Powered by Blogger.

පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ

පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
ගැයුම - පණ්ඩිත් අමරදේව, නන්දා මාලිනි
 

දශක කිහිපයකට පෙර අප ළමා අවදියේ සිටියදී ශ්‍රවණය කර පුරුදු “පාරමිතා බල පූරිත” ගීතය අදත් ගුවන් තලය සිසාරා අපගේ සවන් වැකේ. වෙසක් සහ පොසොන් මාස වලදී මෙරට විද්‍යුත් මාධ්‍ය මෙන්ම පන්සල්, දන්සල් හා තොරණ ඇසුරෙන් අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ බොදු බැති ගීත බැව් කවුරුත් දන්නා කරුණකි. එහෙත් මෙරට බොදු බැති සිත්ගත් ගීතාවලියේ ඇතුළත් බොහොමයක් ගී අතර අදත් ජනප්‍රියත්වයේ පවතින්නේ විසිවැනි සියවස මුලදී එනම් 1900 - 1905 අතර පමණ කාලයේ දී පටන් නිර්මාණය වූ මීට දශක දෙක තුනකට වඩා පැරණි බොදු ගීත වීම පිළිබඳ කිසිවකුගේ අවධානය මෙතෙක් යොමු වී නැති තරම් ය. ග්‍රැමෆෝන් තැටි යුගයේ දී එම තැටියකට නැඟුණු නීතිඥ ජෝන් ද සිල්වාගේ “සිරිසඟබෝ” නූර්ති නාටකයේ ගීතයක් වන “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා” ගීතය ඇතුළු පැරැණි බොදු ගී පමණක්ම බොදු බැති ගී ශ්‍රාවකයින් අතර ජනප්‍රිය වීමේ රහස කුමක් විය හැකි ද?
ඒ සම්බන්ධයෙන් “රසඳුන” සමඟ සිය අදහස් පවසන්නට එක් වූ ජනප්‍රිය පැරණි බොදු ගීත කිහිපයකටම ගායනයෙන් දායක වූ දැනට අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම ගායිකා විවියන් ද සිල්වා බොරලැස්ස ඇතුළු තවත් ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් කිහිප දෙනෙකුගේ සිතුවිලි, අකුරු වූවේ මෙසේ ය.

භක්තිමත් සිත් ඇතුවයි මේ ගී නිර්මාණය වුණේ


- විවියන් ද සිල්වා බොරලැස්ස
ආලෝකය මේ යැයි පවසන දිනයයි
සම්බුදු මංගල්ලේ
ජය ජය ගී නාදෙනි තුටු වෙමු සැම දෙන
සම්බුදු මංගල්ලේ...!

(පද - සරත් විමලවීර)
(ගැයුම - විවියන් ද සිල්වා බොරලැස්ස)
“ඉස්සර ග්‍රැමෆෝන් ගී තැටි කාලේ අපි 1940 හේ සහ 1950 හේ ගණන්වල ගුවන් විදුලියට සහ එච්. ඇම්. වී. තැටි වලට ගායනා කළ ගී නිර්මාණ තමයි ඔය අදටත් ජනප්‍රිය වී තියෙන්නේ. මා ගැයූ ‘ආලෝකය මේ යැයි පවසන දිනයයි’ ගීතය වගේම ‘නවතින්න තිස්ස ඇයි මේ නොදුවන් මුවාගෙ පස්සෙ’ - ‘බුදු මඟුල ළඟම ඒවී’ - කාන්ති වක්වැල්ල සමඟ ගැයූ ‘දුර පෙනෙන තැනිතලා’ වැනි ගීත තවම ජනප්‍රියත්වයේ පවතිනවා. අදටත් මේ ගීත අගය කරලා මට අපේ ගීත ශ්‍රාවකයින්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනවා. භක්ති ගී වැඩ සටහන් සහ ප්‍රසංග වලට මේ ගීත ගයන්න මට තවමත් ආරාධනා ලැබෙනවා.”
“මට හිතෙන්නේ අපේ මේ ගීතවලට තාමත් ශ්‍රාවකයින්ගේ ආදරය හිමිවෙලා තියෙන්නේ වෙන කිසි කාරණයක් හින්දා නෙමේ, එදා අද වගේම හැමදාටමත් වටිනා අදහස් ඇතුව මේ ගීත නිවැරැදිව නිර්මාණය කරලා තිබෙන හින්දා කියලයි. ඒ වගේම අපි මේ ගීත නිර්මාණය කරද්දී මේවාට දායක වුණේ පිරිසිදු වේතනා ඇතුවයි.
ගායනයෙන් මා පමණක් නොවේ, ගී පද රචනයෙන් වගේම සංගීත නිර්මාණ කටයුතු සඳහා දායක වුණු නිර්මාණකරුවෝ හැමෝමත් භක්තිමත් සිත් ඇතුව තමයි මේ ගීත නිර්මාණය කරන්න හවුල් වුණේ. දැන් වගේ තරගෙට හෝ මුදලට මුල්තැන දීලා නෙමේ අපි මේ ගී නිර්මාණ කළේ. ඒ නිසා ලැබුණු යහපත් ප්‍රතිඵලය නිසා තමයි අපේ මේ ගීත තාමත් ජනප්‍රිය.”

පද, තනු හා ගැයුම් සාර්ථකව මුසුව තිබෙනවා

- ටී. එම්. ජයරත්න
සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිවි මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුනි ඔබ වේවා පියුම් ‍ගොමු
හද විල් ජලයේ...!

පද - රඹුකන සිද්ධාර්ථ හිමි
ගැයුම - ටී. එම්. ජයරත්න
 
“කෙටියෙන් පවසනවා නම් එදා බෞද්ධ භක්ති ගී අදටත් ජනප්‍රියත්වයේ පවතින්න හේතුව තමයි පද, තනු සහ ගැයුම් සාර්ථක ලෙස මුසු වී එම ගීත නිර්මාණය වී තිබීම. බලන්න, මොහිදින් බෙග් මහත්මයා ගායනා කළ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ගීතය මොනතරම් ශ්‍රාවකයාගේ සිත ආකර්ෂණය කරගන්නා අයුරින් ද නිර්මාණය වී තිබෙන්නේ. එපමණක් ද, අපේ පණ්ඩිත් අමරදේවයන් සමඟ නන්දා මාලනිය ‘රන්මුතු දුව’ චිත්‍රපටයට ගායනා කළ ‘පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ’ ගීතය අපිට අපේ ජාතික ගීය වගේ නොවේ ද ඇහෙන්නේ.”
“එදා අපේ ගී නිර්මාණකරුවෝ ගීත පද ලිව්වෙ, තනු නිර්මාණය කෙරුවේ හා ගැයුවේ ආවට ගියාවට නෙමේ. එතුමන්ලා හොඳින් සෑදි පැහැදි අපිරිමිත භක්තියකින් මෙවැනි ගී නිර්මාණ කටයුතුවලදී මනා කැපවීමක් කර තිබෙන නිසා තමයි අදටත් හෙටටත් අපට ශ්‍රවණය කරන්න පුළුවන් හොඳ බොදු ගීතාවලියක් මෙලෙස නිර්මාණය වී තිබෙන්නේ. හදවතේ අවංක හැඟීමෙන්, සැබෑ භක්තියෙන් එතුමන්ලා මේ නිර්මාණ කරන්න ඇති. එම නිසා දැන් දශක ගණනාවකට පසුවත් එතුමන්ලාගේ නිර්මාණ ජනප්‍රසාදයට පත් වී පවතිනවා.”

බොදු බැති ගී වලදි ගායන ශෛලියත් වැදගත්

-ඉන්ද්‍රානි විජේබණ්ඩාර
වෙසක් කැකුළු අතු අග හිඳ
නටන විලාසේ
ඉරෙත් හදෙත් සිරි විඳ විඳ
රඟන විලාසේ

පද - මර්සලින් ජයකොඩි ගරු පියනම
ගැයුම - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර
 
“මම ‘වෙසක් කැකුළු අතු අග’ ගීතය ගායනා කළ ‘රේඛාව’ චිත්‍රපටය තිරගත වුණේ 1956 දෙසැම්බර් මාසේ 28 වැනිදා කියලයි මට මතක. එදා ඉඳලා ඔය ගීතය තවමත් අපේ ගීත රසිකයින්ගේ ඉමහත් ආදරය දිනාගත් ගීතයක් වී තියෙනවා. වෙසක් කාලේ අසිරිය තමයි මේ ගීතයෙන් පැවසෙන්නේ. ඒ වගේම බුද්ධ වන්දනාවක් ලෙස මා ගැයූ ‘බුදු සාමිනී සිරිපා පියුම් කරමි බැතින් පිනි පා’ ගීතයත්. බුද්ධ චරිතයෙන් තොරතුරු බිඳක් පැවසෙන අයුරින් මා ගැයූ ‘සිරිමා බෝ මුල විදුරාසන මත’ ගීතයත්, මගේ සැමියා වන සිසිර සේනාරත්න ගැයූ ‘සිරි පා වඳිමු මුනිගේ’ ගීතයත් අපේ බෞද්ධ ගීත රසික රසිකාවන් අතර තවමත් ජනප්‍රියයි.”
“අපිට නම් හිතෙන්නේ බොදු බැති ගීත ගායනා කරද්දී අපේ ගායන ශෛලියත් වැදගත් වෙනවා. අපේ ගායන ශෛලීන්ට පැහැදී දැනට අවුරුදු පනහක් පමණ වෙලත් අපේ මේ සමහර ගීත වලට ආදරය කරන රසික රසිකාවියෝ ඉන්නවා. බුදු ගුණ ගයන්න ඕනේ මිහිරි ලෙසයි. එසේම අසන්නන්ගේ සිත් වලට කා වදින ලෙස අදහස් ලියැවී තියෙන්නත් ඕනේ බොදු ගීතවලදී. මිහිරි ශෛලියෙන්, පද අර්ථවත්ව, රාගධාරී තනු ආශ්‍රිතව අපි මේ ගී නිර්මාණ කළ නිසාම විය හැකියි තාමත් අපේ ගීත කොතරම් පැරැණි වුවත් මෙතරම්ම ජනප්‍රිය. මෙවැනි ගී කිසිදාක ගීත රසිකයින්ගේ මතකයෙන් ඈත්වෙන්නේ නැහැ කියායි අපි විශ්වාස කරන්නේ.”

මේවා භක්තිය දනවන අයුරින් හැඟීම්බරව ගැයූ නිර්මාණ

- සුජාතා අත්තනායක
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්
මා සෑසී තිලෝනා වඳිම්
හද පුදසුන් සදා
එහි බැතිමල් පුදා
මා සෑසී තිලෝනා වඳිම්...!

පද - ප්‍රේමනාත් ජයතිලක
ගැයුම - සුජාතා අත්තනායක
 
“මා ගායනා කර ජනප්‍රිය වූ බෞද්ධ ගී අතර ‘ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්’ - ‘කකුසඳ කෝණාගම පෙර මුනිවර’ - මොහිදින් බෙග් සමඟ ගැයූ ‘මල් සුගන්දේ දම් සුගන්දේ’ - ‘ මුලින් මගේ අම්මා ද ගායනා කර තිබුණු ‘සාදු දන්ත දා’ වැනි ගීත අදත් ශ්‍රාවකයන් අතර ජනප්‍රිය වී පැවැතීම ගැන සතුටු වෙනවා. මම හිතන්නේ තවමත් අපේ මේ පැරණි බොදු ගීත ජනප්‍රියත්වයේ පැවතීමේ රහස තමයි - මේ ගීත භක්තිය දනවන අයුරින් තනු නිර්මාණ කර හැඟීම්බරව ගායනා කර තිබීම. එදා හොඳ තනුවක් නිර්මාණය කළාම ඒ තනුවල ස්වර වලට වැඩි යමක් එකතු කරලා ගායනා කරන්න පුළුවන් දක්ෂ ගායක ගායිකාවන් පිරිසක් උන්නා. හරියට කිරි හොද්දට තුනපහ වගේ. පොල්කිරි ටික විතරක් මදිනේ. එහෙම තමා artist කියන එක්කෙනා. එතකොට ගීතය ගායනයෙන් තව තවත් රසවත් වෙනවා.”
“ඒ රසයට ගායකයාගේ හෝ ගායිකාවගේ හ‍ඬේ ප්‍රබලත්වයත් එකතු වී නිවැරැදි ශ්‍රැතියට තනුව ගායනා කෙරුණම එවැනි ගීතයක මිහිර තමයි හැමදාම අසන්නන්ගේ කන්වල තියෙන්නේ. ඒ නිසා ඔවුන් කැමැති නැවත ඒ රසය, මිහිර විඳින්නයි. අපේ පරපුරේ ගීත තවමත් ජනප්‍රිය ඒ නිසයි. මං හැමදාම කියන කාරණයක් තමයි, අලුතින් කරන ගීතවල හොඳ තනු නිර්මාණ වී නැහැ කියන කාරණය. ඒ නිසා තමයි අලුත් ගීත රැ‍ඳෙන්නේ නැත්තේ.”

පදමාලා විචිත්‍රයි; සරලයි

-සෝමතිලක ජයමහ
දස බිම්බර මාර සෙනඟ
තණ්හා රතී රඟා සමඟ
පළවා හල වීතරාගි
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා...!

පද - තලංගම ප්‍රේමදාස
ගැයුම - සෝමතිලක ජයමහ
 
අපි මේ ගී නිර්මාණ කළ පරමාර්ථවල වෙනස්කම් තමා ප්‍රධාන වෙන්නේ. අපේ කාලේ ගී නිර්මාණයේ දී වාණිජ පරමාර්ථ මූලික කර ගත්තේ නැහැ. ඒ වෙනුවට රස වින්දනය සඳහා සාර්ථක නිර්මාණ එළිදැක්වීමයි අපේ වෑයම වුණේ. ඊට පස්සේ ඉබේටම ඒ නිර්මාණයන්ට වාණිජ වටිනාකමක් එකතු වුණා. අපි එදා බොදු බැති ගී නිර්මාණය කළේ බෞද්ධ ජනතාවගේ විශේෂයෙන්ම වියපත්, තලතුනා වැඩිහිටියන්ගේ මනස සන්තර්පනය කිරීමේ අරමුණින්. එමෙන්ම අපේ තිබුණු භක්තිය නිසාත් පුළුල් විදිහට සමාජය දිහා ඇහැ ඇරලා බලලා වගකීමෙන් යුතුව එදා අපි අපේ බොදු ගී නිර්මාණ ඉදිරිපත් කළ නිසාත් අදත් එම ගීත ජනතාව අතර පවතිනවා.
මා ගැයූ ‘දස බිම්බර මාර සෙනඟ සහ ‘බුදු හිමිගේ මුව කමලේ සදහම් රොන් සුවඳ ගලා’ වැනි ගීත වල කලාත්මක හැඟීම් තිබීම මේ ගීත ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් වෙන්න ඇති කියා මට හැ‍ඟෙනවා. මේ ගී ලියූ පද රචකයා තලංගම ප්‍රේමදාස දක්ෂ ලේඛකයෙක්. ඔහු ඉතාම විචිත්‍රවත් අයුරින් සරල වචන මාලාවකින් තමයි ‘දස බිම්බර’ ගීතයේ සංකල්පනාව ලියා තිබෙන්නේ. බලන්න, ‘හද වෙත බුදුන් වඩිනවා’ කීමෙන්ම මොනතරම් ගුණ සමුදායක් පැවසෙනවා ද කියන එක.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය