Powered by Blogger.

ගේයපද රචකයකු විසින් තමා සිත්ගත් ගීත පිළිබඳ කරන අවාර්ජනයකි

ඩබ්ලිව්. ඒ. අබේසිංහ මතක ගී පොතට එක් වෙයි
අතීතය හා බැඳුණු මතකවලට අපි කවදත් ආදරය කරමු. අතීතයේ වූ සොඳුරු බව වඩාත් අර්ථවත් වන්නේ වර්තමානයේ බව කිවහොත් ඔබ මා සමඟ එකඟ වනු නියතය. ඒ සොඳුරු අතීතය හා සම්බන්ධ සිතුවිලි සමුදාය ගෙනහැර පෑමට මෙවර ‘මතක ගී පොතට’ සහභාගි වන්නේ විශිෂ්ට ගේය පද රචකයකු වූ ඩබ්ලිව්. ඒ. අබේසිංහයන්ය. ගේය පද රචකයකු, ලේඛකයකුª පමණක් නොව ඔහු නීතිඥයකුª ලෙස නීතිඥ වෘත්තියෙහි නියැළෙන්නෙකි.
සුමුදු සුසිනිඳු වැලි තලාවේ පා තබා යන මගේ නෙතට හසු වන්නේ පහළ මළුවේ තැනින් තැන හිඳගෙන සිටින බැතිමතුන්ය. තම දෑත දොහොත් මුදුනේ තබාගෙන වැඳගෙන සිටින එක් අයකුª පහන් වූ සිතෙන් කරන මුනුමුනුවකි. තවෙකෙක් තරමක් මියුරු ස්වරයෙන් හඬ නඟා ගයන ගාථා පාඨ සජ්ඣායනයෙහි අමුතු ලතාවක් ඇතැයි වරෙක මට සිතිණි. ශ්‍රී මහා බෝධිය නෑවීම අදහසෙන් පැන් කළයක් තම අත මත තබාගත් කාන්තාවක බෝධිය දෙස බලා ගත් වනම මොන මෙනවාදෝ මුමුනයි. ඒ ඈ මුමුනන්නේ කුමක් හෝ පැතුමක් වන්නට ඇත. ඔවුන් අතරෙන් ශබ්දයක් නොනැඟෙන ලෙස පා තබා ගිය මම බෝ මළුවෙහි එක් කොණක සුදු වැලිතලාව මත ඉඳ ගත්තෙමි. වරින් වර පැමිණෙන සීතල සුළඟ ගතට මෙන්ම සිතට ද ගෙනෙන්නේ සුවදායක හැඟීමකි. ඒ සුවදායක හැඟිම වඩාත් අර්ථවත් වන්නේ බෝ පත් එකින් එක ගැටීම නිසා නැඟෙන සිලි සිලිය සවනට මිහිරි සතුටක් උපදවන බැවිනි.
නවම් මස බිමට බට බෝපත් සියල්ල නැවතත් දලු දමා වැඩී ඇති අයුරු කදිමය. මීට මාසයකට පෙර මා පැමිණෙන විට නටු මත ලියලා තිබුණු දම් පැහැති දලු වෙසක් මහ වන විට කොළ පැහැය අරක් ගෙනය. ඒ නැවුම් බෝ පත් එකිනෙක ගැටීම නිසා නැඟෙන නැවුම් සිලි සිලිය දෙස මම බලා සිටියෙමි. ඒ බෝපත් එකිනෙක යළි යළිත් සෙල වෙන්නේ තාලයකට නොවේදෝයි මට සිතුණේ ඉබේමය. බෝපත් නටන එකී තාලය කුමක්දැයි මම සිතෙන් තාල තැබීමි. මගේ මතකයට නැඟුණේ ශ්‍රීී චන්ද්‍රරත්න මානවසිංහ නම් ගේය පද රචකයා ලියූ මහ බෝ වන්නමයි. අමරදේවයන්ගේ මියුරු ස්වරයෙන් ගැයෙන ගීතයෙහි පද මම එකින් එක මුමුනන්නට වීමි.
වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස
වැඩ සිට බුදු වූ දා
තිලෝ හිමි මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා . . .
සමාධී භාවනා . . .
හිම කඳු වැටියේ
සීතල සෙවණේ
චන්දන තුරු පිහිරා
ඇදී එන මල් මුවරඳ රසිනේ
සුවඳ මුසු කෝමල මද පවනේ
ගැටීලා - පාවෙනා
ගැටීලා - පාවෙනා
සත්සර නඟලා ටික ටික සෙල වී
සිරිමා බෝ හිමිගේ
මනෝහර පළුපත් අතු රිකිලි
නවා ගිය තාලෙහි රස නැඟුණා
සරාගී - ජීවනා
සරාගී - ජීවනා
සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා
සිරිලක ගෙන ආදා
සිටම තම – මහ මෙවුනා උයනේ
නටයි කොළ
වන්නම් ලෙස මහ බෝ
සුමීරී - නාදෙනා
සුමීරී නාදෙනා

ගේය පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය – විශාරද ඩබ්. ඩී. අමරදේව
ගායනය – විශාරද ඩබ්. ඩී. අමරදේව
 
මේ ස්ථානයට වසරකට වරක් නොව සිව් වතාවක් පමණ පැමිණෙන මාගේ සිතට නිතැතින්ම පිවිසෙන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ මේ ගීතයයි. එහි වූ සිදුවීම් එකින් එක ගෙනහැර පානා මා සිතෙහි නේරංජන නදියේ ගයා ශීර්ෂයෙහි වැඩ සිටි බුදුරදුන්ගේ රූප කාය චිත්‍රනය කරයි. තවත් වරෙක මල් මුවරඳ සමඟ ඇදී එන කෝමල මද පවනත්, සීතල සෙවනත් එකල මෙසේ වන්නට ඇතැයි යන සිතුවිල්ලෙහි මා ගිල්වා තබයි. වසර දෙදහස් පන්සිය වසරක අතීතය සිහිපත් කරන අනෙක් වර මම ශ්‍රීී මහා බෝධියේ බෝපත් සෙලවෙන අයුරු බලා සිටින්නෙමි. එහි සිරි සිරිය සමඟින් මගේ මතකය අලුත් වන්නමකට තාල තබන්නේ නිතැතිණි.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නම් ඒ සොඳුරු ගේය පද රචකයා ගේ දෑතෙන් ‘වැලි තල අතරේ’ ගීතය පද බැඳුණු ආකාරය පිළිබඳව ඇත්තේ අපූරු කතාවකි. මෙය සඳහන් වන්නේ ඔහුගේ ’කෝමල රේඛා’ කෘතියෙහි පෙරතලයෙහි බව මගේ මතකයෙහි ලියැ වී තිබේ. එකල චන්ද්‍රරත්න මානවසිංහ රැකියාව කළේ ලංකාදීප පුවත්පත පිහිටා තිබුණු ටයිම්ස් ගොඩනැඟිල්ලේ සයවැනි තට්ටුවේය. තම වැඩ කටයුතුª නිමවා විවේකයක් ලද ඇසිල්ලේ තමා සිටින සයවැනි තට්ටුවෙහි ඇති කවුළුවෙන් ඈත බැලූ මානවසිංහයන්ට දක්නට ලැබුණේ කොළඹ නගරයේ පිහිටීම රැගත් අපූරු දර්ශනයකි. ඒ දර්ශනය අතර වූ පිටකොටුවේ පිහිටි බෝ රුක දෙස ඔහුගේ නෙත නතර වූයේ සැනෙනි. එහි බෝපත් සෙල වී සෙල වී සිටි එක් නිමේෂයක මානවසිංහයන්ගේ සිත ඉගිල ගියේ සිද්ධාර්ථ ගෞතමයන් බුදු වී වැඩ සිටි ගයා ශීර්ෂය දෙසටය. එහිදී උන්වහන්සේට බුදුවීමට උපකාර කළ ශ්‍රී මහා බෝධියේ බෝපත් නැට වෙන්නට ඇත්තේ ද මෙලෙස යැයි ඔහුට නිකමට මෙන් සිතිණි. ඔහුගේ මුවට නැ¼ගුණේ වන්නම් තාලයකි. ‘තන තන තනෙනා - තම්දන තනෙනා’ යන ඒ වන්නම් පදයට අනුව මානවසිංහයන් තම ගී පද ලියුවේ තවත් නැවුම් ගීතයක ආරම්භය සනිටුහන් කරමිනි. එය මහ බෝ වන්නම හෙවත් ‘වැලිතල අතරේ’ ගීතය විය.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යන ගේය පද රචකයා අපූර්ව මනා ප්‍රතිභා ශක්තියකින් හෙබි නිර්මාපකයෙකි. ඔහු බෞද්ධ සාහිත්‍ය මෙන්ම පාලි, සංස්කෘත, සිංහල සාහිත්‍ය ඇතැඹුලක් සේ දත් ප්‍රාඥයෙකි. බොහෝ ගීත රචකයන් බිහි වන්නේ කවියෙන් වුව ද මානවසිංයන් බිහි වන්නේ කවියෙන් නොවේ. ගීතයෙනි. ගීතයක තිබිය යුතු වූ කවිතා ගුණය හා ගීතමය ගුණය මනා අයුරෙන් මේ ගීතයෙහි වන බව නම් කිව යුතුමය. ස්වයං සිද්ධි රිද්මයකින් ගීතය ලියන්නට ඔහු සතු වූ අපූර්ව හැකියාව අප පැසසිය යුතුය. ඒ තරමටම අපූර්ව අයුරෙන් ලියූ මේ ගීතය මගේ හදවත බැඳුණු එක් ගීයක් වෙයි. එමෙන්ම නවක පද රචකයෙකුට යමක් ඉගෙන ගැනීමට පරිශීලනය කළ යුතුම ගීතයක් ලෙස මම මේ ගීතය දකිමි. මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරමි.
මහගමසේකර නම් අපූර්ව කවියා ලියූ’නල දමයන්ති’ මුද්‍රා නාටකයේ එන මේ ගීතයට ද මම බෙහෙවින් ඇලුම් කරමි.
ඈත කඳුකර හිමව් අරනේ
සීත චන්දන ළපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

සැදැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ළද ලියන්ගේ සීන අතරේ
මැවේ ඒ රූපේ
රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුසු කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගීී නිල් නුවන් බඳුනින්
නුරා වෑහෙන්නේ

ගේය පද – මහගමසේකර
සංගීතය – විශාරද ඩබ්. ඩී. අමරදේව
ගායනය – විශාරද ඩබ්. ඩී. අමරදේව
 
මගේ මතකයේ හැටියට එය හැටේ දශකයයි. සාහිත්‍ය, කවිය, ගීතය, නාට්‍ය, චිත්‍රපට පිළිබඳ අපූරු උනන්දුවක් තිබූ එකල ඉන් රසවත් වී සිටි තරුණ පෙළ අතර මම ද සාමාජිකයෙක් වීමි. බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබූ මුද්‍රා නාටකයක් වූ ‘නල දමයන්ති’ නැවතත් වේදිකා ගත වන බව ඇසූ මා ඇතුළු මිත්‍රයන් එහි යන්නට සූදානම් වූයේ අපූරු නාටකයක් නැරැඹීමේ අදහස පෙරදැරිවය. මගේ මතකයේ හැටියට නම් එදා චිත්‍රසේනයන්ගේ ’නල දමයන්ති’ මුද්‍රා නාටකය වේදිකා ගතවූයේ බොරැල්ල වයි. එම්. බී. ශාලාවේය. රාත්‍රී 6.30 දර්ශනයට සහභාගි වූ අප ‘නලෝපාඛ්‍යානය’ ඇසුරෙන් වේදිකාවට නඟන ලද ‘නල දමයන්ති’ මුද්‍රා නාටකය නැරැඹුවේ වශීකෘත වූවන් ලෙසිනි. මුද්‍රා නාටකය අවසාන වී ප්‍රේක්ෂකාගාරයෙන් එළියට පැමිණි පසුව හැම දෙනාගේම හදවත බැඳුණු ගීතය එකිනෙකා සෙමෙන් සෙමෙන් මුමුනන්ට වූයේ මේ අතරය. ඒ ‘ඈත කඳුකර හිමව් අරනේ’ නම් හංසයා පැමිණ මේ නාටකයෙහි නලගේ රුව පිළිබඳ වර්ණනා කරමින් දමයන්තියට ගයන ගීතයයි. මේ නාටකයෙහි ආමුඛ ගායනය වන්නේ ද මේ ගීතය යැයි මට සිතේ.
එපමණටම හදවත බැඳුණු මේ ගීතය මහගමසේකර නම් කවියාගේ අපූරු පද ගෙතුමකි. එහි අපූර්වත්වය වන්නේත්, මෙහි කියැවෙන්නේත් ස්ත්‍රීන්ගේ නාරි ලාලිත්‍ය නොව පුරුෂයකුගේ රූප ශෝභාවයි. මේ ගීතයේත් කාව්‍යමය හා ගීතමය ගුණයත් මනා අයුරෙන් සංකලනය වී ඇති නිසා සිතෙහි චිත්ත රූප මැවීමට ඒ කාරණා හේතුª වී ඇති බව කිව යුතුමය. භාෂාව ඉහළ මට්ටමෙන් භාවිත කෙරෙන මේ මුළු පද රචනයෙහිම කවි ගුණය ඉක්මවා යන ගීතමය ගුණයක් අන්තර්ගතය.
යමක් පිළිබඳ වෙනස් අයුරෙන් සිතන්නට තරම් ගැඹුරු ප්‍රතිභාවක් තිබුණු මහගමසේකර වැනි නිර්මාණකරුවෙකු ලියූ මේ ගීතය මනා සංයමයෙන් ලියන ලද ගීතයකි. මෙවැනි ගීත දඹ රත්තරන් හා සමානය. දඹ රත්තරන් කෙතරම් වටින්නේ ද ඊටත් එහා ගිය වටිනා ගුණයකින් හෙබි මෙවැනි ගීත වර්තමානයෙහි නිතරම අසන්නට නොලැබෙන බව සත්‍යයකි. නමුදු ඒ ගීතවල තිබෙන්නා වූ සොඳුරු ගුණය කිසි දිනෙක වෙනස් නොවේ. ඒ තරමටම වටිනාකමකින් හෙබි මේ ගීතයට මම ප්‍රිය කරමි. මේ ගීතයට මම ආදරය කරමි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය