Powered by Blogger.

Jagath-Sugandika1තම දරුවන් මරා දැමීමට ගඟට දමන, ‍පොළොවේ වළ දැමීමට ගේ තුළ වළවල් කපන පියවරුන් සිටින රටක ‍පොළොන්නරුවේ වැලිකන්ද රුහුණුකෙත ගමෙන් අපට අසන්නට ලැබුණේ දෙනෙත් අඳ මවුපිය යුවළක් තම දරුවන් දෙන්නා ‍පෝෂණය කිරීමට වීර්ය පාරමිතාව පුරන අනුවේදනීය කතාවකි.
මේ කතාවේ කතානායක කේ. ජගත් ප්‍රසන්න කුමාර හා ඔහුගේ බිරිය වන ජී.ඩබ්ලිව්. සුගන්දිකා මානෙල්ය. ප්‍රසන්නගේ වයස අවුරුදු තිස් දෙකකි. මානෙල් පසුවන්නේ විසිනව වැනි වියේය.
දෙනෙත් අඳ මේ යුවළගේ දරු දෙදෙනා කේ. සඳුන් නුවන් හර්ෂ කුමාර හා ෂෙහාන් දෙනෙත් නිර්මාල් කුමාරය.
සය හැවිරිදි සඳුන් නුවන් හර්ෂ කුමාර වැලිකන්ද රුහුණුකෙත කනිෂ්ට විද්‍යාලයේ පළමු වසරේ අකුරු කරන්නේය. ෂෙහාන් දෙනෙත් මාස දෙකක කිරිකැටි දරුවෙකි. ඒ නොදරුවන් දෙදෙනාගේ කුස පිරවීමට අඳ යුවළ ගන්නා ධෛර්ය ඇස් පෙනෙන මවුපියන්ට කියාදෙන කදිම පාඩමක් යැයි අපට සිතේ.
ජගත් ප්‍රසන්න කුමාරගේ ඇස් නොපෙනෙන්ට පටන් ගත්තේ ඔහුට අවුරුදු පහළොවක් පමණ පිරෙන විටය. ඇස් පෙනීමේ දුර්වලතාවක් හේතුවෙන් ප්‍රතිකාර ලැබිමට  මුලින්ම ගියේ ‍පොළොන්නරුව මහරෝහලටය. එතැනින් නුවරඑළිය සහ කොළඹ ඇස් වාට්ටුවටත් ජගත් ප්‍රසන්න ඇතුළු කළද ඔහුට යළිඳු වරක් මෙලොව එළිය දක්වන්නට ජීවකයන්ට නොහැකි විය.
Jagath-Sugandika2ඒ වන විටත් ඔහු රුහුණු කෙත කනිෂ්ඨ විද්‍යාලයේ 8 වසරේ අධ්‍යාපනය ලබමින් සිටියේය. ඔහුගේ අධ්‍යාපනය අට වැනි වසරෙන් කෙළවර කිරීමට සිද්ධ වූයේ ඒ පාසල්වල ඇස් නොපෙනෙන සිසුන්ට ඉගෙන ගැනීමට තරම් පහසුකම් නැති බැවිනි. පාසල් ගමනට සමුදුන් ජගත් ප්‍රසන්නගේ දෙමාපියෝ, මීට වසර 9කට පෙර ඔහු බලංගොඩ, බටුගම්මන වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ කොහු කර්මාන්තය පුහුණුවීම සඳහා යොමු කළහ. දෙනෙත් අඳ වුවත් ජගත් ප්‍රසන්නගේ උත්සහ මහන්සියේ නම් අඩුවක් නොවීය. ඔහු දෙඅත්, දෙපා වාරුවෙන් කොහු කර්මාන්තය ඉගෙන ගත්තේය. බඹා කෙටූ හැටියට ජගත් ප්‍රසන්නට තම ජීවින සහකාරිය හමුවන්නේද කොහු කර්මාන්තය ඉගෙන ගන්නා කාලයේය. ඇය ජී.ඩබ්ලිව්. සුගන්දිකා මානෙල්ය. ඇයටද උපතින්ම මෙලොව දකින්නට වරම් නොවීය. ඇගේ කතාවත් බුදුන් කල සියලු නෑසිය මිතුරන් අහිමි වූ පටාචාර කතා වස්තුව මෙනි. කුඩා කල මානෙල්ගේ මව හෘදයාබාධයකින් අකාලයේ මිය ගියාය. ඉක්බිතිව ඇගේ පියාද හදිසි අනතුරකින් මිය ගියේය. එතැන් සිට සුගන්දිකා හැදී වැඩුණේ ඇගේ මිත්තණිය ළඟය. කලක් යන විට මිත්තනියද මිය ගියාය. ඇගේ වියෝවෙන් පසු මානෙල්ගේ ජීවිතයම අඳුරට පත්වූවාය.
සොඳුරු ජීවිතයක අඳුර ‍පොඳි බැඳගත් සුගන්දිකා ද අවුරුදු 18දී බලංගොඩ බටුගම්මන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත එන්නේ පේෂකර්ම පුහුණුව සඳහාය.
ෙදෙවය සුගන්දිකාගේ දිවියට සරදම් කළද ඇය ෙදෙවයට පෙරළා අභියෝග කළාය. ඇය වසර 2ක් තුළ පේෂකර්ම පුහුණුව මනාව අවසන් කළේ දෙනෙත් අඳ වුවත් දිවි ගැටගසා ගැනීමට ස්වයං රැකියාවකට මුල පුරමිනි.
“මම රත්නපුර ආච්චි ළඟ අවුරුදු කීපයක් ඉන්නකොට අච්චිත් අසනීප වෙලා මැරුණා. මගේ ඇස් දෙක පේන්නේ නැති නිසා මව්පියන්වත්, ආච්චිවත් කවුද කියලා මම අඳුරන්නේ නැහැ. මට අයියා කෙනෙක් හිටියා. එයා කොහෙද කියලවත් දන්නේ නැහැ. මෙහෙම ජීවිතය ගවෛද්දී ගමේ අය මාව බලංගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට දැම්මා. මගේ ඇස් දෙක නොපෙනුනත් මම තුවා, අත්පිස්නා, පාපිසි ඇතුළු රෙදිවලින් කරන නිර්මාණ ඉගෙන ගත්තා. මම එරබද්ද කනිෂ්ඨ විද්‍යාලයේ 8 වසරට යනකං ඉගෙන ගත්තා. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව අවසන් වෙලා 2007 වසරේදී මට ගෙදර යන්න වුණා.
Jagath-Sugandika3මට ගෙදරක් කියලා යන්න තැනක් නැහැ. මගේ කියලා මට කවුරුත් නැහැ. ඇස් දෙක පෙනෙන්නේ නැති මම මේ ලෝකයේ තනි වුණා.”
ඇයටත් හොරා දෙකපුල් අතරින් ‍පොළොවට කඳුළු හළමින් සුගන්ධිකා පැවසුවාය.කාත් කවුරුත් නොමැතිව සිටි සුගන්ධිකා ජීවිතේ එකම ගැලවුම්කරුවා වූයේ අන්කවුරුවත් නොව බලංගොඩ කොහු කර්මාන්තයේ පුහුණුව නිමකළ දෑස් අන්ධ ජගත් ප්‍රසන්න කුමාරය.
දෙදෙනාට දෙදෙනා රූපයෙන් හඳුනානොගත්තද කට හඩින් ඔවුහු ආදරයේ අසිරිය හඳුනා ගත්හ. එනමුත් ඇස් පෙනෙන මිනිසුන්ගේ ආදර සබඳතාවලට වඩා ඔවුන්ගේ සංසාරගත බැඳීම අපූර්ව කතාවකි. ඒ අපූර්ව ආදරයේ කූඨාප්‍රාප්තිය සිද්ධ වුණේ මීට හත් අවුරුද්දකට ඉහතදීය. 2007 මාර්තු 29 වෙනිදා ඔවුහු විවාහ ජීවිතයට පත්වූහ. ප්‍රසන්න සහ සුගන්දිකාගේ ජීවිතය අලුතින් උපත් ලැබුවේ එදිනය.
“අපි දෙන්නා රූපයෙන් හඳුනා නොගත්තට බලංගොඩ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන කොට කටහඩින් හඳුනාගත්තා. ඉතින් මට හිතුනා සුගන්දිකා තනි නොකර මගේ ජීවිතයේ සහකාරිය කරගන්න. පස්සේ බලංගොඩින් අපි දෙන්නම වැලිකන්ද රුහුණු කෙත මහගෙදරට ආවා. අම්මා, තාත්තා, සහෝදරයෝත් මම ගෙන තිබුණ තීරණයට සතුටු වුණා” ජගත් ප්‍රසන්න කුමාර අප සමග කතාබහට එලෙස මුල පිරුවේය.
වැලිකන්ද රුහුණු කෙත පදිංචි කේ. ආරියරත්න මහතාගේ සහ ජේ.එම්. පියසීලි මහත්මියගේ සිව්වැනි පුතා වූ ජගත් ප්‍රසන්න කුමාරගේ ජීවිතයට දැක්වූයේ අසීමිත ආදරයකි. තම අඟ හිඟකම් කිසිවිටකත්  ජගත් ප්‍රසන්නට එළි නොකළ මව්පියන් ප්‍රසන්නට කිසිදු අඩුවක් නොකළහ. සතුටු කඳුළු අතරින් පිළිගත් නව යුවළ සඳහා තම ‍පොල් අතු පැ‍ලේ කාමරයක් ඔවුනට වෙන්කර දුන් මව්පියෝ මාස ගණනක් ඔවුනට ආහාරපානවලින් සංග්‍රහ කළහ. ජගත් ප්‍රසන්නට සේම සුගන්දිකාට ද මව්පියන්ගේ ආදරයේ අඩුවක් නොවීය.
“මට හොඳට කොසු හදන්න පුළුවන්. ඉස්සර වෙලා තාත්තා එක්ක කිහිපවරක්ම කුරුණෑගලට ගිහිං බස් එකේ කොහු අරන් ආවා. ඒවායින් කොහු හදලා ගමේ වික්කා. කඩවලට දැම්මා. එහෙම එහෙම සල්ලි එකතු කරලා මම කුරුණෑගල තනිවම ගිහිං කොහු ගෙනත් දවසක් කොහු හදලා අනිත් දවසේ හදපු කොසු විකුණන්න අරං යනවා.”
කොහු හදන්න මට සුගන්දිකාත් උදව් කරනවා. දැන් අපි දෙන්නම කොහු හදලා විකුණලා ජීවත් වෙනවා. සුගන්දිකා උයන පිහන වැඩටත් මමත්, පුතාත් උදව්වෙනවා. දරුවා ලෑස්ති කරලා පාසලට අරං යන්නේ අපි දෙන්නම. දැන් මට මාස දෙකක පුතෙකුත් ඉන්නවා. මම කුරුණෑගල, වාද්දුව, ‍පොතුපිටිය, සියඹලංගමුව පැතිවලින් තනියම කොහු අරන් එනවා. සැරයටියේ ආධාරයෙන් කොහු විකුණන්නත් යනවා. කුරුණෑගලින් එකවර කොහු කිලෝ 40ක් පමණ අරන් එනවා. කොහු කිලෝ එකක් රුපියල් 80ක් වෙනවා. කිලෝ එකකින් කොහු පහක්, හයක් හදනවා. එක කොස්සක් රුපියල් 90කට විකුණනවා. සමහර අය මා දිහා බලලා රුපියල් 90ට වැඩියෙනුත් දෙනවා. ඉතිං එහෙම කොසු විකුණලා ගන්න ලාභයෙන් තමා අපි දෙන්නගෙත්, දරුවෝ දෙන්නගෙත් ජීවිතය රැකෙන්නේ. දැන් ඉතිං ඒ ආදායම් මදි මහත්තයෝ ඉතිං මොනවා කරන්නද?” ජගත් ප්‍රසන්න කුමාර අප සමග පැවසුවේය.
ජගත් ප්‍රසන්න කුමාර වැනි දිරිය මිනිසුන් ලෝකයාට දෙන ආදර්ශය අතිශයින් වැදගත්ය. ජීවිතයේ කිසිවෙකුටත් බරක් නොවී තම හැකියාව රැකියාව බවට පෙරළන මෙවන් දිරිය, අසරණ මිනිසුන්ගේ ක්‍රියාවන් අප අගය කළ යුතුය.
දෑස්, දෑත්,දෙපා, ශරීර අංග හොඳින් හැදී වැඩී තිබියදීත් අන්‍යයන්ගේ පිහිට පතා යාචකයින් ලෙස හැසිරෙමින් මිනිසුන්ට වදයක් වෙමින් ජීවත්වන මිනිසුන්ට ජගත් ප්‍රසන්න වැනි දිරිය මිනිසුන් පූර්වාදර්ශයකි.
තම ආදරණීය පුතුන් දෙදෙනාගේ හැඩ හුරුකම්වත් නොදැක ජීවිතය ජීවත් කරවන්නට වෙරදරන ජගත් සුගන්දිකා දෙපළ වෙනුවෙන් අපට දෑස් දිය නොහැකි වුවද ලබාදීමට හැකි දේ බොහෝය.කොහු කර්මාන්තයෙන් ජීවිතය අතු නොගා ආර්ථික වෙළාගැනීමට යමක් එකතු කිරීමේ සටහනක නියැළී සිටින ජගත් - සුගන්දිකා සැබැවින්ම අගය කළ යුතු මිනිසුන්ය.
“අනේ මහත්තයෝ මටත් හොඳට පාරට බැහැලා ඇස් දෙක පෙන්නලා දෑත අල්ලලා කීයක් හරි හොයාගන්න පුළුවං” අපි ආබාධිත වුණත් අපිට වගේම ඕනෑම කෙනෙකුට කුමක් හෝ හැකියාවක් තිබෙනවා. ඒ හැකියාව රැකියාවක් බවට පත්කරගෙන අනුන්ට බරක් නොවී ජීවත්වීම තමා මනුෂ්‍යකම” රටේ කාටත් අපූරු පාඩමක් කියාදෙමින් ජගත් ප්‍රසන්න අප සමග එලෙස පැවසීය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය