහොම සතුටින් සුන්දරව ගත කරනවා. විවාහයෙන් පසුව රූගත කිරීම සඳහා විදෙස් ගත වූ නිසා මේ සතිය ඉදිරි කටයුතු සඳහා සූදානම්වීමට තමයි යොදා ගැනෙන්නේ.
ඒ අතරතුර මම අලුත් කාර් එකක් ගන්නත් අදහස් කරගෙන ඉන්නවා. කලා කටයුතු අතරේ රංගනයට අමතරව වෙනත් නිර්මාණ කටයුත්තක් ආරම්භ කරන්නත් සූදානම් වෙමිනුයි ඉන්නේ.
 

වරාමලී සුවඳ විඳ

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා
මා අධ්‍යක්ෂණය කළ ‘වරා මලී’ ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 7.30 ට විකාශය වෙනවා. ඒකට ලැබෙන ප්‍රතිචාරත් බොහොමයි. ඒ වගේම ‘වරාමලී’ කොටස් සියයක් දක්වා විකාශයවීමටත් නියමිතයි. වරාමලී ටෙලි නාට්‍යයෙහි රූගත කිරීම් සිදු වන නිසා ඒ අතර අනෙක් නාට්‍යයක් රූගත කිරීම් සිදු වන්නේ නැහැ.
එහෙම කරන්නට මා අකැමැතියි. නමුත් ඊළඟ ටෙලි නාට්‍ය කුමක් විය යුතු ද කියන දළ සැලැස්මක් පිඹුරුපත සකස් කිරීම මේ දවස්වල සිදු කෙරනවා. ළඟදීම මගේ උපන් දිනයත් එළැඹෙන නිසා පන්සලකට ගිහින් ආගමික කටයුතුවල නියැළෙන්නටත් මා අදහස් කරගෙන සිටිනවා.






ගුරු සේවයෙන් විශ්‍රාම ගන්නවා

රංගන ශිල්පි ජනක් ප්‍රේමලාල්
උදා වූ මේ සතිය මගේ ජීවිතයේ සුවිශේෂතම සතියක්. මගේ උපන් දිනය යෙදී තියෙන්නේ මේ සතියට. එදාට මට වයස අවුරුදු 55 සම්පූර්ණ වෙනවා. ඒ වගේම තිස් වසරක ගුරු සේවයට සමු දී එදාට විශ්‍රාම ගැනීම නිසා මේ සතිය මට සුවිශේෂ සතියක් වෙනවා. එය මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්. ගුරු වෘත්තිය සහ රංගනය නිසා මං ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කලේ.
ඒ නිසා ආරාධනා කළ චරිත බොහොමයක් ප්‍රතික්ෂේප කරන්නත් සිදු වුණා. ඉදිරි කාලය නම් පූර්ණකාලීනව රංගනය වෙනුවෙන් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ටෙලි නාට්‍ය වගේම වේදිකාව සහ සිනමාව වෙනුවෙනුත් මට කාලය වෙන් කරන්නට පුළුවන්.
මේ දිනවලත් මම රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. ගිරිකුළ, සඳසාවි, හිරු තනි වෙලා, කළු අරලිය, රනා වගේම තව අලුත් ටෙලි නාට්‍යයකත් වැඩ කටයුතු ආරම්භ කරන්න නියමිතව තියෙනවා.

කැන්ගරු දේසෙන් වේදිකාවට

රංගන ශිල්පිනී සුජානි මේනකා
මේ වසරේ මම තරමක් වැඩ භාර ගත්තේ අඩුවෙන්. වසරේ මුල් මාස කිහිපයේම ගයාන් කනිෂ්ක රාජපක්ෂගේ ‘අතුරු පසට චැට් එකක්’ කියන වේදිකා නාට්‍යයේ චරිතයකට රංගනයෙන් දායක වුණා.
ඒ වේදිකා නාට්‍යය රංග ගතවුණේ ලංකාවේ නොවෙයි, ඔස්ට්‍රේලියාවේයි. ඒ වගේම මා වේදිකා නාට්‍යයකට රංගනයෙන් සහභාගි වූ මුල්ම වතාව වන්නේත් එයයි. ඒ කටයුතුª නිමවීමත් සමඟ මේ දවස්වල මා බොහොම විවේකීව කාලය ගත කරනවා.
පසුගිය දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකට කතා කළත් ඒ සියල්ලම ප්‍රතික්ෂේප වුණේ මා තෝරන විදියේ ටෙලි නාට්‍ය ඒ අතර නොවුණ නිසයි. උපන් දිනයත් ළඟදීම උදාවෙන නිසා එය සමරන ආකාරය ගැන සැලසුම් කරන්නේ නම් බිමල් තමයි.




රූගත කිරීම් බොහොමයක් මැද

රංගන ශිල්පි සුගත් ජානක
මේ දවස්වල මම රංගනයෙන් දායක වන සබඳ බබානිස්, සිහින සක්මන, රජ දරුවෝ විකාශය වෙනවා. සතිය පුරාවටම මේ ටෙලි නාට්‍ය තුනේම රූගත කිරීම් සහ එරංග සේනාරත්නගේ අපූරුගම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් යෙදිලා තියෙනවා.
ඇහැළේපොල කුමාරිහාමි ගොවි නායකයෙකුගේ චරිතයකට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ වගේම සදේශ් කුමාර්ගේ මායා චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. එයත් ළඟදීම තිරගත වේවි. ඒ හැරුණාම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයටත් ආරාධනා ලැබිලා තියෙනවා.




කිරි අම්මාවරුන්ට දානයක්

රංගන ශිල්පිනි ලෝචනා ඉමාෂි
මේ මාසයේ උදාවුණු සතිය මට ගොඩක් සුවිශේෂ සතියක්. මගේ උපන් දිනය යෙදිලා තියන්නේ අද දවසටනේ. වෙසක් පුන් පොහොය යෙදීම නිසා මට ගොඩක් සතුටුයි. ඒ වෙනුවෙන් පිංකම්වල යෙදෙන්න තමයි සූදානම් වුණේ. කිරුලපන පන්සලේ පිංකමක් සහ දන්සලකුත් සූදානම් කළා. ලබන දාහත් වෙනිදා කිරි අම්මාවරුන් වෙනුවෙන් දානයකුත් පිරිනමන්න කටයුතුª සූදානම් කරලා තියෙන්නේ.
කලා ජීවිතයේ සුපුරුදු පරිදි ෂූටින් යොදගෙන තියෙනවා. මේ දවස්වල නම් වැඩි කාලයක් ටීවී ප්‍රෝගෑම් වෙනුවෙන් වෙන් කළා. පසුගියදා දෙරණ ටීවී එකේ තව අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. ඒ හැරුණාම තව අලුත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. දැැනට දායක වෙන ටෙලි නාට්‍යවල වැඩ කටයුතු අවසන් කරලා ඒ ගැන අවධානය යොමු කරන්නයි හිතාගෙන ඉන්නේ.
 

නව නළු කලා කෙත අස්වද්දමින්

රංගන ශිල්පී අෂේන් මංජුල
මම රඟපෑ ටෙලි නාට්‍ය පහක් පමණ ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඇහැල මහ නිකිණිය, දඩයක්කාරයා කියන ටෙලි නාට්‍යය දෙක වගේම සුමිත් රෝහණ තිත්තවැල්ලගේ හා ප්‍රසන්න වනසිංහගේ ටෙලි නාට්‍ය ද්විත්වයත් ඒ අතරට ඇතුළත්.
ඒකාංගික ටෙලි නාට්‍ය හතරක් ද ඒ ආකාරයට ඉදිරියේදී විකාශය වීමට නියමිත නිර්මාණ අතර වෙනවා. මෙගා ටෙලි නිර්මාණවලට රංගනයෙන් දායක නොවන නිසා නිතරම වගේ මගේ රංගනය නරඹන්නන්ට පුංචි තිරයෙන් දැක ගත නොහැකියි.
රඟපෑමට අමතරව ‘නව නළු කලා කෙත’ කියන මගේ නාට්‍ය හා රංග කලා පාසල කරගෙන යන නිසා මම තරමක් වැඩ කටයුතුත් එක්ක කාර්යබහුලයි. ජයලත් මනෝරත්න, පරාක්‍රම නිරිඇල්ල, කරුණාරත්න අමරසිංහ, අතුල රන්සිරිලාල් ආදී ප්‍රවීණ විද්වතුන් කිහිප දෙනෙක්ම එහි දේශන සඳහා පැමිණෙනවා. ඉදිරියේදී ළමයින් වෙනුවෙන් අධ්‍යාපනික වැඩ සටහනක් කිරීමටත් අදහස් කරගෙන සිටිනවා. එහි කටයුතු තවම පවතින්නේ ආරම්භක මට්ටමේ.










0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය