Powered by Blogger.


වර්තමාන ලෝකයේ පවතින ප්‍රබලම භේදය දුප්පත් පොහොසත් භේදයයි. තවක් වසර සියයකට හමාරකට පසු ලෝකයේ පැවතිය හැක්කේ කෙබඳු භේදයක් ද? හොලිවුඩයෙන් නිකුත් වී ඇති අලුත්ම චිත්‍රපටයකට අනුව අනාගත චිකාගෝ සමාජය කණ්ඩායම් පහකට බෙදෙයි. ඒ ආත්මාර්ථය, නිර්භීතභාවය, බුද්ධිමත්භාවය, අවංකභාවය හා සාමකාමී බව මූලික කරගෙනය. උපතින් තමන් කුමන කණ්ඩායමකට අයත් වූවත් වයස 16 සපිරෙද්දී එම යෞවනයා හෝ යෞවනිය තමන් වඩාත් සුදුසු කණ්ඩායම තෝරාගෙන ඊට එක්විය යුතු වෙයි.
එවැනි අනාගත විද්‍යා ප්‍රබන්ධ කතා තේමාවක් සහිත අලුත්ම ‍ෙහාලිවුඩ් චිත්‍රපටය ‘ඩයිවර්ජන්ට්’ පසුගිය මාර්තු මස 20 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනය වෙයි. නීල් බර්ගර් ගේ නිර්මාණයක් වන ‘ඩයිවර්ජන්ට්’ සඳහා පාදක වී ඇත්තේ වෙරෝනිකා රොත් එනමින්ම ලියූ නවකතාවයි. ‘ඩයිවර්ජන්ට්’ චිත්‍රපට පෙළක පළමුවැන්න ලෙස හැඳින්වෙන අතර එහි දිගුව ‘ඉන්සර්ජන්ට්’ ලබන වසරේ මාර්තු 20දා සිට ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කොට තිබේ.
ඩොලර් ලක්ෂ 850ක වියදමින් තනා ඇති ‘ඩයිවර්ජන්ට්’ හි ෂේයිලින් වූඩ්ලි, තියෝ ජේම්ස්, සෝ ක්‍රාවිට්ස්, ඇන්සෙල් එල්ගෝර්ට්, මැගී ඕ, ජායි කරට්නි, හා කේට් වින්ස්ලට් ඇතුළු නළු නිළියෝ රැසක් රඟපාති.
බියට්‍රිස් ප්‍රියර් අප ඉහත කී චිකාගෝ සමාජයේ යුවතියකි. වයස අවුරුදු 16 සපිරෙද්දී ඇය තීරණය කළ යුතු වන්නේ තම පවුල අයත් කණ්ඩායමේ සිටිනවාද නැතිනම් තමාට ගැළපෙන වෙනත් කණ්ඩායමක් සොයා ගන්නවාද යන්නයි. තම පවුල අයත් කණ්ඩායම තමාට නොගැළපෙන බව ඇය වටහාගනියි. එහෙත් ඇය සතුව තවත් රහසක් තිබේ. ඒ චිකාගෝ හි පවතින කණ්ඩායම් පහෙන් එකකටවත් තමන් සුදුසු නැති බවයි. එම රහස හෙළිවුවහොත් ඇයට ලැබෙන්නේ අනිවාර්ය මරණයයි. එකී රහස සහිතවම ඇය පෙමින් බැ‍‍ඳෙන්නීය. බියට්‍රිස් නිසා මුළු චිකාගෝ සමාජයම බිඳ වැටීම තර්ජනයට මුහුණ පායි. අනාගත චිකාගෝ සමාජයේත් බියට්‍රිස් ප්‍රියර්ගේත් ඉරණම කෙබඳු වේවිද?
ෂේයිලින් මූඩ්ලි බියට්‍රිස් ප්‍රියර් ගේ චරිතයට පණපොවන ‘ඩයිවර්ජන්ට්’ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත වී ඇත්තේ චිකාගෝ නගරයේදීය. 2013 වසරේ ආරම්භ වූ රූගත කිරීම් අවසන් වී ඇත්තේ මේ වසරේ ජනවාරි 16දාය. ‘හන්ගර් ගේම්ස්’ චිත්‍රපට පෙළ නිපැයූ ලයන්ස් ගේට් සමාගම ම නිපැයූ ‘ඩයිවර්ජන්ට්’ චිත්‍රපට පෙළ ද ‘හන්ගර් ගේම්ස්’ චිත්‍රපට පෙළට බෙහෙවින් සමාන බවක් ද පැවසෙයි.
කෙසේ වෙතත් විචාරකයන්ගේ සාමාන්‍ය ප්‍රසාදයකට භාජන වී ඇති ‘ඩයිවර්ජන්ට්’ ලොව පුරා ප්‍රේක්ෂක ප්‍රසාදය නම් දිනාගෙන ඇති සේය. පසුගිය මැයි 7දා වන විට ‘ඩයිවර්ජන්ට්’ ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ලබා තිබූ ආදායම ඩොලර් 250,923,919ක් වූයේය. ලොව මහත් ජනප්‍රියත්වයට පත් ‘ට්වයිලයිට්’ චිත්‍රපට පෙළේ පළමුවැන්න 2008 වසරේදී චිත්‍රපටය ප්‍රදර්ශනය වන පළමු දිනයේ කලින් වෙන්කර ගැනුණු ප්‍රවේශ පත්‍රවලින් ලැබූ ආදායම පිළිබඳ තැබූ වාර්තාව වසර හයකට පසු බිඳ දැමුවේ ‘ඩයිවර්ජන්ට්'ය.
විද්‍යා ප්‍රබන්ධ ප්‍රිය කරන ප්‍රේක්ෂකයන්ට ‘ඩයිවර්ජන්ට්’ අමුතුම ආකාරයේ අත්දැකීමක් හා වින්දනයක් ලබා දෙනු නිසැකය.

වැඩිම රසික පිරිසක් ඉන්නේ අපේ ෆේස් බුක් පේජ් එකේ

 භාතිය - සන්තුෂ්
නුතන ශ්‍රී ලාංකේය සංගීතය නව මානයකට ගෙන යාමේ පුරෝගාමීන් වූ ඔවුන් විවිධ සංගීත ශෛලී හරහා අපූර්ව නිර්මාණ බිහිකරමින් තාරුණ්‍යයේ උන්මාදයක් ඇති කළ අපේ කාලේ නිර්මාණකරුවන් දෙපළකි. ඔවුන් ගැන හඳුන්වා දීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. භාතිය - සන්තුෂ් නම් වූ ඔවුන් නුතන සංගීත ක්ෂේත්‍රයේ බිහිවූ අපූර්වතම සුසංයෝගයයි.

* ‘ලස්සන දෑසක්'කාලෙකින් කරපු වෙනස් නිර්මාණයක් ?
නිර්මාණකරණයේදි බොහෝ කාලයක් හිතල කරන නිර්මාණ සහ හදිස්සියේම ඔළුවට ඇවිත් එවෙලේ තීරණය කරල හදන නිර්මාණ තියෙනවා. ‘ලස්සන දෑසක්’ එවැනි නිර්මාණයක්. මේ වීඩියෝ එක අධ්‍යක්ෂණය කළේ ඩිලන්. ඔහු ගේ සංකල්පයට අනුව මෙහි අන්තර්ගතය වුණේ අනාගත ප්‍රබන්ධනාත්මක සිදුවීමක්. මෙවැනි අනාගතය හා බැඳුණු විද්‍යාත්මක ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමේදී ග්‍රැෆික් තාක්ෂණය බොහොසේ අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් එය අභියෝගයක්. අපි මේ සංකල්පයට කැමැති වෙන්න ප්‍රධානම හේතුව මෙය අභියෝගාත්මක කටයුත්තක් නිසා. නවීන තාක්ෂණික ක්‍රමවේදයේ අඩුලුහුඩු කම් තිබියදී ලංකාවේ තියෙන සම්පත් යොදා ගෙන මෙවැනි නිර්මාණයක් කිරීමේ අභියෝගය තමයි තිබුණේ. නමුත් ඒ අභියෝගය අපි සෑහෙන දුරට ජයග්‍රහණය කළා.

* නමුත් ගීතයේ අර්ථය සහ මේ වීඩියෝ එක අතර කිසිම ගැළපීමක් නැහැ නේද?
එහෙම කවුරු හරි කියනවා නම් අවංකවම ඒ කතාවේ අසත්‍යතාවයක් නැහැ. ඔබ කියනවා වගේ ගීතයේ ජනප්‍රියත්වයට හෝ එහි අර්ථයට යම් හානියක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අපේ අරමුණ ගීතය ජනප්‍රිය කරවීම නොවෙයි. මේ කන්සෙප්ට් එකේ තිබු අභියෝගය ජය ගැනීමයි. මේ නිර්මාණය අත්හදා බැලීම් සමූහයකට මුහුණදීමට සිදුවූ තරමක් අවදානම් සහිත කර්තව්‍යයක්. අපේ රටේ මෙවැනි අභියෝග භාර ගන්නවා අඩුයි. අපි උත්සහ කළේ රට ඇතුළේ ඉඳගෙන හොලිවුඩ් වගේ නිර්මාණය කරන්නයි. ඇත්තටම කවුරු මොනවා කිව්වත් ඕනෑම නිර්මාණාත්මක දෙයක් කරන්න පුළුවන් අදහස්, හැකියාව සහ දක්ෂතාව තිබෙන තරුණ කොට්ඨාසයක් අපේ රටේ ඉන්නවා. මේයත් සියයට සියයක්ම ශ්‍රී ලාංකේය වූ එවැනි නිර්මාණයක්.

* මේ නිර්මාණය සාර්ථකයි කියා හිතනවද?
නිර්මාණාත්මක බවින් අතිශයින්ම සාර්ථකයි. මේ ගීතය බලලා රස විඳින ඕනෑම කෙනෙකුගේ අවධානය සොරා ගෙන තිබෙන්නේ විෂුවල්ස් නිසා. ගීතයේ පද පේළියක් වත් මතක හිටින්නෙත් නැහැ. අලුත් අත්දැකීමක් නිසා ගීතයට තියෙන අවධානය අඩු වෙන්න පුළුවන්.

* නිර්මාණ එළි දැක්වීමේ මන්දගාමී ස්වභාවයක් තියෙනවා?
පහුගිය වකවානුවේදී වඩාත් අපේ අවධානය යොමු වුණේ අපේ ක්ෂේත්‍රයේ අනාගත ස්ථාවරත්වය පිළිබඳයි. අනෙක් කාරණය අපි ඉන්නේ සීඩී සහ ඇල්බම් නිර්මාණය එන්න එන්නම අඩු වේගෙන යන වකවානුවක. ඉතින් කරන්නම් වාලේ ඇල්බම් කිරීම සුදුසු නැහැ. නිර්මාණ එකතුවක් බිහි වීමට අලුත් අදහස් සහ කාලය අවශ්‍යයි.

* ක්ෂේත්‍රය තුළ අනාගත ස්ථාවරත්වයක් පිළිබඳ ඔබ දෙපළ කතා කළා?
අපේ ජීවන වෘත්තිය තමයි සංගීතය. එහිදි අපේ අනාගතය වෙනුවෙන් හා සංගීත ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් කළ යුතු දේවල් කරන්න ඕනෙත් මේ ක්ෂේත්‍රයේ සිටයි. සාමාන්‍යයෙන් වෙන රටක නම් නිර්මාණකරුවා ආරක්ෂා කරන්න යම් ප්‍රතිපත්ති සහ ක්‍රමවේද තියෙනවා. නමුත් අපේ කලාකරුවා ඔහුගේ ජීවිතය කලාවටම කැප කළ යුතුයි යන ලේබලයට සීමා කරල කලාව සහ මුදල අතර කිසිම සම්බන්ධයක් නැහැයි හංවඩු ගැහීමෙන් සිදු වුණේ නිර්මාණකරුවගේ මුල්‍යමය අයිතිවාසිකම් නැති වීමයි.
 මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය ලෙස නිර්මාණකරුවා ව්‍යාපාරිකයන්ගේ හූරන් කෑමට ලක් වෙනවා. මෙන්න මේ අසාධාරණය කවුරුත් දකින්නේ නැහැ. අපි වුණත් වෙන ක්ෂේත්‍ර වලට යොමු වෙන්න ඕනෑ තරම් අවස්ථාව තිබියදීත් මියුසික් වලට ආවේ මියුසික් අපේ ඇඟේ තියෙන දෙයක් නිසා. මුදල් සහ ව්‍යාපාරික හේතු මත අපි කවදාවත් නිර්මාණ කරන්නේ නැහැ. නමුත් කලාව තෝරා ගැනීමෙන් කලාකරුවාගේ ජීවන මට්ටම හෝ ස්ථාවරත්වය ගොඩනඟා ගන්න බැරි නම් එය ඔහුට හෝ ඇයට සිදුවන ලොකු අසාධාරණයක්. අද ඇල්බම් හොරෙන් විකුණන සින්දු හොරෙන් ඩවුන්ලෝඩ් කරන යුගයක සංගීතය ජීවන වෘත්තිය කරගෙන ආර්ටිස් කෙනෙක් රැඳිලා ඉන්නේ කොහොමද? ඒ වෙනුවෙන් තමයි අපි හඬ නඟන්නේ. අනාගතයේදී කලාවට ළැදි ඕනෑම දරුවෙක්ව බයක් සැකක් නැතුව ඒ ක්ෂේත්‍රයට යොමු කරන්න නම් මේ ක්ෂේත්‍රයේ ඔවුන්ගේ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමේ ක්‍රමවේද තිබිය යුතුයි.

* භාතිය සන්තුෂ්ගේ ජනප්‍රියත්වය තරුණ පරපුර අතර කෙමෙන් කෙමෙන් අඩු වෙනවා කිව්වොත්?
දැනට අපේ ෆේස් බුක් පේජ් එක ගත්තොත් ලංකාවේ ආර්ටිස්ලාගෙන් වැඩිම රසික පිරිසක් ඉන්නේ අපේ ෆෑන් පේජ් එකේ වෙන්න ඇති. ලක්ෂ හතරකට කිට්ටු පිරිසක් අපි වටා රොක්වෙලා ඉන්නවා.

* ඔබේ කණ්ඩායමේ දීර්ඝ කාලීනව හිටපු අශාන්ති මෑත කාලයේදී ඔබලාගේ නිර්මාණ අතර දකින්න ලැබුණේ නැහැ?
මේ දවස්වල අශාන්ති ඇගේ අලුත් ඇල්බම් එක හදාගෙන යනවා. අපේ හැම ‘සරා සිහින’ කොන්සර්ට් එකකම ඇය අපිත් එක්ක හිටියා. ඉදිරියේදීත් අලුත් ගීත සමග නැවතත් එකතු වෙයි. අපේ සාමාජිකයන්ගේ අඩු වැඩි භාවයක් කවදාවත් නැහැ. අශාන්ති කියන්නේ BnS පවුලේ අත්‍යවශ්‍ය සාමාජිකාවක්.

* භාතිය- සංතුෂ් සුසංයෝගයේ රහස කුමක්ද?
අපි වෙනස් පුද්ගලයන් දෙදෙනෙක්. හැබැයි අපේ වැඩ ගැන අපි එක අරමුණක් තියා ගන්නවා. ඒ අරමුණට ළඟා වෙන විදිහ වෙනස්. මේ සම්මිශ්‍රණය තමයි BnS තුළින් එළියට එන්නේ. අපේ සුසංයෝගය වසර පහළොවකට වැඩියි. ඒ අතර අර්බූදකාරී අවස්ථා පැන නැඟුණහම ඒවා සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කර ගන්නවා. අපිව දෙකඩ කරන්න උත්සහා කරපු අයත් මේ අතර ඕන තරම් හිටියා.

* නවක පරපුරේ හැකියාව ගැන ඔබලාගේ අදහස?
අතිශයෙන්ම හොඳයි. නව නිර්මාණ, තාක්ෂණය සහ හැකියාවන් සම්බන්ධ සැහීමකට පත් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව නිසා ෆීල්ඩ් එකට එන අයගේ පැවැත්ම අඩුයි.

* ඔබ දෙපළ පෞද්ගලික ජීවිතයේ තොරතුරු මාධ්‍ය සමඟ බෙදා ගන්නවා අඩුයි?
අපේ ෆේස් බුක් පේජ් එකට යන ඕනෑම කෙනෙක්ට අපේ දේවල් දැන ගන්න පුළුවන්. මාධ්‍ය සාකච්ඡාවකදී වුණත් අපි පටන් ගන්නේ ඕනෑම දෙයක් අහන්න කියලයි.

* භාතිය කියන සංගීතඥයා පිළිබඳ සන්තුෂ් දකින සුවිශේෂී ගුණාංගය?
ඔහු අලුත් අදහස් තියෙන කෙනෙක්. නිර්මාණකරණයේදී ඒ වෙනුවෙන් ලොකු වෑයමක් දරලා ඒ නිර්මාණය සාර්ථකව නිමා කරන්න උපරිම වෙහෙස මහන්සි වෙනවා. පාර්ට්නර් කෙනෙක් විදිහට මා ඔහුව අගය කළ යුතුමයි.

* භාතිය, ඔබ සන්තුෂ්ගේ දකින සුවිශේෂී ගුණාංගය?
ඔහු ඉන්නේ ඔහුගේම ලෝකෙක තනි වෙලා. එවිට බාහිර දේවල් බැහැර කර ඕනෑම වෙලාවක නිර්මාණයක් කිරීමේ හැකියාව ඔහුට තියෙනවා.

*නිර්මාණ එකතුවක් එළිදැක්වීමේ අදහස තවත් කල් යන හැඩයි?
ඉදිරියේදී අපේ ගීත කිහිපයක් රසවිඳින්න ලැබෙයි. තව මාස තුන හතරක් මෙහෙම නිහඬව ඉඳලා ඒ කාලයේදී අපේ ඊළඟ ඇල්බම් එකට ලෑස්ති වෙනවා.

වානර මවකගේ දරු සෙනෙහස

පසුගිය සති අන්තයේ ලෝකය මවුවරුන්ගේ දිනය ඉහළින් සමරද්දී ඉන්දුනීසියාවේ සුලවෙසි ජාතික වනෝද්‍යානයේ වානර මවක තිරිසන් සතුන් අතර ද දරු සෙනෙහස අප්‍රමාණව පවතින බව නිහඬව ලොවට පෙන්වා දුන්නාය.
ම්කැක් යනු දකුණු ආසියාවේ වෙසෙන වඳවී යාමේ තර්ජනයට බරපතළ ලෙස මුහුණ දී සිටින වානර වර්ගයක් වෙයි. නීති විරෝධී ආකාරයට දඩයම් කිරීම හා වාසස්ථාන අහිමි වී යාම නිසා උන් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිති. නත්තල් හා පාස්කු වැනි විශේෂ උත්සව අවස්ථා සඳහා වඩාත් උචිත මස් වර්ගයක් ලෙස ඉන්දුසීනියානුවන් ම්කැක් වානර මස සලකන හෙයින් ම එම කාලවලදී උන් වැඩි වැඩියෙන් රහසේ දඩයම් කෙරෙයි.
අපේ කතා පුවතට පාදක වන වැඳිරිය වෙසෙන්නේ ඉන්දුනීසියාවේ සු‍ලවෙයි ජාතික වනෝද්‍යානයට අයත් ටැන්ග්කොකො ස්වභාව රක්ෂිතයේය.
ඌ තම පැටවා මිය ගිය පසු එම මළ සිරුර පපු පෙදෙසට තුරුලු කරගෙන දින ගණනක් ම ගත කර ඇත්තේ ශෝකයෙන් යුතුව මෙන් ම වෙනත් කිසිම වානරයකුට තමන් ආසන්නයට පැමිණෙන්නට හෝ අවසර නොදී ය.
පළමුව මේ බව නිරීක්ෂණය කර ඇත්තේ වන ජීවී ඡායාරූප ශිල්පියකු වන බ්‍රිතාන්‍ය ජාතික ඇන්ඩෲ වල්ම්ස්ලේ ය. 31 හැවිරිදි ඔහු සිද්ධිය මාධ්‍ය වෙත විස්තර කර තිබුණේ මේ ආකාරයෙනි.
“වඳුරු මව මා පසු කරගෙන යද්දී ඇය යමක් පපු පෙදෙසට තුරුල කරගෙන යන ආකාරය මා දුටුවා. නමුත් උගේ උදර පෙදෙස ග්‍රහණය කරගෙන තිබිය යුතු දෙපා බිම වැදෙමින් අප්‍රාණිකව ඒ මේ අත වැනෙන ආකාරයත් මා ඒ සමඟම දැක්කා.
“ඌ ගොස් පසෙක වාඩි වුණා ම මා දැක්කා ඒ කුඩා වානර පැටියකු බව. වානර මව හිටියේ මහත් ශෝකයෙන්. ඌ වරින් වර තම දරුවාගේ මළ සිරුර සිප ගත්තා. වරෙක තම දෙපා අතර තබාගත් ඒ සිරුර තවත් වරෙක පපු පෙදෙසට තුරුලු කර ගත්තා. ඇත්තෙන් ම එය හද රිදවන දසුනක් වූවා.”
මේ සමඟ පළවන්නේ එම අවස්ථාවේ ඇන්ඩෲ වල්ම්ස්ලේ ලබාගත් ඡායාරූපය.
“මඳ වේලාවකට පසු තරුණ පිරිමි වඳුරකු ඇය දෙසට ආවා. සමහර විට එසේ එන්නට ඇත්තේ ඇගේ දුක බෙදා හදා ගන්නයි. නමුත් මවු වැඳිරිය දත් විලිස්සමින් වඳුරාට විරෝධය පෑවා. එහෙත් වඳුරා පසුබෑවේ නැහැ. වැඳිරිය කළේ ඉදිරියට පැන වඳුරාගේ අතක් සපා කෑමයි. වඳුරා මඳක් පසුබාද්දී වැඳිරිය යළි යළිත් කෝපයෙන් දත් විළිස්සුවා. වඳුරා පසු බැස ගියා මිස නැවත ඒ පැත්තට ආවේ නැහැ.”
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සිට ඇන්ඩෲ එහි පැමිණ තිබුණේ තවත් කණ්ඩායමක් සමඟිනි. ඔවුහු සෑහෙන වේලාවක් එහි රැඳී සිට වැඳිරිගේ හැසිරීම් රටා නිරීක්ෂණය කොට ඇත.
“අපි ඒ වැඳිරිය මුලින්ම දුටුවේ පෙරවරු එකොළහට පමණ. එතැන් පටන් පැයකට වැඩි කාලයක් අප ඌ නිරීක්ෂණය කරමින් එතැන රැඳී සිටියා.
දරු සෙනෙහස නිසාම ඌ මහත් ශෝකයට පත්ව සිටින වග අපට වැටහුණා. කිසිවිටෙක ඇය තම දරුවාගේ මළ සිරුරෙන් මඳකට හෝ ඈත්වූයේ නැහැ. මිනිසුන්ගේත් තිරිසනුන්ගේත් දරු සෙනෙහසෙහි එතරම් වෙනසක් නැති බවකුයි අපට හැඟුණේ.” ඇන්ඩෘ පවසයි.
මවුවරුන් තම දරුවන්ට දක්වන සෙනෙහස පිළිබඳ ගැටලුවක් නැත. එහෙත් මිනිස් ලෝකයේ දරුවන් තම මවුවරුනට පෙරළා සෙනෙහස දක්වන්නේ ද යන්න ගැටලුවක් වෙයි. උත්සවාකාරයෙන් වාර්ෂිකව සැමරෙන මවුවරුන‍්ගේ දිනය ඇතුළත ඇත්තේ ද එම ගැටලුවම නොවන්නේද?
සුලවෙසි වනෝද්‍යානයේ වන ජීවී නිලධාරීන් පසුව සනාථ කර තිබුණේ එම වැඳිරියගේ පැටවා ඊට දෙසතියකට පමණ පෙර උපන්නකු බවය.
යම් හේතුවක් නිසා පැටවා මිය ගොස් සිටි අතර ඇන්ඩෲ උන් දැකීමෙන් පසු තවත් දෙදිනක් ම වැඳිරිය තම පැටවාගේ මළ සිරුර අත් නොහළ බව වනෝද්‍යානයේ නිලධාරීන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
එම සම්පූර්ණ කාලය ඇතුළත වැඳිරිය අහර ගැන කිසිම උනන්දුවක් දක්වා ද නැත. තෙවැනි දිනයෙන් අනතුරුව ඌ තම පැටවාගේ මළ සිරුරෙන් ඈත් වී තිබේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය