Powered by Blogger.

වෙළෙඳ දැන්වීම්වලින් නිතර දකින ඇය නදීෂානි නිලුක්ෂි ෆොන්සේකායි. නිරූපිකාවක්, නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් හැටියටත් ඇගේ දක්ෂතා පුංචි තිරය, රිදී තිරය ඔස්සේ දැකගන්න පුළුවන්.
තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කර රිදී තිරයට පසුගියදා මුදා හැරුණු වරිග‍පොජ්ජ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පන ‍පොවන්නෙත් ඇයයි. නිරූපණය පිළිබඳව පළපුරුද්දක් තිබුණත් රංගනය හා නිවේදනයට ඇය තවමත් ආධුනිකයි. එහෙත් ඇගේ රංගන දක්ෂතාව පිළිබඳව හුඟ දෙනෙක් කතා කරනවා. ඒ නිසාම ඇය පිළිබඳව තොරතුරු රිවිසරසි තුළින් ගෙන එන්න කල්පනා කළා. මේ ඇය ගැනයි.

නදීෂානි සිනමා කාචය ඉදිරියට එන්නේ වරිග‍පොජ්ජ සිනමාපටය ඔස්සේයි. රංගන ශිල්පිනියක් විදිහට මේ දිනවල ලැබෙන ප්‍රතිචාර කොහොමද කියමු?
තුෂාර තෙන්නකෝන් මහතා අධ්‍යක්ෂණය කළ අසූ දහසකගේ පමණ නිෂ්පාදන දායකත්වයක් ලැබුණු වරිග‍පොජ්ජ චිත්‍රපටයේ මම රඟපාන්නේ හඳුනි කියන චරිතය. මාත් එක්ක මනුවර්ණ රඟපානවා. ඒ චිත්‍රපටය හුඟදෙනෙක් නරඹලා තිබුණා. හුඟදෙනෙක් මට ප්‍රතිචාර දැක්වූවා. සමහර අය කිව්වා ආධුනික වුණත් මම හොඳට රඟපාලා තිබුණා කියලා. ඒ ප්‍රතිචාර අහද්දී සතුටු හිතෙනවා. ඒ වුණත් චිත්‍රපටය රූගත කරලා පුළුල් තිරයේ මම නැරඹුවා. එතකොට මට නම් හුඟක් වැරදි පෙනුණා. ඇතැම් තැන්වල මට ඊට වඩා රඟපාන්න තිබුණා කියලා හිතුණා.

නදීෂානි නිලුක්ෂි කියන නිරූපිකාව රංගන ශිල්පිනියක් වෙන්නේ කොහොමද?
මම නිරූපිකාවක් වෙන්නේ 2002 අවුරුද්දේ. ඊට පස්සේ තමයි රඟපාන්නේ.  වරිග‍පොජ්ජ චිත්‍රපටය සම්බන්ධයෙන් වැඩ කරපු එරංග කිව්වා නංගී චිත්‍රපටයක් කරනවා තුෂාර වරිග‍පොජ්ජ කියලා. වැදි චරිතයක්, වෙනස්ම නිර්මාණයක් නිසා ඇවිත් ස්ක්‍රීන් ටෙස්ට් එක කරන්න කියලා. මම ගිහින් ස්ක්‍රීන් ටෙස්ට් එක කළා. එතකොට අධ්‍යක්ෂ තුෂාර අයියා චරිතය ගැන පැහැදිලි කරලා දුන්නා. වැදි චරිතයක් නිසා කැපවීමෙන් නිර්මාණයට සම්බන්ධ වෙන්න ඕන කිව්වා. තෝරා ගත්තොත් කෝල් කරන්නම් කිව්ව නිසා මම ගෙදර ආවා. එදා හවසම මට කතා කරලා කිව්වා හඳුනිගේ චරිතයට තෝරාගත්තා ෂූටින්වලට එන්න කියලා. ඒ විදිහට තමයි මම රඟපාන්න එක්වෙන්නේ.

ඒ චිත්‍රපටය රූගත කරන්න දවස් තිහක් අපි කැලෑවේ හිටියා. හරිම සුන්දර තැන්වල තමයි ෂූටින් කළේ. ඒ හැම දවසකම මගේ අම්මා මාත් එක්ක හිටිය නිසා බයක් දැනුණේ නැහැ. හොඳට රඟපෑවා. මුලින්ම කැමරාව ඉස්සරහට යන වෙලාවේ නම් ‍පොඩි තිගැස්මක් තිබුණා. ඒක ටික ටික හරි ගියා.

නදීෂානි නිරූපිකාවක් වුණාට නිවේදිකාවක් හැටියට නේද ජනප්‍රිය වෙන්නේ?
හුඟක් අය මාව හඳුනා ගත්තේ නිවේදිකාවක් විදිහට. මම නිවේදිකාවක් විදිහට හිරු රූපවාහිනියට 2012දී එකතු වුණා. වැඩසටහන් හතරක් කළා. සංගීත වැඩසටහනක් කළා. ඒකට හුඟක් ප්‍රතිචාර ලැබුණා. දැන් නිවේදනයෙන් ටිකක් ඈත්වුණා. කාර්යබහුලකම නිසා. ඉදිරි කාලයේදී දීර්ඝකාලීනව නිවේදනයෙන් සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා.

ඔබ වෙළෙඳ දැන්වීම් හා ගී රූප රචනා සඳහාත් සම්බන්ධ වී තිබෙනවා නේද?
ඔව්. මම මේ වෙනකොට ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් හතළිහකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව දමිත් අසංක, ශමේන්ද්‍ර සිං, උරේෂා රවිහාරි, ගයනි මධුෂා, කසුන් චාමිකර කියන ගායක ගායිකාවන්ගේ ගීතවල රූප රචනාවලට සම්බන්ධ වුණා. හුඟක් වෙළෙඳ දැන්වීම්වලට හා ගී රූප රචනාවලට ආරාධනා ලැබෙනවා. පුළුවන් විදිහට ඒවාට සම්බන්ධ වෙනවා.

වරිග‍පොජ්ජ චිත්‍රපටයෙන් පසුව රංගනයට වැඩිපුර ආරාධනා ලැබෙනවා ඇති නේද?
නාලක විතානගේ අලුත් චිත්‍රපටයක් කරනවා. ඒකේ ප්‍රධාන චරිතයට මට ආරාධනා ලැබුණා. ඊට අමතරව ටිකිරි රත්නායක, නාලන් මෙන්ඩිස් කියන මහත්වරුන්ගේ ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. ඒවා ඉදිරියේදී රූගත කරනවා. සුරවිමන හා සිහිනපුර කියන ටෙලි නාට්‍ය දෙකටත් මම රංගනයෙන් දායක වුණා.

නිරූපණය හා රංගනය ගැන ඔබ හදාරලා තියෙනවද?
මගේ වෘත්තියේදී මට ගුරුවරයෙක් හිටියේ නැහැ. මම ඉගෙන ගත්තේ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන්. පාස‍ලේදී මම ජනප්‍රිය ක්‍රීඩාවලින්. මගේ ඒ දක්ෂතාවට තමයි ගුරුවරුන් පවා මට ආදරය කළේ. ඒත් රංගනය හෝ නිරූපණය ගැන මම හදාරලා නැහැ. මම මගේ හැකියාව හඳුනාගෙන තනියම ඒවා දියුණු කරගන්න උත්සාහ කරනවා. වරිග‍පොජ්ජ චිත්‍රපටයේදී නම් මට තුෂාර අයියා හුඟක් උදව් කළා. සමහර අවස්ථාවල හරියට රඟපෑවේ නැත්නම් බැණුම් අහලත් තියෙනවා. ඒත් දැන් හිතෙනවා ඒ හැමදේම කළේ මගේ දක්ෂතාව ඉස්මතු කරගන්න කියලා.

ඔබේ නම, රූපය ප්‍රසිද්ධ සමාජයට එකතු වෙනවාට දෙමාපියන් අකමැති වුණේ නැද්ද?
මගේ අම්මා ගෘහණියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. මට අයියලා තුන්දෙනෙක් ඉන්නවා. අම්මා හැරුණාම අනෙක් කිසිම කෙනෙක් මම නිරූපිකාවක් වෙනවාට කැමැති වුණේ නැහැ. ඒත් මගේ අම්මා මාව තේරුම් ගත්තා. මගේ දක්ෂතාව හඳුනා ගත්තා. ඒ නිසා මට කැමැති දේ තෝරාගන්න උදව් කළා. දැන් නම් ගෙදර හැමෝම මට උදව් කරනවා.

නදීෂානි පෙම්වතියක්ද?
ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. එයත් හුඟක් මගේ කලා කටයුතුවලට උදව් කරනවා. තවම විවාහය ගැන නම් හිතලා නැහැ. ඉදිරියේදී ඒ දේත් සිදුවේවි.
හර්ෂණී වීරරත්න
ඡායාරූප-චමිල කරුණාරත්න+
http://www.rivira.lk/edition/images/2014/05/04/3enhancer.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය